2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

අපි සේරම කසාද බඳිමු

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

දැන් මාස කිපයක් තිස්සේ ටීවි එකේ හරිම ලස්සන ටීවි ඇඩ් එකක් ප්‍රචාරය වෙනවා. ජනප්‍රිය තේ සමාගමක්  ප්‍රමෝට් කරන්න හදපු මේ වීඩියෝව කාලෙකින් දැකපු වෙනස් විදිහේ දැන්වීමක්. 

දැන්වීම පටන් ගන්නේ මෙහෙන්දි අඳින අතක රූපෙකින්. හැබැයි ඒ අත කෙල්ලෙක්ගෙ නෙමෙයි, කොල්ලෙක්ගෙ. 

අපේ බබාගෙ ඇස් ඔයාගෙ වගේ වෙයි. කෙල්ල එහෙම කියන්නේ වෙරළු ගෙඩියකුත් කටේ දෙපැත්තට මාරු කරන ගමන්. ඉතින් මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක් කියලා ෂුවර්. 

ඒ වෙලාවෙම ඒ පැත්තට රතුපාට පරණ තාලේ කාර් එකක් එනවා. බැලින්නම් කොල්ලගේ අම්මයි තාත්තයි. වෙරළු ගෙඩිය ටක්ගාලා කටින් අයින් කරගත්තු කෙල්ල කොල්ලගෙ මෙහෙන්දි ගාපු අත දිහා බලලා හිනාවෙනවා. ඊට පස්සේ මෙච්චර වෙලා කර වටේ දාගෙන හිටපු ෂෝල් එකෙන් ඔලුව වහගන්නවා. ඔව්. කෙල්ල මුස්ලිම් කියලා තේරෙන්නෙ එතකොටයි. 

නංගි ආරංචිය කිව්ව හැටියෙමයි ආවේ. අම්මා එහෙම කියන්නෙ පුතාගෙ ඔළුව අතගාන ගමන්. මේ විදිහට ගලාගෙන යන තත්පර ගානෙ ටීවි ඇඩ් එක ඉවර වෙන්නේ හිතුවක්කාරකමට මුස්ලිම් කෙල්ලක්ව කසාඳ බැඳලා ගෙදරින් එළියට බැහැපු තමන්ගෙ කොල්ලා තාත්තා කෙනෙක් වෙන්න යන මොහොතේ ළෙන්ගතුකමෙන් ඒ දෙන්නව ආපහු පවුලට එකතු කරගන්න තරමට වෙනස්වුණු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි එක්ක. 

තත්පර ගාණක් ඇතුළත අපේ සමාජෙ ඇතුළෙ තියෙන ගොඩක් අය කතා කරන්න කැමති නැති මාතෘකාවක් බොහොම අපූරුවට ගලපලා දීලා තියෙනවා.  

ටීවි ඇඩ් එකක අදහසක් විදිහට මේක එළියට ආවට ආගමයි ජාතියයි විවාහයට බාධාවක් වෙන එක අද වෙද්දි අපේ රටේ වගේම මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. තමන්ගෙ ආගමේම තමන්ගෙ ජාතියේම කෙනෙක්ව බඳින එක තමා සමාජ චාරිත්‍රෙ වෙලා තියෙන්නෙ. 

මෙච්චර සිංහල බෞද්ධ කෙල්ලො ඉන්න රටේ උඹට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද හොයාගන්න? වෙන ජාතියක ආගමක කෙල්ලෙක් එක්ක යාළුවෙන කොල්ලන්ගෙන් අම්මලා තාත්තලා අහනවා. කෙල්ලටත් ඒ වගේමයි. උඹ අපේ මූණෙ දැලි ගෑවා. කෙල්ලගෙ අම්මලා තාත්තලා කියාවි. 

ඒත් අපි බහුතරයක් දෙනා ආගමක් අදහන්නෙ අනිත් ආගම් එක්ක සංසන්දනය කරලා අපේ එකද මට පිළිගන්න පුළුවන් නැත්නම් වෙන ආගමක්ද කියලා සාධාරණව හිතලා බලලා නෙමේ. අම්මාගෙන් තාත්තාගෙන් උරුම වෙච්ච පළියට උප්පැන්න සහතිකේ දාලා තිබ්බ පළියට ආගමක් අදහනවා. අනිත් අතට කතෝලිකාගමේ කියන විදිහට දෙවියෙක් ඉන්නෙ කොහොමද? හේතුඵල දහමට අනුව දෙවියෙක් ඉන්න බැහැනෙ කියලා බෞද්ධයෝ කියනවා. ඒත් ඒ විදිහට හිතන්නෙ තමන්ටත් නොදැනිම තමන්ගේ ඔළුව ඇතුළෙ තියෙන බෞද්ධ පදනම හින්දා කියලා ඒ අයට අමතකයි. කතෝලික, මුස්ලිම්, හින්දු අය වුණත් එහෙමයි. බෞද්ධයෝ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අදහන්නෙ නැති එක ඒ අයට අනුව ලොකු මිත්‍යාවක්.

අපේ රටට ඕනෙ හැම මඟුලටම ජාතිය ආගම ඉස්සරහට ඇදගන්න මිනිස්සු සෙට් එකක් නෙමේ. ආගම ජාතිය දෙවැනියට අරන් මුල්තැන ආදරේටයි මනුස්සකමටයි දෙන්න පුළුවන් විවෘත මනසක් තියෙන මිනිස්සුයි. 

හරියට හිතුවොත් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන තුන් පැත්තකට වෙලා ඉන්න දඟලන එකට තිත තියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කසාදෙ කියන්නෙ. හැබැයි ඒක සමාජය තුළ ප්‍රමෝට් කරවන්න පුළුවන් හොඳ කලා නිර්මාණ ටිකකුත් හැදෙන්න ඕනෙ. බණ දේශනා කරලා ඕක කරන්න බැහැ. උඩ කියපු තේ කොළ දැන්වීම වගේ දේවල්වලින් වුණත් ගොඩක් ලොකු පණිවිඩයක් මිනිස්සුන්ට දෙනවා. රත්න ශ්‍රී වගේ ගී පද රචකයොත් මේවට දායකත්වය දීලා තියෙන එක ලොකු සතුටක්! 
රත්න ශ්‍රී විජේසිංහ අතින් ලියවිච්ච පුදුම හිතෙන විදිහේ සින්දුවක් තමයි සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලියේ ගීතය. කොටි පොලිසියේ නායකයා වෙච්ච නඩේසන් යුද්දෙට කලින් මිරිහානෙ පොලිසියෙ ඉන්දැද්දි යාළුවුණු මිරිහානෙ කෙල්ල නඩේසන් 83දි යාපනේ යද්දි ආගම ජාතිය විතරක් නෙමේ සියල්ල අමතක කළා ආදරේ වෙනුවෙන්. කාලයක් සිංහල කොටි කියලා ප්‍රසිද්ධ කෙරුවත් කොටි සහ යුද්ධය මොහොතකට අමතක කරලා බැලුවොත් පේන්නෙ ඒ ගෑනු කෙනාගෙ තුළ තිබ්බ විවෘත හදවතයි. 

►ජා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00