2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ඉදිරි දින 60 තුළ මන්ත්‍රී දෙදෙනෙකුට ලොකු අපලයක්!

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා 2017 දෙසැම්බර් 25 වන සඳු දින රාත්‍රි 11 පසුවී විනාඩි 26ට කේතුට අයත් මූල නැකතේ දෙවන පාදයේ ගමන් කරද්දී එම අංශකයේම ගමන් කරමින් සිටින සෙනසුරු සමඟ යුධ සංග්‍රාමයක් ඇතිවනු ඇත. සිකුරු හා සෙනසුරු එක්නෙකා අභිබවා ගමන් කිරීමට උත්සාහ දැරීම නිසා සිකුරු හා සෙනසුරුගේ අශුභ වූ ග්‍රහකිරණ පෘථිවිය වෙත එල්ලවෙයි. ඉදිරි දින 60 තුළ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඍජුව එල්ල වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයකුට හා මන්ත්‍රීවරියකට ඉතා අයහපත් ලෙස අපල ඇති වනු ඇත. ස්වාභාවික විපත් ද සිදුවන අතර මෙරටින් වටිනා දේ හොර රහසේ විදේශයන්ට ගෙනයාමක් හෝ විදේශීය රටකින් අහිතකර දේ ගෙන ඒමක්ද වාර්තා වෙයි. 

මීළඟට ඔබට

මේෂ - සමගිය පලුදුවේ

පවුල් දිවියේ සමගිය වකවානුවකි. ආවේගශීලී ගතිද දැඩි තීරණ ද ගන්නා වූ කාලයක් වන අතර දේශපාලන කටයුතුවල නිරත අයටද අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත.

වෘෂභ - ශාරීරික පීඩා

තැන්පත් ධනය වියදම් වී යන වකවානුවක් වන අතර තම සේවා ස්ථානය ආශ්‍රිත ප්‍රශ්න ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා තමාටත් තමාගේ කාලත්‍රයාටත් ඇති වියහැකි බැවින් ප්‍රවේසම් වීම වැදගත් වේ.

මිථුන - පවුලේ මතබේද

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට මෙන්ම හවුල් කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වනු ඇත. තමන්ට එරෙහි සතුරු බලවේග හිස ඔසවන වකවානුවක් වේ. පවුල් දිවියේ ද මතභේද ගැටුම් ඇතිවේ.

කටක - දුර ගමන්

ඔබට ද එතරම් යහපත් නොවනු ඇත. තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. දුරගමන් යෙදුන ද එම ගමන්වලින් සාර්ථකත්වයක් ඇති නොවේ.

සිංහ - අමනාප හා විරෝධ

තමා ළඟින් සිටි හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරනු ඇත. පවුල් දිවියේ සමගියට ද බාධාවේ. මහජන නියෝජිතයකු නම් ඔබට මහජනයාගේ විරෝධතාවන් ඇතිවනු ඇත.

කන්‍යා - සිතේ ප්‍රශ්න

මෙම වකවානුව තුළ ඔබගේ උරුම හිමිකම් ලබාගැනීමේ අදහස් ප්‍රමාදයට ලක්වනු ඇත. සිතට ප්‍රශ්න තදින් දැනෙන වකවානුවකි. සේවා ස්ථානයේ ද අනිකුත් සේවකයන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත.

තුලා - නිර්මාණ ගැටලු

නිර්මාණකරුවන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ගැටලු මතුවනු ඇත. තම පවුලේ සාමාජිකයන් සමඟ හොඳ හිත පලුදුවීම් වියහැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

වෘෂ්චික - සෙම් රෝග

පවුල් දිවියේ සමගියට බාධා මතුවන අතර තම තැන්පත් ධනය ද වියදම් වන වකවානුවක් වේ. යම් යම් කටයුතුවල ප්‍රමාද වීම් ඇතිවන අතර ශරීරයේ සෙම් ආශ්‍රිත පීඩාවක් ගෙන දෙනු ඇත.

ධනු - ව්‍යාපාරවලින් පාඩු

දුරගමන් යාමට බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාබ අඩු වනු ඇත. විශාල ගනුදෙනු කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න.

මකර - ඇස්වල පීඩා.

සේවා ස්ථානයේ වෙනසක් වනු ඇත. ආර්ථික ප්‍රශ්න ඇතිවන අතර තමාගේ කටයුතුවලට විවිධ පාර්ශව මඟින් බාධා ඇති කරනු ඇත. ඇස්වල පීඩා ඇතිවේ.

කුම්භ - විදේශ ගමන්

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වන අතර සමාජසේවා කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වනු ඇත. විදේශ ගමන් බලාපොරොත්තු අයට තම කටයුතු සාර්ථකව කරගත හැකි වනු ඇත.

මීන - නව රැකියා

නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන මුත් සේවා ස්ථානයේ අනෙකුත් සේවකයන් සමඟ කටයුතු කිරීමට බාධා ඇතිවේ. උරුම හිමිකම් ලබාගැනීමට බාධා මතුවන කාලයක් වේ.