2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කසාද නොබැඳ එකට ඉම්මු?

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 292

“බස්නාහිර බොදු ගොවි 1991 උපන්, උස අඩි පහයි සිහින් පැහැපත් උපාධිධාරී චරිතවත් දියණියට උගත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. (කුජ 1,2,4,7 විශේෂයි) කේන්ද්‍ර කොපිය සමඟ විමසන්න”. 

කසාද බඳිනවා කියන්නේ හද්ද සංස්කෘතික වැඩක් මිසක් මිනිස්සුන්ගෙ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ජීවිතේ ගොඩනගාගනිද්දි ගැහැනියෙක්ට පිරිමියෙකුත් පිරිමියෙක්ට ගැහැනියෙකුත් ඕනයි කියන පදනමේ ඉඳන් ඇතිවුණු මේ කසාදය කියන්නෙ සමහර වෙලාවට මිනිස්සුන්ගෙ ජීවිතවලින් හැබෑ වුවමනාවන් අතුගාලා දාන කරුමයක්. 

කසාදයක් කරගත්තු ගමන් කෙල්ල ගෑනියෙක් වෙනවා. කොල්ලා මිනිහෙක් වෙනවා. එහෙමයි අපේ සංස්කෘතිය අපිට උගන්නලා තියෙන්නෙ. ඒක නිකම්ම නිකම් වචන හරඹයක් විතරක් නෙමේ. කෙල්ලගෙයි කොල්ලගෙයි ජීවිතවලට වගකීම් වැඩිවෙනවා කියන එකත් උන් දෙන්නා සෙක්ස් ජීවිතයක් පටන්ගත්තා කියන එකත් මේ වචනවලින් නොකියා කියනවා. 

අපේ සංස්කෘතියට අනුව ලිවින් ටුගෙදර් කියන්නෙ කුණුහරපයක්. කසාද නොබැඳපු දෙන්නෙක් එකට ජීවත් වීම කියන්නෙ මහා නරුම දෙයක් විදිහට සලකන්නයි අපේ සමාජය පුරුදුවෙලා ඉන්නෙ. 

බටහිර රටවල ඇතිවෙච්ච ආර්ථික මොඩල්, විද්‍යාව, නීතිය විශේෂයෙන්ම කසාද නීතිය ක්‍රම පවා පොඩි හෝ පැකිලීමකින් තොරව වැළඳගෙන තියෙන අපේ අය ලිවින් ටුගෙදර් කියන දේ දිහා බලන්නෙ අමුතු ඇහැකින්. මිනීමරද්දි, ගෑනු දූෂණය කරද්දි, ඇත්තුන්ගෙ දළ කපලා මරලා දාද්දි, ඔළුවට එන්නෙ නැති දෙදාස් පන්සිය වසරක අතීත උරුමෙ, සදාචාරෙ ඔළුවට ගහන්නෙ එතකොටයි. 

කසාද බඳිනවා කියන්නෙ දෙන්නෙක් එකට ජීවත්වෙන එකට නම් ලිවින් ටුගෙදර් වීමේ තියෙන එකම අඩුව මුන් දෙන්නා දැන් ඉඳන් එකට ඉන්නවා කියලා සහතිකේක නොලියන එක විතරයි.

ලිවින් ටුගෙදර් අපි අමුතුවෙන් ප්‍රමෝට් කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි ඒ දිහා අපි බලන විදිහ වෙනස් කරගන්න පුළුවන් නම් ඒක වැදගත්. කසාද නොබැඳ හැබැයි එකට ඉන්න දෙන්නෙක් දිහා මීතොටමුල්ල කුණු කන්ද දිහා බලනවා වගේ හැඟීමකින් බලන එක ඇත්තටම කැතයි. බොරු සදාචාරෙකින් වහගන්න හදන කුණු පිරිච්ච ඉහමොළ තමයි එතකොට පේන්නෙ. 

අපේ ජීවිතවල අයිතිකාරයෝ වෙන කවුරුත් නෙමේ අපි අපිමයි. නෑයෝ, හිතවත්තු, යාළුවෝ කියලා අපි කියන සමාජෙට අපේ ජීවිත අයිති නැහැ. එහෙම අයිති කරගන්න දෙනවා කියන්නෙත් වහලෙක් වෙනවා කියන එකයි. 
ගොඩක් අය හිතන්නෙ ලිවින් ටුගෙදර් කියන්නෙ ලිංගිකත්වයට ඉස්සරහට දාගත්තු දෙයක් විතරක් කියලයි. ලිංගිකත්වයටත් ලොකු තැනක් ලිවින් ටුගෙදර් තුළ තියෙනවා. ඇත්ත. හැබැයි දෙන්නෙක්ට එකට ජීවත්වෙන්න සෙක්ස් විතරක් මදි බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එක වහලක් යට එකට ඉන්න නම් ගැහැනියත් පිරිමියාත් එකිනෙකාට ආදරය කළ යුතුමයි; ගරු කළ යුතුමයි.

ඇත්තටම ගත්තොත් ලිවින් ටුගෙදර් ජීවිතයක වාසි ගොඩක් තියෙනවා. ලොකුම වාසිය තමා කසාදය. කරුමයක් වුණු වෙලාවටත් ඒ කරුමය උරුමයක් කරගෙන සමහරවිට ජීවත්වෙන්න සිද්ධ වුණාට මෙතැනදි ඒ ප්‍රශ්නෙ නැහැ. අනිත් කෙනාගෙන් ලැබෙන ආදරය, ගෞරවය, විශ්වාසය, පිළිගැනීම අඩුවෙන්නෙ කොයි මොහොතෙද, ඒ මොහොතෙම ඈත්වෙන්න පුළුවන්. ලිවින් ටුගෙදර් ජීවිතයක ගොඩක් වෙලාවට දරුවෝ කියන සාධකය නැති හින්දම තමන්ගේ සුබසිද්ධියට අදාළ තීරණ ගන්න ලේසියි. 

අපේ රටේ කසාද ජීවිතවල ගොඩක් වෙලාවට පුරුෂාධිපත්‍යයක් තියෙනවා. (ඒක අනිත් පැත්තට කැරකෙන වෙලාවල් නැතුවමත් නෙමේ) විශේෂයෙන්ම ගෑනි ගෙදරටම වෙලා ඉන්න, මිනිහා විතරක් හම්බකරන තැනකදී මේක තවත් දරුණුයි. හැබැයි මෙතැනදි එහෙම ගැටුමක් නෑ. දෙන්නට සමතැන් ලැබෙනවා. මොකද දෙන්නම එකට බැඳිලා ඉන්නෙ තමතමන්ගේ සීමාවන් වටිනාකම් ඇතුළෙ හින්දා. 

►ජා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00