2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

එකඟද මගේ කොන්දේසිවලට ?

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

ඔහු - මම ඔයාට ආදරෙයි. 

ඇය - මම දන්නවා.

ඔහු - විහිළු නෙවේ. 

ඇය - දන්නවා මැට්ටෝ. උත්තරේ මොකක් වුණත් අපි හැමදාටම හොඳම යාළුවෝ. එකඟද? 

ඔහු - ඒ කිව්වෙ බෑ කියලනෙ නේද? 

ඇය - නැහැ. මගේ කොන්දේසි තියෙනවා. 

ඔහු - කියන්න බලන්න. 

ඇය - වෙඩිමක් ගන්න බෑ. නැකැත් හොයන්න බෑ. ගෙදරට සංඝරත්නය වඩම්මලා දානයක් දීලා, මාව ඔයාගෙ කරගන්නෝනෙ. දානෙ ගෙදර මත්පැන් නැහැ.

මුලින් දුවක් ඕන. ඊළඟට පුතෙක්. දරුවො දෙන්නයි. ඊට වඩා බැහැ. දුවයි පුතයි නොලැබුණොත් තුන්වෙනියෙක් අරන් හදාගන්න ඕනෙ.

ඊළඟට වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදර ගේන්න බෑ. වැඩ කරන තැන ගෑනු අය එක්ක එළියට යන්න, කතා කරන්න තහංචි නෑ. වැරදි හැඟීමක් ඇතිවුණොත් (මම ඔයාට හුඟාක් ආදරෙයි) කියලා විතරක් මතක තියාගන්න.

මට අම්මා තාත්තා බලන්න යන්න ඕනෙ. ඔයාම තමයි එක්කන් යන්නෝනෙ. එයාලා මහගෙදර දාලා එන්න කැමති වුණ දවසක අපි එයාලව බලාගන්නෝනෙ. අපිට අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි.

යාළුවො එක්ක කොහේහරි යන්න හිතුණොත් මට අවසර පත පත ඉන්න බෑ. පිරිමියෙක් එක්ක තනියම යන්න වුණොත්, මම ආදරේ ඔයාට විතරයි කියලා ඔයා මතක් කරගන්න.

අතීතෙ ඉවරයි. ඒත් මගේ අතීතෙ කියන්නම් ඔයාට. ඔයාගෙ අතීතෙ මට දැනගන්න වුවමනා නෑ. ඒත් කාටහරිම කියන්න ඕනෙනම් ඒකට තමා මම ඉන්නෙ.

වැරදි වෙන බිරියක් වෙන්න පුළුවන් මම. ඒ වරද දුකක් නම් ඒ වරද කියන්නෝනෙ හොඳම යාළුවට. ඔව් ඒත් මම. මටත් එහෙමයි. රහස් නෑ. අපි අපිව හදාගමු.

නෑදෑයො යාළුවො ඉන්නවා කියලා බෑ, කොතනට වුණත් එකට යන ගමනක් නම් මා ළඟින් ඉන්නෝනෙ. කම්මුලට හාදු ඕනෙ කවුරු හිටියත්. අපේ පුංචි පුංචි ආදර හාදු, තුරුලු කරගැනීම්, දරුවන්ට අලුත් දෙයක් වෙන්න බැහැ.
කෙනෙකුට තරහ ගිය වෙලාවට අනික් කෙනා ඉවසන්න ඕනෙ. බැහැම නම් ටිකක් තනියම ඉන්න දෙන්නෝනෙ. ඒත් බොහොම පුංචි වෙලාවක්. අත උස්සන්න බැහැ මට. ගුටිකන්න හයිය නෑ ඔයාගෙන්. වරද කාගෙ වුණත් ආදරෙන් කියලා දෙන්න ඕනෙ හෙමිහිට.

පුළුවන් වෙලාවට ගෙදර වැඩට උදව් වෙන්නෝනෙ. අඩුම තරමේ ළඟින්වත් ඉන්න ඕනෙ. තමන්ගෙ කෝප්ප, පිඟාන, රෙදි පුළුවන් වෙලාවට තමන්ම හෝදගන්නෝනෙ.

බත් කොහේදි වුණත් මගේ අතින් කන්න මට ඕනෙ නෑ. මට කවන්නෝනෙ. මාත් එහෙමයි.

මට හැමදාම ඔයත් එක්ක ඉන්න ඕනෙ. මහන්සි දවසක් කියලා බැහැ. දෙන්නම සූදානම් වෙලාවක් වෙන්නත් ඕනෙ. හදිස්සියෙ වෙන්නත් බැහැ. ආදරෙන් වෙන්නත් ඕනෙ. මොන මොනවටද ආස කියලා මගෙන් අහන්නෝනෙ. ලජ්ජ හිතෙයි කියන්න නොඇහුවොත්.

වෙනස් විදිහට දැනෙන දවස් තුන හතරට මාව නාවලා ඇඳුම් අන්දන්න ඕනෙ. කොණ්ඩෙ ගොතන්නෝනෙ. ඉඹින්නෝනෙ.

දරුවො ලොකුයි කියලා බෑ. මගේ උකුලෙ ඔයාගෙ ඔළුව තියන් කතා කර කර ඉන්නෝනෙ.

දරුවො අලුත් ලෝක හොයන් යද්දී, මැදහත්ව ඉවසන්න ඕනෙ. උන්ට නිදහස දෙන්නෝනෙ. ඒත් නිතරම අපේ ආදරේ තියෙයි කියලා පෙන්වන්නෝනෙ.

වයසට ගියාම හීතල මට උණුහුම ඕනෙ. ආදරෙයි කියන්නෝනෙ ගොඩාක්.

මුලින් කවුරු මැරුණත් අනිත් කෙනා හිතින් වැටෙන්න බෑ. ඉතිරි කාලේ සැනසීමෙන් ඉන්න ඕනෙ.

එකඟද මගේ කොන්දේසිවලට ?? 

♦ උපුටා ගැනීමකි 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00