2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ගමේ ඡන්දෙට හැදෙන සන්ධාන

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 328

දෙවසරකට වැඩි කලක් ප්‍රමාද වූ ගමේ ඡන්දය පෙබරවාරි මස පැවැත්වීමට තීන්දු වී තිබේ. සම්මත වූ නව ක්‍රමයට ඡන්දය පැවැත්විය නොහැකි නෛතික හා ප්‍රතිපත්තිමය බාධක රැසක් මැතිවරණ කොමිසම ඉදිරියේ තිබුණි. ඊට අමතරව ඇතැම් පක්ෂ විසින් නිර්මාණය කළ බාධක ද තිබූ බවට චෝදනා එල්ල විය. ඒ සියලු බාධක ඉකුත් නොවැම්බර් 30 වැනි දින වන විට නිරාකරණය වී පළාත් පාලන ආයතන 341 ක් සඳහා වන ඡන්දය පෙබරවාරි 17 හෝ ආසන්න දිනක පැවැත්වීමට තීරණය වී තිබේ. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් වසර තුනකට පමණ පසුව පැවැත්වෙන පළමු මැතිවරණය මේ පළාත් පාලන ආයතන මැතිවරණයයි.

1935 ලංකා සමසමාජ පක්ෂයෙන් ආරම්භ වන මෙරට පක්ෂ ඉතිහාසය 1939 වැනි ළදරු අවධියේ සිටම ඇමීබාවන් මෙන් මව් පක්ෂ‍යෙන් කණ්ඩායම් බෙදී අතුරු පක්ෂ බිහිවීම පටන් ගැනුණි. නිදහස් ශ්‍රී ලංකාවේ එවක ප්‍රධාන පක්ෂ පවා තියුණු බෙදීම්වලට ලක් විය. ප්‍රතිඵලය ලෙස බහු පක්ෂ ක්‍රමයක් මෙරට නිර්මාණය වුණි. ඒ සඳහා රටේ වාර්ගික පදනමට නොදෙවැනි මතවාදීමය වෙනසත් බලපෑවේය. අවසානයේ පිල් බෙදීම් කෙළවර වූයේ තනි පක්ෂ ආණ්ඩු බිහිවිය නොහැකි තත්ත්වයකට පත්ව සභාග ආණ්ඩු බිහිවීමේ ඉරණමක් රටට නිදහස ලැබූ දා සිටම උරුම කිරීමෙනි. 

78 ව්‍යවස්ථාවට පෙර සරල බහුතර ඡන්ද ක්‍රමය තුළ දී මෙන්ම 78 න් පසු හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමයේ දී ද බලය ලබාගැනීම සඳහා පක්ෂ කිහිපයක් සන්ධානගත වී නව පෙරමුණු ගොඩනැගීමට හේතු වූයේ මේ සංකීර්ණ බහු පක්ෂ ක්‍රමයයි. මෙතෙක් පැවති ජනාධිපතිවරණ හා මහ මැතිවරණවලදී මේ තත්ත්වය නොඅඩුව ඉස්මතු විය. පළාත් සභා මැතිවරණවලදීත් සන්ධානගතවීම් යම් තරමකට වාර්තා විය. නමුදු මෙරට පක්ෂ දේශපාලන ඉතිහාසය තුළ පළාත් පාලන ආයතන මැතිවරණයක් සඳහා සන්ධානගතවීම් හෝ නව පෙරමුණු බිහිවීම් අද තරම් උණුසුම්කාරි නොවීය. අද වන විට පැවති සන්ධාන හා පෙරමුණු දෙදරා යන විට නව සන්ධාන පෙරමුණු බිහිවෙමින් තිබේ. මේ වෙනුවෙන් තිරය පිටුපස සාකච්ඡා ගිවිසුම් සිදුවෙමින් තිබේ. ඇතැම් පක්ෂ එකවර සන්ධාන කිහිපයක සාමාජිකත්වය අපේක්ෂා කරමින් සිටියි.

ජනාධිපතිවරණ හා මහමැතිවරණ සමයේ වාර්තා වන ජාතික තලයේ දේශපාලනඥයන්ගේ පිල් මාරු පවා අද ගමේ ආණ්ඩු බිහිකිරීමේ ඡන්දයක දී දකින්නට සිදුව තිබීම එහි ප්‍රතිඵලයකි. මේ තත්ත්වයට ආසන්නම හේතුව දේශපාලන අවකාශයේ එහා මෙහා යමින් තිබෙන බල තුලනය හා ජන කැමැත්තේ වෙනස්වීම් විය හැකිය. තෙවසරක යහපාලන ආණ්ඩු කාලයේ ජනමතය කිරා මැනබැලීමට කිසි අවස්ථාවක් නොලැබිණි. එනිසා ඒ ඒ පක්ෂ මේ ඡන්දයේ දී තම ජන බලය හා ශක්තිය පෙන්වීමට උත්සාහ කිරීම ඡන්ද උණුසුම වැඩි කර තිබේ. 2017 මැයි මස වන විට මැතිවරණ කොමිසම විසින් පිළිගත් දේශපාලන පක්ෂ ගණන 91 කි. ඒ අතුරින් ක්‍රියාකාරී ජාතික පක්ෂ වශයෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ජාතික හෙළ උරුමය, තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ 15-20 ත් අතර සංඛ්‍යාවක් දැකගත හැකිය. පක්ෂ ගණනාවක් තිබුණත් පක්ෂ බහුතරයක් කිසියම් සන්ධානයක්, පෙරමුණක් නියෝජනය කිරීම අප රටේ පොදු ලක්ෂණයයි. කිසිදු සන්ධානයකට සම්බන්ධ නැති පක්ෂ වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අතළොස්සක් පමණක් නම් කළ හැකිය. නමුත් ඒවාද කිසියම් සන්ධානයක සාමාජිකත්වය දරා තිබෙන පක්ෂයන්ය.

2015 අගෝස්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ සන්ධාන හෝ පෙරමුණු අතුරින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයට පමණි. මැතිවරණයෙන් මාස කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් සන්ධානය තුළ හටගත් අභ්‍යන්තර බෙදීම් ඒකාබද්ධ විපක්ෂය බිහිවීමට මඟපෑදූ අතර පාර්ලිමේන්තුව තුළ පිළිනොගත් තවත් සන්ධානයක බිහිවීම ඉන් සනිටුහන් විය. එනිසා දේශපාලන කරළියේ ජ.වි.පෙ. හා දෙ.ජා.ස. හැරුණු විට ප්‍රධාන බලවේග තුනක් දැන් තිබේ. ඉදිරි මැතිවරණය එම බලවේග තුනට සෙසු පක්ෂවලට වඩා අනිවාර්යයෙන්ම තීරණාත්මකය.

අවුරුද්දක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය කල්යමින් තිබූ මැතිවරණයට සූදානම් වීමක් ලෙස සෙසු සුළු පක්ෂ සමඟ සාකච්ඡා පැවත්වීය. එම සාකච්ඡා සාර්ථක අසාර්ථකත්වය මත අද වන විට මේ තීරණාත්මක ගමේ ඡන්දයට මුහුණ දීමට නව සන්ධාන හා පෙරමුණු බිහි වී තිබේ. මැතිවරණය ඉලක්ක කරමින් බිහිව තිබෙන සෑම සන්ධානයකම සාමාජික පක්ෂ අතර අපේක්ෂකත්වය බෙදාගැනීම සම්බන්ධයෙන් යම් යම් අර්බුද නිර්මාණය වී තිබේ. පැවති සන්ධාන බිඳවැටීමට හේතු වූයේ ද මෙම අර්බුදයමයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ වශයෙන් මහ නගර සභා, නගර සභා සහා ප්‍රාදේශීය සභා සියල්ලටම අලියා ලකුණින් තරග කරන බවය. මෙසේ පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ආයතන 341ක ධූර 8356 ක් සඳහා එජාප නායකත්වයෙන් තරග කිරීමට නියමිත මෙම පෙරමුණේ සෙසු පක්ෂ වනුයේ අමාත්‍ය චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු ජාතික හෙළ උරුමය, අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ, අමාත්‍ය රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, අමාත්‍ය පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු කොංග්‍රසය, අමාත්‍ය රිෂාඩ්ගේ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය, අමාත්‍ය රාධාක්‍රිෂ්න්ගේ කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂයන්ය. මීට අමතරව කුඩා කණ්ඩායම් කිහිපයක් ද මෙම පෙරමුණ නියෝජනය කරන බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ජාතික හෙළ උරුමය හැරුණු විට සෙසු පක්ෂ තෝරාගත් ස්ථාන කිහිපයක වෙනම තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ ගස ලකුණින් ස්වාධීන තරග කිරීමේ තීරණයේ පසුවෙයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු කොංග්‍රසය හා කඳුරට ජනතා පෙරමුණ යන දකුණේ දමිළ පක්ෂ තුන ප්‍රගතිශීලි දමිළ ජාතික සන්ධානය වශයෙන් සබරගමු හා මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක පහ හැර තවත් දිස්ත්‍රික්ක 6ක ස්වාධීනව තරග කිරීමේ සූදානමින් සිටි. ඒ අතර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල සමනළයා ලකුණින් එක්සත් සාම සන්ධානය යන පෙරමුණ යටතේ තරග කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. එම සන්ධානයට හිටපු අමාත්‍යවරු වන හසන් අලි සහ බෂීර් සේගු දාවුද් යන අය නායකත්වය දීම ද විශේෂත්වයකි.

ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන සී.බී. රත්නායක මන්ත්‍රීවරයා පැවසුවේ නව සන්ධානයක් පිළිබඳව සාකච්ඡා තවම අවසන් නැති බවය. සාකච්ඡාව අවසන් වූ පසු නව සන්ධානය පිළිබඳ සියලු කරුණු තීරණය කෙරෙනු ඇති බවත් හෙතෙම කීවේය. මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන පක්ෂ 9 ක් නියෝජනය කරයි. ප්‍රධාන පක්ෂය වන්නේ මන්ත්‍රී ජී.එග්. පීරිස්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සෙසු පක්ෂ වන්නේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, මන්ත්‍රී වාසුදේව නානයක්කාරගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මන්ත්‍රී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ, මන්ත්‍රී උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය හා තිස්ස විතාරණගේ සමසමාජ පක්ෂය ආදියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල ඒකාබද්ධය සමඟ එක් වී සියලු කොට්ඨාසවලට පොදු සන්ධානයකින්, එනම් ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට නියමිතය. මෙම සන්ධානයට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ උතුරු නැගෙනහිර පළාතේ දමිළ පක්ෂ ඇතුළුව ක්‍රියාකාරී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 20 ක් පමණ සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ මෛත්‍රී පිලට සෙසු පක්ෂවලින් එල්ල වූ දැඩි විරෝධය නිසා එම පක්ෂය තනි වී ඇත. ඉකුත් අඟහරුවාදා ශ්‍රී ලංකා නිදහස් සන්ධාන රැස්වීමේ දී ගත් තීරණය අනුව ස්වාධීනව තරග කිරීමට සන්ධානයේ සියලු පක්ෂවලට අනුමැතිය හිමි විය. එබැවින් මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක කිහිපයක තනිව අත ලකුණින් තරග කිරීමට නියමිතය. උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් දිස්ත්‍රික්කවල පමණක් බුලත් කොළය ලකුණින් ශ්‍රී ලංකා නිදහස් සන්ධානයක් වශයෙන් නිදහස් පක්ෂය තරග කරනු ඇත.

වාර්තා වන අන්දමට ලංකා කම්කරු කොංග්‍රසය වන තොණ්ඩමන් මන්ත්‍රීවරයා නායකත්වය දරන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය සමඟ ද තෝරාගත් ස්ථානවල එකට එක්ව තරග කිරීමට කටයුතු කරමින් සිටියි. විශේෂත්වය වන්නේ ප්‍රධාන පක්ෂ තුනක් සමඟ සන්ධානගත වන ලංකා කම්කරු කොංග්‍රසය මධ්‍යම හා සබරගමු පළාත්වල කොට්ඨාස කිහිපයක පක්ෂයේ කුකුළා ලකුණින් ස්වාධීනව තරග කිරීමටත් නියමිත වීමය. එමෙන්ම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වවුනියාව මන්නාරම වැනි දිස්ත්‍රික්කවල තරුව ලකුණින් ස්වාධීනව ද දකුණු, සබරගමු හා බස්නාහිර පළාතේ ඒකාබද්ධ විපක්ෂය සමඟ ද මහනුවර, අනුරාධපුර, පොළොන්නරැව දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් සන්ධානය වශයෙන් බුලත් කොළයෙන් ද තරග කිරීමට සිටින බව එම පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදුසිංහ මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා රට පුරා සෑම ආයතනයකම තනිව තරග කරන එකම පක්ෂය බවට පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. එම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ සියලුම දිස්ත්‍රික්කවල ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් සීනුව ලකුණින් තරග කරන බවයි. කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවන බවත් සෑම කොට්ඨාසයකම ඒ ප්‍රදේශයේ සිටින දූෂණ අපරාධවලට සම්බන්ධ නැති ජනතාවට සේවය කළ හැකි දක්ෂ හා පිරිසුදු අපේක්ෂකයන් පමණක් ඉදිරිපත් කිරීමට පක්ෂය කටයුතු කර ඇති බවත්ය.

උතුරු පළාත් පක්ෂ දේශපාලනයෙත් ගමේ ඡන්දය සඳහා වාර්තා වන සන්ධාන දෙදරායාම් හා අලුත් පෙරමුණු බිහිවීම් දකුණට නොදෙවැනිය. උතුරේ ආධිපත්‍යය දැරූ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ පහෙන් තුනක්ම සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන පක්ෂ කිහිපයක් දෙමළ විමුක්ති සන්ධානය වශයෙන් සන්ධානගත වී සූර්යයා ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. මෙම නව සන්ධානය ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය එක් වී ආරම්භ කර ඇත. ඉදිරියේ දී ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂය ද මෙම සන්ධානයට එක්වනු ඇතැයි පැවසේ.

සන්ධානයෙන් ඉවත් වූ ටෙලෝ සංවිධානය දෙමළ විමුක්ති සන්ධානයට එක්වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ද වාර්තා වෙයි. එහෙත් එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රකාශ කළේ වෙනත් සන්ධානයක් පිහිටුවීමේ අදහසින් පක්ෂය සිටින බවය. ඒ අතර ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය සමඟ පුනරුත්ථාපන හිටපු එල්.ටී.ටී. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සන්ධානගත වීමට තීරණය කොට ඇති බවද වාර්තා වෙයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඇතිවූ ගැටුම නිරාකරණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වෙයි. 

♦ සකීෆ් සාම් තන්වීරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00