2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ගම්පහින් කොට්ටාවට ආ පාතාලේ වෙඩිහඬ

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 301

පාතාලය වූ කලී මිනී කාක්කන්ගෙන් පිරි රජදහනකි. එකා දෙන්න මරා ගනිමින් ගොඩගැසෙන මීනි ගොඩට කකුල් තබමින් උඩට යන්නේ එකී පාතාලයේ කිරුළු දරන්නටය. එහෙත් ඔටුනු පැළඳි කිසිම අයකු අද වනතෙක් හොයා ගන්නට නැත. හැමෝම ඔටුනු පැළඳි සැණින් ජීවිතය බිලිදුන්නෝ වෙති. එසේම පාතාලයට යුක්තිය සාධාරණය පෙන්නන්ට බැරිය. ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝ ද නයාට අඳුකොළ මෙනි. මේ නිසාම එසේ යුක්තිය සාධාරණය සදහා පෙනී සිටින්නන් සමාජයෙන් ඉවත් කිරීම පාතාලයේ ප්‍රධාන අරමුණ වී ඇත. පොලීසියේ සිට නගරය වන තෙක්ම එසේ සාධාරණයේ වෙනුවෙන් පෙනී සිටින්නෝ විනාශ කළ අතීතයක් පාතාලයට ඇත. වර්තමානයක් ද ඇත. අනාගතයක් ද ලබා ගැනීමට උත්සහ කරමින් සිටිති. 

මේ කියන්න යන්නේ එවැනිම කතාවක් ගැනය. ලංකාවේ නගර අතරින් ප්‍රධාන නගරයක් ලෙස ගම්පහ හඳුන්වයි. එයට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් ජීවත් වන නගරය ගම්පහ වීම නිසාය. එහි ජීවත් වන වැඩි පිරිසක් මධ්‍යම පාන්තිකයන් වන අතර නිදහස් නගරයක් ලෙස බොහෝ දෙනා ගම්පහ හඳුන්වති. 

එහෙත් මෑතක සිට එම නගරයට පාතාලයේ කනකොකා හඬලන්නට පටන් ගත්තේ කාටත් හොරාය. මෙතුවක් කල් නගරයේ කප්පම් ගැනීමක් සිදු නොවූ අතර එහෙත් ඊට උත්සාහ ගත් අය අනන්ත අප්‍රමාණ සිටිති. ඒ අතර අසරණ දේශපාලනඥයෙක් ද සිටියේය. එහෙත් එය සිදුකර ගැනීමට නොහැකි වූයේ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නිසාය. ගම්පහ ඔස්මන්ට ගම්පහ ජනතාව ආදරය කළේ හේතු කාරණා කිහිපයක් නිසාය. කිසිම දිනක ගම්පහ නගරයේ කප්පම් ගැනීමට ඔහු ඉඩ දුන්නේ නැත. කුඩු විකුණන්නට ඉඩ දුන්නේ නැත. පාතාල චණ්ඩි වගේ අපතයන්ට ගම්පහ නගරය තුළ ජීවත් වන්නට ඉඩ දුන්නේ නැත. එය බොහොමයක් පාතාලයන්ට ගැටලුවක් විය. මේ නිසාම ඔස්මන් සමඟ ගහමරා ගන්න නොයෙකුත් චරිත ඉතිහාසය පුරා සිටියේය. මේ අතර මෑතක සිට තවත් චරිතයක් ඉස්මතුවෙන්නට පටන් ගත්තේය. ඔහු කොළඹ පාතාලයේ දෙමටගොඩ චමින්ද සමඟ ගැටුණු අයෙකි. නමින් "මාකිලංගමුවේ සංජීව" වූ අතර ඔහු පදිංචිව සිටියේ ගම්පහට නුදුරු නගරයක් වන ගණේමුල්ලේ මාකිලංගමුව ප්‍රදේශයේය.

ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ සමඟ සිටි මොහු පහුගිය කාලයේ චමින්ද සමඟ නිතර ගැටුණු අයෙක් විය. එහෙත් තිදෙනාම පොලීසියට කොටු වූ පසු සම්පත් සහ සංඛ අපරාදවලින් ඈත් වුණු අතර ඔවුන් දෙදෙනා බන්ධනාගාරය තුළ යහපත් දිවි පෙවතක් ගත කරන්නට පටන් ගත්තෝය. එහෙත් මාකිලංගමුවේ සංජීවට පොරක් වීමේ මානසික ලෙඩක් වැළඳුණේය. ඒ ගම්පහ නගරයේ චණ්ඩියා වීමටය. ඒ හරහා කප්පම් ගැනීමට, කුඩු විකිණීමට, ගංජා විකිණීමට සංජීව හීන දැක්කේය. එහෙත් ඊට ඔස්මන් හරස් වී සිටියේය. මේ නිසා සංජීව සිය පිස්තෝලය ඔස්මන් වෙත සැඟවී දිගු කළේය. කිසිත් නොදන්නා ඔස්මන්ට පළමු ප්‍රහාරය එල්ලවන්නේ අප්‍රේල් මාසයේය. ඉන් ජීවිතය බේරාගන්නා  ඔස්මන් පුදුම වන්නේ සිදුවූ දෙය ගැනය. පසුව සොයා බැලීමේදී  ඔස්මන් සමඟ බද්ද වෛර අසරණ දේශපාලනඥයා සංජීවත් සිටින බව තහවුරු විය. 

එම ප්‍රහාරයෙන් පසුව ඔස්මන් ඝාතන අත හැරියේ නැත. ඔවුහු නැවතත් මෝටර් රථයක සිව්දෙනෙකු ආයුධ සහිතව එවූහ. අවසානයේ ගම්පහ පොලීසියේ රථවාහන අංශයේ දෙදෙනකුගේ විමසිල්ල නිසා එම වාහනය අත් අඩංගුවට ගැනීමට හැකි විය. සැකකරුවන් පැන ගියත් අවසානයේ ආයුධ හමු විය. එම පිරිස ඔස්මන් ඝාතනයට පැමිණි බව දැන දැනත් ගම්පහ පොලීසියේ දූෂිත පොලිස් ලොක්කෙක් එය කන පිට පෙරළුවේය. එම දූෂිත පොලීස් ලොක්කා සැකකරුවන්ගේ සාක්ෂි පවා වෙඩික්කරුවන් බේරා ගන්නා අයුරෙන් ලියූ බව කියති. ඒ වැඩේ එළිපිට බය නැතුව කළේ ඉහත කී අසරණ දේශපාලකයාගේ උපදෙස් මතය. එම උසස් පොලිස් නිලධාරියා පහළ නිලධාරින්ට තර්ජනය කරමින් මේ සිද්ධිය කනපිට හරවන ලෙසට උපදෙස් දුන්නේය. මේ නිසා අල්ලාගත් එක් සැකකරුවකු හෝ සිටියේ නැත. එහෙත් පොලිස් ලොක්කා කකා බිබී පුටුවේ සැතපී සිටියේය. 

මේ අතර මේ පරීක්ෂණය සිදුනොවන නිසා බස්නාහිර පළාත උතුරු ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම විමර්ශනය බස්නාහිර පළාත් උතුරු අපරාධ ඒකකයට පැවරුවේය. එම ඒකකයට පවරා වැඩිකල් ගියේ නැත. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් මෙම සිද්ධියට සම්බන්ධ අයකු අත් අඩංගුවට ගත්තේය. පසුව ඔහුව පරික්ෂණ නිලධාරින් බාරයට ගනු ලැබීය. ඔහු මංගල මදුරංග නැමැති යුධ හමුදාවේ සිටි අයෙකි. එම සැකකරු අත් අඩංගුවට ගෙන වැඩි කලක් ගියේ නැත තවත් අයකු කොටුකර ගැනිණි. ඒ මෝටර් රථය පැදි පුද්ගලයා විය. මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

පුදුමය නම් එසේ ප්‍රශ්න කරනවිටත් පොලීසියට ලැබී තොරතුරක් නිසා පොලිස් නිලධාරින් පවා සිටියේ තිගැස්සීමය. ඒ මෙම පරීක්ෂණය සිදුකරණ පොලිස් නිලධාරියා ඝාතනයට සංජීව පිඹුරු පත් සාදා තිබීමේ තොරතුරයි. පාතාලය ගැන හොඳ අවබෝධයක් මෙන්ම තොරතුරු තිබූ මෙම පොලිස් නිලධාරියාව රිය අනතුරකින් ඝාතනයට සංජීව සැලසුම් කර තිබුණේය. ඒ බව සංජීවගේම ගෝලයකු විසින් පොලීසියට දන්වා තිබීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් මේ බැව් අත්අඩංගුවට ගත් සැකකරුවන් පවා පිළිගෙන තිබිණි. එසේම අල්ලාගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරණ විට ඔස්මන් ඝාතන ගැන ඔවුහු සියලු රහස් වැමෑරුහ. ඒ සංජීව දෙවතාවක් උත්සාහ දරා ඇත්තේ සෘජුවම ඔස්මන්ට ප්‍රහාර එල්ල කිරීමටය. එහෙත් දෙවතාවම වැඩේ වැරදී ගිය නිසා සංජීව සිය ගෝලයන්ට පවසා ඇත්තේ මෙහෙයුම වෙනස් කරන ලෙසය. ඒ ප්‍රථමයෙන් ඔස්මන්ගේ නිවසේ කවුරුන් හෝ අයකුට ප්‍රහාරයක් එල්ල කරමු යැයි කියාය. දැනගන්න ඇති පරිදි ඔහුගේ දරුවන් දෙදෙනාටය. එසේ සිදුකිරීමෙන් පසුව මරණ ගෙදරදී මරණයට සහභාගි වෙන අයුරෙන් පැමිණ ඔස්මන්ට වෙඩි තැබීමට අලුත් සැලසුමට අනුව ක්‍රියාත්මක වී ඇත. ඒ සඳහා යුධ හමුදාවේ සිටි පිරිසක්ම සූදානම් කර තිබී ඇත. සංජීව එසේ සිදුකරනවාට මුදල් පමණක් නොව ඒ ඒ අයට ගම්පහ විවිධ තැන් වල කුඩු, ගංජා විකුණන අවස්ථා ද ලබාදීමට පොරොන්දු වී ඇත. එසේම කඩවලින් කප්පම් ගන්නා ආකාරය ද පිරිස විසින් සූදානම් කර ඇත. මේ සියල්ල ඔස්මන් ඝාතනයෙන් පසුව සිදුකිරීමට තීන්දුකර තිබී ඇත. 

ඔස්මන් යන එන වේලාවන් එළියට එන වේලාවන් පවා දන්වා ඇත්තේ සංජීව බන්ධනාගාරයේ සිටය. එය සංජීවගේ ගෝලයන්ට පවා පුදුමයක් වී ඇත. සංජීව පවසා ඇත්තේ මේ හැමදෙයින්ම බේරෙන්නට නම් ඉහත කී පොලිස් නිලධාරියා ඝාතනය කළයුතු බවය. එහෙත් එය හරි ගියේ නැත. සංජීව ඊට උපක්‍රමයක් යෙදෙව්වේය. ඒ පොලිස්පතිට නිර්ණාමික පෙත්සමක් ගැසීමෙනි. ඒ පාතාලය සමඟ එම නිලධාරියා ගනුදෙනු කරන බව දන්වාය. කරැමය නම් එම නිර්ණාමික පෙත්සමට විරුද්ධව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබීමය. අපට දැන් ප්‍රශ්නයක් ඇත්තේ පොලීසිය පාතාලයට ද එහෙම නැත්තන් පාතාලය පොලීසියට ද කියාය. කෙසේ වෙතත් ජීවිතය පවා මරණයට උගස් කර සේවය කරන නිලධාරින් ලැබෙන තෑගි මේවා නම් කතා කරන්නට දෙයක් නැත.  

කෙසේ වෙතත් ඔස්මන් ඝාතන තැත එන්න එන්නටම සංකීර්ණ ඇත. එය විහිදී ගොස් පවුලේ පිරිස් සේම පොලිස් නිලධාරින් පවා එම ඝාතනයේ පුරුක් වලට හසුවී ඇත. මෙහි අවසානය කොතනදැයි අපි දන්නේ නැත. එහෙත් අහිංසකලා අංගුලිමාල වියහැකි අවස්ථා ඇත. ඒ නීතිය රකින මිනිසුන්ගේ වැරදි නිසාය. 

කෙසේ වෙතත් පාතාලයේ ලෙයට ලෙය කතාවේ තවත් කතාවක් පසුගියදා කොට්ටාවේදී සිදුවිය. ඒ රූපලාවණ්‍ය ශිල්පිනියක් ඝාතනය කිරීම හරහාය. ඇය නමින් මංජුලා වන අතර 41 හැවිරිදි කාන්තාවක් විය. මීට මාස කිහිපයකට පෙර ඇයගේ රූපලාවණ්‍යගාරය තුළදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ බණ්ඩා නැමති අයෙකි. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ රියදුරකු වූ අතර එසේම අංගොඩ ලොක්කාගේ ගෝලයකි. කෙසේ වෙතත් මෙම ඝාතනය සිදුකලේ සමයංගේ කල්ලිය විසිනි. ඒ සඳහා ඔත්තුව ලබාදුන්නේ මෙම කාන්තාව විසින් බව පසුව  තහවුරු විය. මේ නිසාම ඇයට මාස තුනක් හිර බත් කෑමට ද සිදුවිය. එසේ සිරබත් කා පැමිණි අයට වැඩිකලක් ජීවත් වෙන්නට පාතාලය ඉඩදුන්නේ නැත. අවසානයේ ඇයට ද කොකා ගැස්සුණේය. ඒ ඇයවත් නොදන්නා මොහොතකය. ඇයට වෙඩි තබන්නට වෙනත් කාරණා නැත. ඇත්තේ එකම කාරණයකි. ඒ ඔත්තු දීමය. ඒ නිසා ලෙයට ලෙයක් ගැනීම පාතාලයේ න්‍යාය වන අතර එසේ පළිගත්තෝ ද පරලොව ගියෝය. අපට ඇත්තේ එක ප්‍රශ්නයකි. ඒ මේ ලේ පිපාසයේ අවසානය කවදා දකිමුද කියාය.

►රෙහාන් රාසික්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00