2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

මාදැලේ පැටලුණු මුහුදු සර්පයන්ගේ ඇත්ත කතාව

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 363

මඩකළපුවේ නාවල්ලඩි ධීවර ගම්මානයේ මාදැල්වල පසුගියදා අමුතු මුහුදු සත්ත්ව වර්ගයක් තොග පිටින් පටලැවුණේය. මේ පිළිබඳ වාර්තා කරන්නට ගිය මාධ්‍ය, එකී සත්ත්වයාගේ අමුතු හැඩය නිසා මහත් පටලැවිල්ලක පටලැවුණේය. අන්තිමේදී රටේ සමස්ත ජනයාම ඒ හේතුවෙන් මහා භීතියක පටලැවුණේය. සිහින් දිගැටි සර්පාකාර සිරුරු සහිත මේ සතුන් හඳුන්වන්නට යෙදූ නම හේතුවෙන් මේ පටලැවිල්ලත්, භීතියත් හටගත්තේය. ධීවරයින් මේ සතුන් හැඳින්වූයේ මුහුදු සර්පයින් (Sea serpent) ලෙසටය. ඒ මදිවාට 2004 වසරේ ඇතිවූ මහා සුනාමි ඛේදවාචකයට පෙරද මේ සතුන් තොග පිටින් දැල්වල පටලැවුණු බවට වූ කටකතාවලට පණ ලැබුණි. රට පුරා ජනතාව අතීත සුනාමියේ භීෂණාත්මක මතකය තුළ නැවත පටලැවුණේ එලෙසිනි.

විවිධ මතවාද ප්‍රවාද, මිත්‍යා විශ්වාස, කටකතා පණ ලබන්නට විය. විෂයය භාර ඇමැතිවරයාට මේ ගැන වාර්තාවක් ඉල්ලා සිටින්නට තරම් පටලැවිල්ල මුළුමනින් අවුල් ජාලයක් බවට පත් විය. අන්තිමේ මේ අවුල ලිහන්නට යැයි බලකැරුණේ ජාතික ජලජ සම්පත් පරීක්ෂණායතනයේ (NARA) හි විද්වතුනටය. එයිනුත් සමුද්‍ර ජීව අංශයටය. ඔවුන් සිය විද්‍යාත්මක පැහැදිලි කිරීම පසුගිය බදාදා වන විට එළිදැක්විය. නමුත් මුහුදු සර්පයා පිළිබඳ ප්‍රවාදගත විශ්වාසය සහ ස්වභාවික අනතුරු කලින් කියන්නට ඔවුන් ඇතුළු සතුන් දරනා හැකියාව පිළිබඳ ගෙතුණු කතාබහ තවමත් යටපත් වී ගොස් නැත.

මඩකළපුවේ මුහුදු සර්පයින්ගේ සැබෑ අනන්‍යතාව කුමක්දැයි (දේශය) පාඨක ඔබ වෙනුවෙන් දැනගන්නට අපි පසුගිය අඟහරුවාදා ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය ඇමතුවෙමු. එහි සාගර ජෛව සම්පත් අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සිසිර හපුතන්ත්‍රී ඒ වනවිටත් මුහුදු සර්පයන් හඳුනාගැනීමේ වැඩට අතගසා තිබුණි. ඒ මොහොතේම වාගේ ආයතනයට ලැබී තිබූ මඩකළපු සර්පයන්ගේ නිදර්ශන පූර්ව අධ්‍යයනයට ලක් කළ ඔහු ඇතුළු විද්‍යාඥ පිරිස මේ සතුන් සර්පයන් නොව මත්ස්‍ය වර්ගයක් බව තහවුරු කළහ. ඇත්තටම, මේ සතුන් මුහුදු ආඳන් විශේෂයක් බව හඳුනාගෙන තිබුණි. මේ සතුන්ගේ නියම අනන්‍යතාව ස්ථිරවම පැවැසීම සඳහා හඳුනාගැනීමේ පර්යේෂණ ඇරඹි තිබුණි. ආචාර්ය හපුතන්ත්‍රී අප හා පැවසුවේ ඕනෑම සමුදුරු ජීව වර්ගයක් හඳුනාගැනීමේ දැනුම සහ ඒ සඳහා වූ පහසුකම් ආයතනය සතු බවය. කොටින්ම මුහුදු සතුන් වර්ගීකරණය කර ඔවුන්ගේ පැටිකිරිය නිශ්චිතව හඳුනාගැනීමට අවශ්‍ය ජාන විද්‍යාත්මක හෙවත් කවුරුත් දන්නා පරිදි DNA පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් පවා තමන් සතු බව ඔහු කීවේය. ඒ අනුව බදාදා උදෑසන වන විට මඩකළපු සර්පයා Callechelys නම් වූ ආඳුන් වර්ගයට අයත් විශේෂයක් බව තහවුරු කරගන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබුණි. ඔවුන්ගේ වාර්තාව මේ සමඟ වෙනම දක්වා තිබේ.

මේ අතර මඩකළපු මුහුදු සර්ප කතාව අප තවදුරටත් වෙනස් මාතෘකාවක් ඔස්සේ කරුණු සොයන්නට යොමු කළේය. භූමිකම්පා, සුනාමි දළ රළ, සුළි සුළං ආදී විනාශකාරී ස්වභාවික හානි ඇරඹෙන්නට පෙර ඒ සඳහා අනතුරු අඟවන සතුන් හා ඔවුන්ගේ අමුතු චර්යා රටාව ගැන සොයන්නටය. එසේම භූකම්පන සහ සුනාමිය ගැන කලින් අනතුරු අඟවන මුහුදු සර්පයා පිළිබඳ ප්‍රවාදය ගැන සොයා බලන්නටය.

සුනාමිය ගැන ප්‍රසිද්ධ, ඒ ප්‍රචණ්ඩ දළ රළ ප්‍රවාහයට එකී නම පවා ලබාදුන් ජපානයේ සුනාමිය ගැන අනතුරු අඟවන මුහුදු සර්පයා පිළිබඳ පුරා කතාවක්, ජන විශ්වාසයක් පවතියි. ඔවුන්ට අනුව මුහුදේ හෝ ගොඩබිම ආශ්‍රිතව හටගන්නා විනාශකාරී භූකම්පන සහ ඒ හේතුවෙන් හටගන්නා මාරාන්තික සුනාමි පිළිබඳ අනතුරු ඇඟවීමේ පූර්ව වාර්තා කාටත් පෙර ලැබෙන්නේ මුහුදු රජුගේ මාලිගාවටය. එනම් ගැඹුරු මුහුදු පතුලේ ඇති මකර රජුගේ මාලිගය වෙතටය. එසේ වාර්තා ලද කල මකර රජු තමන්ට වන්දනාමාන කරන ගොඩබිම ජනතාවට ඒ ගැන අනතුරු ඇඟවීමේ සියදිවි නසාගන්නා සද්කාර්යය පවරන්නේ සිය ගෝල බාලයන්ටය. විශේෂයෙන්ම දිය කිඳුරන්ටය. මේ ගෝල බාලයන් දිය කිඳුරන්ද සමඟ මාළු අහින් ලෙස පැමිණ වෙරළේ මියයමින්, දැල්වල පැටලෙමින් ස්වභාවික විපත්තිය ගැන අනතුර කලින් කියාපාන්නේලු. ජපානයේ මේ කතාවට ලෝක පුරා විවිධ ජන කොට්ඨාසවලින් ලුණු ඇඹුල් එක්ව තිබේ. ඒ කතාවලට අනුව මේ අන්දමට අනතුරු සංඥාව රැගෙන ගොඩබිමට එන ප්‍රධාන මාළු වර්ගයක් ලෙස අඩි 10 ක් 12 ක් දිගැති සර්පාකාර සිරුරක් සහිත හබල් මාළුවා. නැතිනම් අවල් මාළුවා (Oar fish) ගැන වැඩියෙන්ම කතාබහට ලක්ව තිබේ. මකර රජුගේ දියකිඳුරන් හැටියට හඳුන්වන්නේ ද මේ දුර්ලභ සත්ත්වයන්ය.

හබල් මාළුන් ස්වභාවික අනතුරු ගැන කලින් අනතුරු අඟවනවාය යන කතාව සනාථ කරන ළඟ නිදසුන් කිහිපයකි මේ.

වසර 2013 ඔක්තෝබර් 13 දා දකුණු කැලිෆෝර්නියාවේ කැටලිනා වෙරළට අඩි 18 ක් දිගැති හබල් මාළුවෙක් ගොඩගසා තිබුණි. ඉන් දින 5කට පසු අඩි 14 ක් දිගැති තවත් අවල් මාළුවෙක් වෙරළට ආවේය. මහා භූකම්පනය හටගන්නේ ඉන් පසුවය. 2011 ජපානය කම්පා කළ මහා භූකම්පනයට සහ සුනාමියට පෙර හබල් මාළුන් 20කට වැඩි ගණනක් වෙරළට ගොඩගසා තිබුණි. 2010 වසරේ චිලියේ සහ හයිටියේ මහා භූකම්පනය සහ සුනාමියට පෙර ජපාන ඇනි වෙරළ තිරයට හබල් මාළු තොග පිටින් ගොඩගසා තිබුණි.

මේ වසර මුලදී පෙබරවාරියේ දී පිලිපීනයේ මින්ඩනාවෝ අසල හටගත් ප්‍රබල භූකම්පනයට පෙර අඩි 10ටත් වැඩි හබල් මාළුන් වෙරළට ගොඩගසා තිබුණි. මේ වසරේම අගෝස්තු 8 වැනිදා පිලිපීනයේ ඉෂෝන්හි ඇති වූ ප්‍රබලතාව 6.6ක් වූ භූකම්පනයට දවසකට පෙර අඩි 12 ක් දිගැති සහ 14 ක් දිග හබල් මාළු යුවලක් ගොඩගසා තිබුණි. ඔවුන් ගොඩගසා තිබුණේ භූකම්පන මධ්‍යයට සැතපුම් 800 ක් එපිට ස්ථානයකටය.

මුහුදු පතුලේ ජීවත්වන හබල් මාළු ඇතුළු සයුරු මුහුදු ජීවීන් ගොඩබිමට පලවා හරින්න හේතුවන විද්‍යාත්මක කාරණාවක් තිබේ. එනම් භූකම්පනයකට පෙර පැලුම් අතරින් විශාල වශයෙන් ජලයට මුදාහරින කාබන්මොනොක්සයිඩ් වායුවයි. එය සමුදුරු පිටින් පලවා හරිනු ලබයි. පූර්ව සුළු කම්පන හේතුකොට පතුලේ ගල්තලා මත ඇතිවන පීඩන තත්ත්ව මගින් විද්‍යුත් ආරෝපිත අයන නිකුත් කෙරෙන අතර ඒවා හේතුවෙන් මුහුදු ජීවීන්ට අහිතකර විස සහිත හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් නිකුත් කරන්නට යෙදෙයි. මේ නිසා පතුලේ සිටිය නොහැකිව මුහුදු පිටින් පිටතට ළඟාවන බව කේම්බ්‍රිජ් සරසවියේ ජීව විද්‍යා ආචාර්ය රැචල් ග්‍රාන්ට් පෙන්වා දෙයි.

සතුන් ස්වභාවික විපත් ගැන කලින් අනතුරු අඟවනවාය යන්න ගැන හොඳම නිදසුන වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව 373 දී ග්‍රීසියේ හෙලයික් නගරයේ සිද්ධිය සමඟිනි. නගරයේ සිටිතාක් මීයන්, සර්පයන්, ගෝනුස්සන්, පත්තෑයන් ඇතුළු භූගතව ජීවත් වන ජීවීන් එක් දිනක් නගරය පුරා දුවන්නට ගත් අතර හරියටම එදා රෑ හටගත් මහා භූකම්පනය සහ සුනාමියෙන් නගරය සදහටම දියේ ගිලී ගියේය.

වසර 1975 පෙබරවාරි මස චීනයේ ලියෝනින් පළාතේ දස ලක්ෂයක් ජනගහනයෙන් පිරී ඉතිරී තිබූ හයිචෙන්ග් නගරය හෙල්ලී බිමට සමතලා වූයේ ප්‍රබලතාව 7.3ක් වූ මහා භූකම්පාවකිනි. නමුත් බලධාරීන් නගරයේ ජනතාව කලින්ම ඉවත් කර ගන්නට සමත් වූහ. ලක්ෂ ගණනකගේ ජීවිත බේරා තිබුණේ සාමාන්‍යයෙන් සිය ශීත නිද්‍රාව අවසන් කරන්නට මාසයකට පමණ කලින් අවදිව සැඟව සිටි භූගත තුඹස් වලින් එළියට අවුත් නගරය පුරා සැරිසරන්නට වූ තොග ගණනක් වූ සර්පයන්ය. ඔවුන්ගේ අමුතු කැළඹිල්ල දුටු බලධාරීහු ස්වභාවික විපත්තිය ගැන සැක කර ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කරගත්තේය. ලෝකයේ හානිදායී භූකම්පන අතර 10 වැන්න වූ එයින් මිනිසුන් රැසකගේ ජීවිත බේරාගත්තේ එලෙසිනි.
වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ජාතික සත්ත්ව උද්‍යානයේ සත්තු 2010 අගෝස්තු මස දිනයේ මහා කැලඹිල්ලක් ඇති කළහ. වානරයන් ගස් මුදුන් වෙත ඇදෙන්නටත් කූඩු කළ සතුන් නොසන්සුන්ව කෑකෝ ගැසීමටත්, සාමාන්‍ය නිශාචර සර්පයින් සැඟවි සිටි තැන්වලින් එළියට පැනගන්නටත් ගත් අතර හරියටම මේ සිදුවීමෙන් පැය ගණනකට පසු ප්‍රබලත්වය 5.8ක් වූ භූකම්පනයක් හටගත්තේය.

ස්වභාවික විපත් ගැන සතුන් කලින් දැනගන්නවාය යන කාරණය ගැන විද්‍යාත්මකව ඔප්පු වූ අවස්ථාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි. සාමාන්‍ය ගොඩබිම ගෙම්බන් ගැන 2009 අප්‍රේල් මාසයේ පුළුල් පරීක්ෂණයක් අරඹා තිබුණි. ගෙම්බන් බෝවන තිඹිරිගෙයක් ලෙස හඳුනාගන තිබූ ගෙම්බන් දහස් ගණනක් සහිත විල් තලයක් අද්දර මේ පරීක්ෂණ සිදුවෙමින් තිබුණි. නමුත් එක්තරා දිනයක මුළු ප්‍රදේශයම පාළුවට ගොස් තිබුණේ ගෙම්බන් පොළොවේ ගිලී ගියාක් ලෙස අතුරැදන් වීමත් සමඟය. ඊට සතියකට පසු හරියටම මේ ප්‍රදේශය තුළ මහා භූකම්පනයක් ඇති විය. මහා භූකම්පනයේ අන්තිම පසු කම්පනය ඇතිවූවාටත් පසුව ගෙම්බෝ නැවත විල් තලය වටා පොරකකා ගැවසෙන්නට වූහ. මේ අනුව අපට කියන්නට ඇත්තේ, ස්වභාවික විපත් ගැන සතුන්ගේ චර්යා රටාවන් ඇසුරෙන් කලින් අනතුරු ඇඟවීම් කෙරෙන බවට ඇති පැරුන්නන්ගේ විශ්වාසය අවිද්‍යාත්මක මිත්‍යාවකයි තහවුරු කරන්නට හරිහමන් විද්‍යාත්මක පරීක්ෂණයක් තාමත් ඉදිරිපත්ව නැති බව පමණි.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

මාදැලේ පැටලුණේ මුහුදු ආඳෝ
- නාරා ආයතනය

මඩකළපුව ප්‍රදේශයේ මාදැල්වලට හසු වී ගොඩගසා ඇතැයි වාර්තා වූ සර්පයන් විශේෂයේ සාම්පලයක් 2017.12.05 දින නාරා ආයතනය ලබාගන්නා ලදී. ඔවුන් පරීක්ෂා කිරීමේදී පෙනීගියේ මෙම සතුන් මත්ස්‍ය විශේෂයක් වන බවත් Snake eel නමැති ආඳන් විශේෂයට අයත් බවයි. තවදුරටත් මෙම ආඳන් විශේෂය Ophichthyidae කුලයට අයත් විද්‍යාත්මකව Callechelys sp. ලෙස හඳුන්වන සතුන් කාණ්ඩයක් බව තහවුරු කරගන්නා ලදී. මොවුන්ගේ බාහිර රූපකාය සැලකීමේ දී දිගින් ඉතා වැඩි වීම සහ සිහින් දේහාකාරය නිසා මොවුන් සර්පයින් විශේෂයක් ලෙස බාහිරව දිස්වේ. නමුත් මොවුන් කරමල් සහ පෘෂ්ඨීය සහ ගුද වරල් සහිත මත්ස්‍ය විශේෂයක් වන අතර කුඩා ප්‍රමාණයේ විවරයකින් මෙම කරමල් පිටතට විවෘත වේ. ශරීරයේ කොරපොතු නොමැති අතර වලිගය උල් වී පවතී. එසේම ඔවුන්ට වලිග වරලක් නොමැති අතර දිවක් දක්නට ලැබේ. මොවුන්ගේ ශරීරය පෘෂ්ඨීයව ඔලිව් දුඹුරු පැහැයක් ගන්නා අතර උදරීයව කහ පැහැයක් ගනී. මොවුන් ප්‍රධාන වශයෙන් කරදිය පරිසරයේ වෙසෙන අතර වැලි හෝ පර ආශ්‍රිතව වාසය කරයි. මොවුන් බොහෝවිට වැලි හෝ මඩ සහිත පතුලේ ගිලී වාසය කරයි. මෙම ආඳන් විශේෂය ආහාරය සඳහා යොදා නොගන්නා අතර කිසිදු ආර්ථිකමය වටිනාකමක් ද නොමැත.

මේ දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින හදිසි කාලගුණික කැළඹීම් තත්ත්ව වෙනස්කම් මත මෙම ජීවීන්ගේ ස්වභාවික චර්යා රටාවල සිදු වූ වෙනස්කම් නිසා මෙම සතුන් විශාල වශයෙන් වෙරළ තීරය තුළට පැමිණීමේ හැකියාව පවතී. එම නිසා මොවුන් වෙනදාට වඩා මාදැල්වලට හසුවීමේ ප්‍රවණතාවයක් පවතී. නමුත් මෙය සුනාමි තත්ත්වයක පෙරනිමිත්තක් යැයි පැවසීමට තරම් ප්‍රමාණවත් සාධක නාරා ආයතනය සතු නොවේ.