2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

තහනම් චිත්‍රපටය Neelam

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

සම්මානලාභී දමිළ සිනමාවේදියෙකු වන වෙන්කතේෂ් කුමාර් මේ දිනවල සූදානම්ව සිටින්නේ නඩු මඟට බසින්නටය. ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය පිළිබඳ පූර්ව ප්‍රචාරක පටයද ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩලයේ කතුරට හසුව ඇති හෙයිනි. තහනමට ලක් වී ඇති මේ නිර්මාණය Neelam නමැති චිත්‍රපටයයි. එය ප්‍රදර්ශනයට අවසර දීමෙන් ඉන්දු ලංකා රාජ්‍යතාන්ත්‍රික සුහදතාව බිඳීයාමට ලක්විය හැකි බවට සැක පහළ වී තිබේ.

ධීවර තරුණයකුගේ කතාවක් ලෙස දිගහැරෙන Neelam තුළින් කතා කෙරෙන්නේ මෙරට තුළ මහා භීෂණයක් ලේ ගංඟාවක් ගලායන්නට හේතු වූ කොටි වර්ගවාදයේ නැඟිටීමයි. නීලම් තුළ මේ කතාව ගොඩනැගෙන්නේ කඳුළ සහ දුක් අඳෝනාව අතිශයෝක්තියට නංවා ඉදිරිපත් කරමිනි. ඒකපාර්ශ්වික දැක්මකින් යුතු යැයි කිවහැකි නීලම් කතා සාරය කොටි වර්ගවාදීන් අහිංසක බැටලුවන් ලෙසත්, ඔවුන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය මර්දනයට ආ නීත්‍යානුකූල හමුදාව ඒ අහිංසක බැටලුවන් අමු අමුවේ ගිලදමනා මෘගයන් ලෙසත් රූපණය කිරීමට යොදාගෙන තිබේ. එහි අවසාන ගීතය පවා මොරනඟා පවසන්නේ එකී අවනඩුවය. හොරාගේ අම්මාගෙන් පේන ඇහුවාක් බඳු කතාවක් ඉදිරිපත් වන Neelam නිසැකවම ජාත්‍යන්තරයේ සම්මානයට පාත්‍රවන්නට ඉඩ තිබෙන්නකි. ඒ සත්‍යයට වඩා අතිශයෝක්තියට නැංවූ ප්‍රබන්ධයක්, එනම් බටහිර ඉල්ලා සිටින පන්නයේ මෘග ජාතිවාදයක් පිළිබඳ අලංකරණය කළ ශෝකාලාප අඬහැරයක් ලෙස Neelam සාර්ථකව ඇති හෙයිනි.

1960 පමණ සිට 2000 දක්වා කාලය තුළ කොටි වර්ගවාදය ගොඩනැගෙන අයුරු රූපණය කර ඇතත් සිය චිත්‍රපටය තුළින් ප්‍රභාකරන් හෝ කොටි කල්ලියේ ක්‍රියාවන් කතාබහට ලක් නොකෙරෙන බව වෙන්කතේෂ් පවසා තිබේ. සිවිල් යුද්ධය තුළ පැතිර ගිය ගැටුම තුළ සිදු වූ වර්ගවාදී ඝාතනය තමන්ගේ රූපරාමු තුළින් ඉදිරිපත් කළ බව ඔහුගේ අදහසය. ඔහුට අනුව නම් මේ චිත්‍රපටය තුළින් ඔහු අවංක වෘත්තාන්තයක් ඉදිරිපත් කර තිබේ. වෙන්කතේෂ් කියන්නේ කපන මණ්ඩලේ උදවියද මේ චිත්‍රපටය නැරඹීමෙන් ත්‍රිල් වුවද නිලධාරීන් හැටියට ඔවුන් වඩාත් දළදඬු තීන්දුවක් ගෙන මෙය තහනම කරා යොමු වූ බවය. Neelam තහනම ඉවත් කර ගැනීමට එහි ඇති සමහර රූපරාමු සහ ගැටලුසහගත විය හැකි දෙබස් ඉවත්කර ගන්නට වුවද තමා සූදානම් බව කියන වෙන්කතේෂ් එසේ නැතිනම් උසාවිය හමුවට යාමට සූදානම් බව කියා තිබේ. Neelam මගින් වෙන්කතේෂ් ලෝකයාට කියන්නට යන කතාව අපට දක්නට ලැබෙන්නේ මේ අරගලයෙන් පසුවය.   

 සුගත් පී කුලතුංගඅාරච්චි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00