2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

කුමක්ද බයිකය හසුරන පිළිවෙල?

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ගොසින් පයින් - කර ලීසින්
ගත් බයිකය - වේ මසුරන්
දෙහි ගෙඩි හා - මිරිස් කරල්
එහි අමුණා - දුම් අල්ලා

දෙවරක් වැඳ -ගෙන එළියට
පණ ගන්වා - එය පදවා

ටික වේලාවකට පසු

බයිකය ගොර ගොර ශබ්දය නිපැදිය
මවිතය මා හද පෙළමින් පැතිරීය
දෙපසට වැනෙමින් මවමින් කම්පන
යා යුතු මඟ නොව වෙනතක හැරවෙත
මතක් නොවුණු තැන සදනා අයුරක්
බයිකය නවතා තබලා එතැනම
අසුනක් පනවා අසබඩ ගස යට
වඩමා ආවෙමි මිකැනික් සකිසඳ

පුරවර දස්කම් පාමින සැමතැන
තෙදබල එඩි පා ඇන්ජින් පණගෙන
සක්වල ගල තෙක් නංවන කිතුගොස
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන්
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන්

දැහැනට සමවැදි මිකැනික් තෙම එහි
වතුරින් කිරි ටික වෙන් කරනා සොඳ
හංසය විලසට පිරිපුන් නුවනින්
බයිකය සකැසී, ප්‍රශ්නය විමසී

නැණැස විවර වී බයිකය පිළිබඳ
අසනෙමි පැනයක් පතමින් අවසර
සබඳ ගැටය මා, පවසව පිළිතුර
පංචස්කන්ධයේ ඔබගේ, බර කිම?

මා ප්‍රිය ගුණ ඇති මිකැනික් පඬිතුම
කොතෙකුත් කෑවද ගුණයක් නොම දෙන
උසටම සරිලන බර මා සතු නොව
සතරක් සැටවෙයි, එය වේ පිළිතුර

ප්‍රීතී ප්‍රීතී හැන්සම් ගැට පුත
ඇත මෙහි පිළිතුර මාගේ දිව අග
බයිකය සොඳ ලෙස පාරේ යැවුමට
ඔබගේ සිරුරේ බර මදි ඇත

මෙලෙසින් මාවත පැද ගියහොත් මා
අනතුරැ සිදුවෙයි, ලැබ දේ මරබිය
පිරිපුන් දැනුමැති මිකැනික් පඬිතුම
කුමක්ද බයිකය හසුරන පිළිවෙල?

බර අඩු වී නම් ඒකට පිළියම
බර මෙහි වැඩි කොට පැදවීමයි පුත
පනසට නොම වැඩි බරකුත් පිටුපස
ඇතිවිට බයිකය නොම දේ කම්පන
නැත නැත ගැට පුත නොම සිත එලෙසින
පණ නැති දෑ නොම දේ හරි පිළිතුර
විස්සට නොම අඩු විසි පහකට අඩු
සුදු පැහැ සම ඇති පණ ඇති විය යුත
නෙදකින් ගැට පුත නුඹ වේ සංකර
කෙලෙසද කොල්ලෙක් ආවේ මනසට
මුතුවන් දත් ඇති දිග කෙහෙරැල් ඇති
අඟනුන් කොපමණ වේදෝ මිහිතල

එනමුත් පඬිතුම මට මෙය පවසව
කෙළෙසද අඟනක් වන්නේ පිළිතුර?

නුඹගේ දිවි මග කැළඹී ඇති වෙද
එහෙයින් කම්පන ඇත යන මාවත
වළකා ඒ සැම සරි මඟ දක්වන
කෙනෙකුන් පසුපස හිඳුමෙන් වේ සැප !!

(බයිකයේ ඇතිවන කම්පන හා අනවශ්‍ය විස්ථාපනවලට විසඳුමක් වශයෙන් බයිකයේ බර වැඩි කිරීම සඳහා පිටුපස තබාගෙන යාමට පෙර සඳහන් සුදුසුකම් ඇත්තියක් වුවමනා කර තිබේ...)

අනීවාරතේ