2017 ජනවාරි 07 වන සෙනසුරාදා

නඩු බදු දඩ සහ ජාතිකත්වය

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

 

අප්‍රිකානු මහද්වීපයේ එක්තරා ගොත්‍රික කණ්ඩායමක් අතර පවතින සිරිතක් පිළිබඳව අසන්නට ලැබිණි. එම ගොත්‍රයේ යම් කිසිවකු වැරැද්දක් කරනු ලැබුවහොත් එම ගමේ ඇති පිට්ටනියකට එම පුද්ගලයා ගමේ අය විසින් කැඳවා ගෙන යන අතර පිට්ටනිය මැද ඔහුව හිඳුවා ගම් වැසියන් ඔහුව වට කරගෙන ඔහු විසින් අතීතයේ කරන ලද හොඳ යහපත් දේවල් හඬ නගා ඔහුට පවසනු ලබයි. මෙය ඔවුන් විස්න කරනු ලබන්නේ වැරැදි කරන ලද පුද්ගලයා නිවරැදි කරවීම සඳහාය. ඔහු තුළ ඇති හොඳ මතු පිටට ගෙන වැරැදි යටපත් කරවීම තුළින් සමාජයට වැඩදායි මිනිසකු නිරිමාණය කර ගැනීම සඳහායි. මෙය එක්තරා විදියකින් මනො විද්‍යත්මකව ස්වයං වරදකාරී බවක්ඇති කර ඒ තුළින් පුද්ගලයා යහපත් කර ගැනීම සදහා ඔහු තුළ ඇති සමාජ වගකීම සහ ඔහු කෙරෙහි ඇති සමාජ වගකීම පෙන්වා දීම තුළින් වරදින් මිදී යහපත් පුරවැසියකු බවට පත් වීම සිදුවන හෙයිනි. අනාගතය නිර්වචනය කර ගැනීම සදහා අතීතයේ කළ යහපත් දේ තුළින් ස්ව සංකල්පය ඇති කර ගැනීමට උදව් කිරීමයි. සමාජයක් ලෙස මෙම මැදිහත් වීම සමස්ත සමාජයම වෙනුවෙන්ම වූ දෙයකි.

ලංකාවේ අපරාධකරුවන් ලක්ෂ පහක් පමණ ලේඛන ගතව ඇති අතර වරෙන්තුකරුවන් ලක්ෂ හයකි. සාමාන්‍යයෙන් වැඩිහිටි ජනගහනයෙන් 10% ක් පමණ අපරාධකරුවන් වී ඇත. මෙය තවත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ සිරගෙවල් තුළ ඇති තදබදය පිළිබඳව විමසා බැලිය හැක. ලංකාවේ සෑම සිර ගෙයකම ඇත්තේ දැඩි තදබදයකි. එසේම උසාවි පද්ධතියේ ඇත්තේ දැඩි නඩු තදබදයකි. උසාවි දිනවල උසාවි අසල ඇති වන තදබදයත් උසාවි තුළ ඇති කෙරෙන තදබදයත් පැහැදිලි කරන්නේ අප ආ ගමන් මඟ කෙසේවත් නිවැරැදි නොවන බවයි. සමාජයක් ලෙස රටක් ලෙස අප යා යුතු දිශාව පිළිබඳ අවබෝධයකින් ගිය ගමනක් නොවන බව පැහැදිලිව තිබියදී ගමන් මඟ වෙනස් කරගැනීම වෙනුවෙන් සමාජ කතිකාවතක් නිර්මාණය කරගැනීම අද දවසේ සිදුකළ යුතු හදිසි කාර්යකි. සමාජ පරිවර්තනයකින් තොරව ප්‍රගතිය වෙත යා නොහැකි ලෙස අප පැමිණි ගමනේ අර්බුදගහන වී ඇත. නඩු දඩ සහ බදු මගින් සමාජය නිවරැදි කළ නොහැකි බව අපි දනිමු. තෑගි සහ දඬුවම් පිළිබඳ කතිකාව බටහිර රටවල අධ්‍යාපනයට අදාළ වුවද සමාජ සංවර්ධනයට අදාළ කර ගත හැක්කේ කෙසේදැයි නොදනිමු. වසර හතළිස් පහක් වැනි කෙටි කාලයක් තුළ පවතින පාලනයට එරෙහිව කැරලි තුනක් සමඟ ජීවිත ලක්ෂ එකහමාරක් පමණ රටට අහිමි වී තිබිය දී අපට තවමත් මේ රට වෙනුවෙන් නිවැරුදි මාවතක් හෙළි කර ගැනීමට නොහැකි වීමේ ඛේදවාචකය අද දවසේ අපි අත් විඳිමින් සිටිමු.

මේ වසර හතළිස් පහ තුළ අපට අහිම වී ගිය ජීවිත යනු රට වෙනුවෙන් වු වේදනාවේ අවසන් තෝරාගැනීමකි. මව් බිම වෙනුවෙන් වු ප්‍රේමය විසින් අරගල භූමිය තුළ දිවි පුද කරනු ලැබීමේ ඉරණම උපන් මව් බිම විසින් තින්දු කර දෙනු ලැබුයේ ඇයිද යන ප්‍රශ්නය නැවත නැවතත් නැගිය යුතු වෙමු. පරාර්ථකාමී ශක්තිමත් ජවසම්පන්න තාරුණ්‍යය සතු ජානමය හැකියාවන් උරුමකරුවකු නොමැතිව මාවත්වල අළුවී යද්දී අවසන අපට ඉතිරී වී ඇත්තේ ආත්මාර්ථකාමී කට වාචාල කියවන දුර්වල නායකයන් පිරිසකි. මෙගා පොලිස් යනු විශාල පොලීසියක් ලෙස විස්තර කරන ආණ්ඩුවේම ජනතා නියොජිතයන් තැබිය යුතු උලේ උස ප්‍රමාණය වෙන රටක නම් ජනතාව තීරණය කරනු ඇත එහෙත් හෙට දවසේ නැවතත් මාධ්‍ය ඉදිරියේ මෙවැනි චරිත දිගින් දිගටම දේශපාලනය ගැන දොඩවන්නේ ජාතියේ කවර අවාසනාවකටදැයි නොදනිමු. 

ආයතනික පුරවැසි භාවය යනු යම් ආයතනයක දියුණුව වෙනුවෙන් එම ආයතනයේ සේවය කරන සහ එම ආයතනයට සම්බන්ධ සියලු දෙනාගේ පුර්ණ කැපවීම ඇති කර වීම සදහා ඇති කර ඇති සංකල්පයකි. සෑම ආයතනයකම මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියායාත්මක කරනු ලබයි. වඩා සුලභ අත්දැකිමක් වන්නේ පවුලේ අය සහ ආයතනයේ අය එකට එකතු වී විනෝදචාරිකාවක් යාම වැනි සරල වැඩසටහන් හඳුන්වා දිය හැකියි. මේ මගින් ආයතනය සහ ආයතනයේ සේවකයා අතර සම්බන්ධතාවය තහවුරු වන අතර තමාගේ උපරිම හැකියාව ආයතනයට ලබාදීමට ආයතනික සේවකයා පෙළඹේ. රටක පුරවැසියා රට වෙනුවෙන් උපරිමය ඉටු කිරීමට නම් එම වැසියා රටේ පුරවැසියකු විය යුතුයි. නැතහොත් පුරවැසි භාවය වර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතුය. රටකට නායකයින් අවශ්‍ය කරන්නේ බදු වැඩි කිරීමට වත් නඩු වැඩි කීරීමටවත් දඩ වැඩි කිරීමටවත් නොව සූක්ෂම ලෙස රටේ සිටින සියලු මිනිසුන්ගේ උපරිම කාර්යක්ෂමතාවයකින් රටට සේවය ලබාගැනීමට සැලසුම් සකස් කිරීමටයි. ඉන්දියාව, සිංගප්පූරුව, වියට්නාමය මෙන්ම මැලේසියාවද චීනයද සිදු කරනු ලැබුයේ මෙයයි. රටක මානව සම්පතතුළ සිදුකරන ආකල්ප වෙනසකින් රටේ ඉරණම වෙනස් කළ හැකිය. දඬුවම් දඩ නඩු සහ බලය වැනි  වැඩවසම් සංකල්ප වලින් රට සංවර්ධනය කිරීමට යාම අවසානයේ තවත් ඛේදවාචකයකට පාර කපනු ඇත. 

වැසියා රටවැසියකු කළ යුත්තේ උප්පැන්න සහතිකය දීමෙන් නොව හදවත සකස් කිරීම තුළිනි. ලංකාවේ සමීක්ෂණයක් කළහොත් ලංකාවේ නතර වීමට කැමති එකදු පුරවැසියකු සොයාගැනීමට අසීරු වණු ඇත. සියලු මිනිසුන් හැකියාව ඇත්නම් රටින් පිටවීම සිහිනයක් ලෙස දකිමින් රටේ සේවය කිරීම අද දවසේ මේ රටේ පළමු ඛේදවාචකයයි. මිනිසෙකුට රාජ්‍යය පහළ වීමට පෙර සිට පවත්නා රාජ්‍යයෙන් පරිභාහිර නැතහොත් ස්වාධීන අයිතිවාසිකම් ඇති බව තොමස් හොබ්ස් සහ ලොක් පවසා ඇත. නිදහස අර්ථ ගැන්වෙන්නේ මේ නිදහසට ඇති හිමිකම මතයි. 

නෙදර්ලන්තයේ බන්ධනාගාර වැසී යන්නේ නිදහස විසින් ඇති කළ භූමියේ අයිතිය මිනිසුන් තේරුම් ගැනීම නිසාවෙනි. ලෝකයේ සතුටින් සිටින වැසියන් අතින් අපරාධ වැරදි සිදු නොවීමේ තර්කය තේරුම් නොගත් කිසිදු ආණ්ඩුවකට මේ රට නිවරැදි කළ නොහැක. අප්‍රිකානු ගෝත්‍රික සමාජයෙන් අප වෙනස් වන්නේ භූමියේ අයිතියෙන් සහ සමාජීය වගකීමෙන් රට වැසියා බැහැර කිරීම නිසාවෙනි. රට වෙනුවෙන් දිවිදුන් ලක්ෂ එකහමාරකට වැඩි දේශමාමකයන්ගේ හෘද සාක්ෂිය අවදිකිරීමකින් තොරව මේ රටට විමුක්තියක් නොමැත. 

♦ වජිර කාන්ත උබේසිංහ