2017 ජනවාරි 07 වන සෙනසුරාදා

අධ්‍යාපනයේ දියුණුවට tablet ගනිමුද?

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

 

2017 වර්ෂයේ අයවැය යෝජනාවලියට අනුව අධ්‍යාපනයට සිදුකළ වෙනස්කම් අතර උසස් පෙළ සිසුන්ට හා ගුරු භවතුන්ට ටැබ් පරිගණක ලබාදීම ආකර්ෂණීය දෙයක් ලෙස කෙනකුට හැඟීම අරුමයක් නොවේ. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන අට අනූවක් රෝග ව්‍යාධිවලට සාපේක්ෂව ගත් කල මෙය සිල්ලර දෙයකි. මන්ද උගත්කම තමාට සාපයක් වූ යුගය අවසන්ව බොහෝ කල් ගතවූවද දැන් පැමිණ ඇත්තේ අධ්‍යාපනය, උගත්කම සමාජයට සාපයක් වන අවධියයි. ඒ මන්ද, විනයක් හික්මීමක් නැති සමාජයට ආදරය නොකරන පුද්ගලයන් බිහිවීම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති බරපතළ අතපසුවීමක් නිසා සිදුවන දෙයක් නිසාවෙනි.

කෝකටත් තලන, උඩ පැන පැන තලන දෙයක් තරමටම අධ්‍යාපනය අද පත්වී තිබුණද යාථාර්ථයම එයම නොවේදැයි සිතනු මැනවි. අධ්‍යාපන අර්බුදය, විෂය මාලාව, ගුරු පුහුණුව, පාසල් පද්ධතිය තුළ බොහෝ දුරට ඔඩුදුවන තත්ත්වයට පත්ව ඇත. ගුරුභවතුන් කොතෙක් කීවද විෂය නිර්දේශ සකස් කරන ඇත්තන් ඒවා සත පහකට ගණන් නොගෙන පුළුවන් තරම් පෙළපොත පුරවා විෂය නිර්දේශ සකස් කරති. වෛද්‍යවරු කොතෙක් කීවද ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වැනි විෂයන්ට පෙළපොත් දෙක තුන බැගින් සකස් කර පොත් බෑග් පුරවති. එකම විෂයේ මාතෘකා, ඒකක සෑහෙන්න ප්‍රමාණයක් සාදති. ඔවුන්ගේ පාණ්ඩිත්‍ය අමුතුම ආකාරයෙන් පෙන්වා දෙති. කවරකුවත් ළමයා ගැන, ශිෂ්‍යයා ගැන සිතන්නේද නැත. ටැබ් එකක් දුන් පමණින් එය අධ්‍යාපන අර්බුදයට විසඳුමක් වන්නේ කෙසේදැයි සිතාගැනීමටද නොහැක. ශිෂ්‍යයන් ගැන සිතා දුන්නද ශිෂ්‍යයන් ගැන සිතන්නට තව බොහෝ වෙනස්කම් කළ යුතුව ඇත.

ඉතින් නරාටු ශිෂ්‍යයන්, ශිෂ්‍යාවන් බිහිවීම මේ අධ්‍යාපන ක්‍රමය තුළ අරුමයක් නොවේ. රට ගැන සිතන, පාසල ගැන සිතන දරුවන් බිහිකිරීමට මෙම අධ්‍යාපන ක්‍රමය අසමත් වී ඇත්තේ විෂය නිර්දේශ, පෙළපොත් සහ විභාග ක්‍රමය නිසාය. කලකට ඉහතදී  විභාග ක්‍රමය අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කර දහස් ගණන් මුදල් වැයකර වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වූවත් සමාජයෙන් ගත යුත්තක් සිදුවී නැත. ඒවායින් ඉතිරි වී ඇති එකම නෂ්ටාවශේෂ වන්නේ අපොස සාමාන්‍ය පෙළ පන්තිවල දැනට බොරුවට කරන පාසල් පාදක ඇගයීම් පමණි.

ශිෂ්‍යත්වයෙන් පටන්ගෙන අපොස සාමාන්‍ය පෙළ. අපොස උසස් පෙළ දක්වා පවතින තරගකාරී විභාග ක්‍රමයත්, ඊටත් එහා තරගකාරීව පවතින විෂය නිර්දේශ, පෙළපොත් ආදියත් අධ්‍යාපනයට කරන හානිය සුළුපටු නොවේ. ඒවායින් සිදුවන එකම දෙය රටටත්, පාසලටත්, පුද්ගලයාටත් ආදරය නොකරන රොබෝවරු බිහිකරන සමාජයක් ඇති කිරීම පමණි. ඉතින් දියුණු රටක් ගැන කවර කතාද? දියුණුව කියන්නේ දරුවා අතට ටැබ්ලට්, ලැප්ටොප්, ස්මාට් ෆෝන් දීමද? යන්න තවදුරටත් නැණ පමණින් සිතා බැලිය යුත්තකි.

♦ නයන්ත ජගත් පුංචිහේවා
වාඩිගල, රන්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00