2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ග්‍රහයන් කළඹන දේශපාලනය

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ඉදිරියේදී ආණ්ඩුවට අදට වඩා වෙනස් තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට මත පළවේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව මෙම මුල් සතියේදී ආණ්ඩුවට ඉදිරිපත් වනු ඇති අතර ඒ පිළිබඳ කටයුතු කිරීම ප්‍රමාද කළ නොහැකි වී ඇත. එසේම ආණ්ඩුව තුළ දෙපාර්ශ්වයේ මැති ඇමැතිවරුන් අතර ප්‍රසිද්ධියේ විවේචන හා මත ගැටුම් ඇතිවෙමින් පවතින අතර ඉදිරියේදී ඒවා උග්‍ර තත්ත්වයට පත්වනු ඇතැයි පැවසේ.

එසේම ළඟදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට සහය දුන් ඇතැම් දේශපාලනඥයන් විපක්ෂ බලවේගවලට එකතුවන බවට කටකතා පවතී. ආණ්ඩුව මෙතෙක් ගෙනගිය ක්‍රියාමාර්ග පිළිබඳ දැනටමත් අභ්‍යන්තරයෙන්ම විරෝධතා එල්ල වෙමින් ඇත.

වර්තමානයේ ආණ්ඩුවට එල්ල වී ඇති මෙම අභියෝග ජයගත හැකිද යන්න පිළිබඳ දිවයිනේ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් දෙදෙනකුගේ අදහස් පහත පළකරමු.

මෙවරත් ආණ්ඩුව නූලෙන් බේරේවි

ශ්‍රි ලංකාවට අදාළ පලාඵල නිවැරදිව පැවසිය හැක්කේ මකර ලග්න භූමි ප්‍රක්ෂේපණ කේන්ද්‍රය හරහාය. 2017 මැද භාගයේදී ආණ්ඩුව කබලේ බැදුණේය. එය දුටු විවිධ විචාරකයෝ ආණ්ඩු එදා පෙරළෙන බවට අනාවැකි කීවෝය. නමුත් එය මම ප්‍රතික්ෂේප කෙළෙමි.

2017 අප්‍රේල් 30 වෙනිදා ඉරිදා දේශය පුවත්පතේ අසදිසි අතිරේකයෙන් දැලිපිහියෙන් කිරි කෑ අනාවැකියක් මම ප්‍රකාශ කළෙමි.
(ආණ්ඩු පෙරළෙන්නේ ග්‍රහ බලයෙන් මිස ඡන්ද බලයෙන් නොවේ. 2017 දී මේ ආණ්ඩුව පෙරළන්න බැහැ) භයානක අවස්ථාවක කියූ අනාවැකිය මේ වනවිට පලදරා හමාරය. 2017.12.08 වෙනිදා ආණ්ඩුව ගෙදර යන කතා පැතිරේ. අදත් මගේ ස්ථාවරයේ වෙනසක් නැත. එදාටත් මේ ආණ්ඩුව ශක්තිමත් වෙනවා විනා මේ ආණ්ඩුව පෙරළෙන්නේ නැත.

හැබැයි එකක් කියන්නට පුළුවන. රවි ග්‍රහයා 2017.10.08 වෙනිදා තුලා රාශි ගත වී 2017.11.17 වෙනිදා ඉන් නික්ම ගියේය. එනම් රවි ග්‍රහයා මාසයකට වැඩි කාලයක් නීච වී සිටියේය. ජනතාවට අවශ්‍ය නම් ආණ්ඩුව පෙරළා දමන්නට ඒ කාලයේ ඉඩ තිබුණි. ඒ මන්දයත් රාජ්‍ය කාරක රවි නීච වී සිටීම නිසාය. ඒ කාලයේදීවත් ආණ්ඩුව වෙනස්වූයේ නැත.

දැන් අශ්වයා පැනගොස් හමාරය. ඉස්තාලය වැහුවාට වැඩක් නැත. දැන් රාජ්‍ය කාරක රවි ග්‍රහයා ආරෝහණ ගමනට හෙවත් උච්ච අංශකය බලා යන ගමනක් බවට පත් වී ඇත.

2017.11.16 වෙනිදා දවල් 12.22 ට වෘශ්චික රාශියට රවි ග්‍රහයා පැමිණියේය. එවිට ශ්‍රි ලංකාවේ භූමි පත්ලෙන් මකර ලග්න කුණ්ඩලියේ රාජ්‍ය ස්ථානයේ ශුක්‍ර හා ගුරු බලවත් විය. අගමැතිවරයාගේ උත්පත්ති ජන්ම සටහනේ ලග්නාධිපතියා චන්ද්‍ර ලග්නයේ මාලවී යෝගබල සිකුරු සමඟ සම්බන්ධ වෙයි. 

මේ නිසා පූජ්‍ය පක්ෂයේ බලවන්ත කෙනෙකුගේ සහ බලවන්ත කතකගේ රහස් සාකච්ඡාවක් මල්ඵල දරා වත්මන් අගමැති ධුරයත් ආණ්ඩුවත් නූලෙන් බේරෙන බව ශ්‍රී ලංකා මකර ලග්න කේන්ද්‍රයෙන් විද්‍යාමාන වන්නේය.

2017 දී මා මීට පෙර කියූ පිම්ම පැන හමාරය. මේ පනින්නේ දෙවෙනි පිම්මය. ඉන්පස්සේ පනින පිම්ම ගැන කිව යුත්තේ එකී අනාගත ග්‍රහ චක්‍රය මතය.

එසේම එකී ගෝචර ලග්න කුණ්ඩලියේ 11 වැන්නේ මිත්‍ර රාශිගත වී රවි ග්‍රහයා බුද සමඟ තැන්පත්ව සිටී. එය පාර්ලිමේන්තුව නිවේදනය කරන ස්ථානයයි. එකී ග්‍රහ පිහිටීම නිසා පාර්ලිමේන්තුවේ ප්‍රබල හෙල්ලුම් කෑමක් සිදුවන්නේය. පක්ෂ විපක්ෂ නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අලුත් පත්වීම් ලැබීමත් මත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සංඛ්‍යාත්මක ඉහළ යෑමක්ද පෙන්නුම් කෙරේ. 

කෙසේ වෙතත් පොදු ජන කාරක සෙනසුරු ග්‍රහයා ධනු රාශියේ 2020.01.24 දක්වා ගමන් කරන්නේය. මේ නිසා කවුරු ආණ්ඩු කෙරැවත් දුක් විඳින ජනතාවගේ අඩුවක් දකින්නට නැත. සෙනසුරු ධනුවේ ගමන් කරන විට උදාකරනු ලබන පෝලිම් යුගය නිසා පෝලිමේ යන ජනතාවට මුක්කු ගසන්නට මැති ඇමතිවරුන්ටද සිදුවෙනවා ඇත.

ජ්‍යොතිෂ නන්දන විශ්වකීර්ති ජ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී ගාල්ලේ තලගහ අක්මීමන සුරා ශ්‍රී ගුණවර්ධන

ආණ්ඩුවට මේ සැරේ ගොඩ එන්න අමාරුයි

වර්තමාන ආණ්ඩුවේ අස්ථාවරභාවයක් උද්ගත වන බවට මේ දිනවල විවිධ ආරංචි පැතිරයමින් පවතී. එසේම ආණ්ඩු විරෝධී කණ්ඩායම් ජයගන්නා අතර ඔවුන් අභ්‍යන්තරයෙන් ගෙන ගිය ආණ්ඩුව අඩපණ කිරීමේ කුමන්ත්‍රණය යම් පමණකට හෝ ඉටුවන බවට කතාබහට ලක්වෙන බවක් දක්නට ඇත. ජනතාව ද මේ පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටී.

මේ වන විට පවතින ග්‍රහ තත්ත්වය අනුව වර්තමාන රජයට කුමකින් කුමක් සිදුවේද යන වග විමසා බැලීම වැදගත්ය. සූර්යා තමාට මිත්‍ර රාශි භවනක් වූ වෘෂ්චික රාශියේ ද අඟහරු තම මුළු රාශි භවන වූ තුලා රාශියෙහි හා බුධ ග්‍රහයා ධනු රාශිගතව ද ගමන් කරයි. බ්‍රහස්පති තමාට සතුරු රාශි භවනක් වූ තුලා රාශියෙහි රාහුට අයත් සා නැකතේ ගමන් කරමින් ද සෙනසුරු තමාට මිත්‍ර රාශියක් වූ ධනු රාශියෙහි කේතුට අයත් මූල නැකතේ ගමන් කරමින් ද රාහු තමාට සතුරු රාශි භවනක් වූ කටක රාශියෙහි බුධට අයත් අස්ලිය නැකතේ ද යුරේනස් කේතුට අයත් අස්විද නැකතේ මේෂ රාශියෙහි වක්‍ර ගමනින් ද නැප්චූන් සෙනසුරුට අයත් කුම්භ රාශියෙහි රාහුට අයත් වූ සියාවස නැකතේ ද මෙ වන විට ගමන් කරමින් සිටී. යුරේනස්ගේ සප්තම දෘෂ්ටිය අඟහරු හා බ්‍රහස්පති වෙත එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් රජය මේ දක්වා ස්ථාවරව පවත්වාගෙන ගියද 2017 නොවැම්බර් මස 28 වැනි දින දවල් 12.30ට බුධ ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් එකම අංශකයක ධනු රාශියෙහි ගමන් කිරීම හේතුවෙන් ග්‍රහ යුධ සංග්‍රාමයක් සිදු වූ බව පෙනේ. නැවත වරක් 2017 දෙසැම්බර් 6 වැනි බුධ දින සවස 5.36ට බුධ ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් ධනු රාශියෙහිම එකම අංශකයක ගමන් කරමින් නැවත යුධ සංග්‍රාමයක නිරත වනු ඇත. පිට පිට දෙවරක් දින අටක් වැනි කෙටි කාලයක් තුළ සෙනසුරුත් බුධ ග්‍රහයාත් පීඩනයට ලක්වීම හේතුවෙන් සෙනසුරුගේත් බුධගෙන් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ල වනු ඇත. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම්වල වෙනසක් සිදුවනු ඇත. හවුල් පක්ෂ ගිවිසුම් දෙදරා යාම්ද රාජ්‍ය පාලනයට උදව් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයට සහාය නොදී මෙතෙක් පැවැති ස්ථාවරයෙන් ඉවත්වීමද සිදු වේ. මෙම තත්ත්වය උග්‍රව යාම නිසා ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ මැති ඇමැතිවරු කිහිපදෙනකු තම තනතුරු අත්හැර යාමක් ද සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේ අස්ථාවර බවක් පැනනගින අතර බලාපොරොත්තු රහිත වූ ක්ෂණික කරදර සහ එකදිගට ගැටලුවලට රජයට මුහුණ දීමට සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රභූවරයකුගේ කීර්තිනාමය හානි වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය පාලන කටයුතු ස්ථාවරව ගෙන යාමට රජය විසින් යම් යම් කැපකිරීම් සිදුකරමින් අභියෝගාත්මකව කටයුතු කරනු ඇත.

කෙසේ වුවද ළඟදී පැවැත්වෙන මැතිවරණවලදී පවතින රජයට බහුතර බලයක් ලබාගැනීමට අපහසු වන අතර වෙනත් බලවේගයක් ඉදිරියට ඒමට ඉඩ තිබේ. මුලින් පැවසූ පරිදිම ග්‍රහ යුද්ධ නිසා ආණ්ඩුව දුර්වල බවට පත්ව තිබීම මෙයට හේතු වේ. ආණ්ඩුවේ කොටසක් මැතිවරණවලදී විරුද්ධ බලවේගවලට එකතු වී එම බලවේග ශක්තිමත් කරනවා ඇත. මේ අනුව ඉදිරියේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවන බව කිව යුතුය.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය   
ඔලබොඩුව ගෝනපල

 

 

 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00