2017 ජනවාරි 07 වන සෙනසුරාදා

අනාගත දින දසුන

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

 

නව වසර ඇරැඹෙත්ම මට අපූරු දින දර්ශනයක් තෑගි ලැබුණි. එහි ඉහළ කොටසේ දක්නට තිබුණේ අනාගත ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ඡායාරූප පෙළකි.

සාමාන්‍ය දින දර්ශනයක දක්නට ලැබෙන්නේ සුන්දර දර්ශනයක්, සුරූපී තාරකාවක් හෝ වෙනත් සිත්ගන්නා සුළු ඡායාරූපයකි. දේශපාලනඥයන් දැක්වෙන දින දසුන් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ බොහෝවිට මැතිවරණ සමයන්හිදීය.

මේ අමුතු දින දසුන මගේ කුහුල ඇවිස්සීය. මම වඩාත් ඕනෑකමින් එය දෙස බැලුවෙමි. රටකට මේ තරම් අනාගත ජනාධිපතිවරු සහ අගමැතිවරු සිටිය හැකිද?

එක් එක් ජනාධිපතිට පහළින්, ඔහුගේ සමයේ අගමැතිගේ ඡායාරූපය දැක්වෙයි. මේ පිරිස අතර හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපතිනියන්ද සිටීම පුදුමසහගතය. අනෙක් අය අතර කතානායකවරු, ඇමැතිවරු, මන්ත්‍රීවරු, විපක්ෂනායකවරු පමණක් නොව මහ ඇමැතිවරු සහ පළාත් සභා ඇමතිවරුද සිටිති. ඔවුන් අතර සිටින බොහෝ දෙනා මෙලෝ රහක් නැති ජල්බරිකාරයෝය. එබඳු උදවියද රටක ජනාධිපති, අගමැතිවීමට සූදානම්ව සිටීම භයානක විහිළුවකි. එහෙත් සැබෑ තත්ත්වය මෙයයි.

ඇප මුදල පවා රාජසන්තක වන බව දැන දැනත් ජනාධිපතිකම වැනි ඉහළ තනතුරකට තරග කරන්නට ඒම, මෙරටට අලුත් දෙයක්ද නොවේ. ආතක් පාතක් නැති දේශපාලන අනාථයින්ගේ සිට කිරිහරක් පට්ටිකාරයන් දක්වාම උදවිය එසේ ඉදිරිපත්ව බ්ලාස්ට් වී ගියහ. සුදුසුකම් තිබේ නම්, ඕනෑම පුරවැසියකුට මැතිවරණ සදහා තරග වැදිය හැකි නිසා කිසිවකුට ඔවුනට දොස් කීමටද නොහැක. එහෙත් කරන කියන දෙයක් සිහි බුද්ධියෙන් කිරීම, මොළේ කළඳක් හෝ තිබෙන මිනිසුන්ගේ පිළිවෙළය. එසේ නොකරන්නෝ රට්ටු හිනස්සති. දේශපාලන බම්මන්නෝ බවට පත්ව, ඉතිහාසයේ කුණු බක්කියට වැටෙති.

ඒ කෙසේ වෙතත්, ඉහත කී ජනපති - අගමැති දින දසුන තුළ සැඟවී ඇති මනෝවිද්‍යාත්මක සාමාන්‍යයක්ද ඇත. ඒ මෙසේය. 
සෑම නගර සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වීමට සිහින දකිති.
සෑම පළාත් සභා මන්ත්‍රීවරයෙක්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවීමට සිහින දකිති.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම ඇමතිවරයකු වීමට සිහින දකිති.
සෑම ඇමතිවරයකුම කතානායක, සභානායක, විපක්ෂ නායක හෝ අගමැතිවීමට සිහින දකිති.
සෑම අගමැතිවරයකුගේම සිහිනය ජනාධිපතිවීමය.

අනාගත ජනපතිවරුන්ගේ හා අගමැතිවරුන්ගේ දින දර්ශනය සකස් වන්නේද මේ චක්‍රයේ ප්‍රතිඵලයක් හැටියටය.
ජනපති, අගමැති තනතුරු සඳහා ඉදිරිපත්ව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගත් කළ, ඔවුනට ඒ සඳහා අනුපිළිවෙළින් දශක දෙක තුනක්වත් බලා සිටීමට සිදුවනු ඇත.

ජනපති අපේක්ෂකයා ලෙස පියාත්, අගමැති ලෙස පුතාත් ඉදිරිපත්ව සිටින අයුරුද දැකගත හැකිය. පියා ජීවතුන් අතර සිටින තාක්කල් පුතාට රජවිය නොහැක. එහෙයින් සීගිරි කාශ්‍යප ක්‍රමවේදය හෝ අනුගමනය කිරීමට සිදුවනු ඇත.

ඉදිරිපත්ව සිටින්නවුන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා (වයස්ගත පුද්ගලයා) හමුවීමට ගිය මම, මෙම කාලවකවානු ප්‍රශ්නය ඔහු හමුවේ තැබුවෙමි.

මේ දින දර්ශනයේ තියෙන නාමාවලිය බැලුවම, ඔබතුමා ජනාධිපති වෙනකොට වයස අවුරුදු එකසිය පනහත් පැනලා තියෙයි නේද?

අපොයි ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අපේ රටේ ජනාධිපතිකම්, අගමැතිකම් කොයි කාට කොයි මොහොතේ ලැබෙනවද කියන්න බෑ.... සමහරු රෑ නිදාගෙන නැගිටින කොට ජනාධිපති. තවත් සමහරු ජනාධිපති වුණේ, ඉදිරි පෙළේ හිටපු නායකයෝ එක දිගට මැරිලා ගිය හින්දා.

එතකොට ඔබතුමාත් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට අහඹු ජනාධිපතිකමක් ලබාගන්න.

ඔව්. මම දැනටත් අලුත් සූට් එකකුත් මහගෙන සූදානමින් ඉන්නෙ.

සූට් එකක් කිව්වෙ, ජාතික ඇඳුමක් වෙන්ඩැති?

නෑ නෑ ඉන්දියාවේ ජනාධිපතිගෙ සූට් එක.

ඒක ලංකාවට ගැළපෙනවයැ?

මොකද නැත්තෙ. අමුතු සූට් එකක් ඇන්දම තමයි පොරක් වගේ පේන්නෙ.

ඔහුගෙන් සමුගත් මම, දින දසුනේ සිටි අගමැති අපේක්ෂකයකු හමුවීමට ගියෙමි.

ඔබතුමා කොයි කාලෙද අගමැති වෙන්න හිතාගෙන ඉන්නෙ?

ඒක අහන්න ඕන අපේ පක්ෂෙ නායකතුමාගෙන්. එතුමා ජනාධිපතිවුණු හැටියෙම, මාව අගමැති කරනවා.

ඔබතුමා අගමැති වෙන්න දඟලන්නෙ ඇයි? මොකක්ද ඔබතුමාගෙ අනාගත සැලැස්ම?

මගේ ඉදිරි පියවර ජනාධිපති වීම. එහෙම නැත්තං ජනාධිපතිගෙ බලතල අඩුකරල, ඒවා මට පවර ගන්නවා. එතකොට සොක්කා ලොක්කා වෙනවා. ලොක්කා සොක්කා වෙනවා.

මම අනාගත අගමැතිතුමාට සුබපතා එතැනින් නික්ම දින දසුනේ සිටි තරමක් අප්‍රකට පුද්ගලයකු සොයා ගියෙමි.

ඔබතුමා කවුද?

මම ජ්‍යොතිශ ශාස්ත්‍රඥයෙක්.

දේශපාලන පසුබිමක් නැතුව ඔබතුමා කොහොමද අගමැති පදවිය බලාපොරොත්තු වෙන්නෙ?

මොකද නැත්තෙ? මගේ අනාවැකි අහල තමයි ඔය සේරමලා ජනාධිපති, අගමැති වෙන්න හදන්නෙ. ජනාධිපති වෙන අය මට පොරොන්දු වෙලා තියෙනවා අගමැතිකම දෙනවය කියලා.

ඉතින් ඒක එහෙම වෙයිද?

ඔය කවුරුහරි පරණ පිනකට ජනාධිපති පුටුවෙ ඉඳගත්තොත් මම ගොඩනෙ යාළුවා.

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00