2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මුගාබේ සමඟ නැගිටිමු

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ශ්‍රී ලංකාවේ නිල පොලිස් සුනඛයින්, වසර දහයක සේවා කාලයෙන් පසු විශ්‍රාම යැවීමට තීරණයක් ගෙන ඇතැයි පුවත්පත් මගින් දැන ගන්නට ලැබුණි. සුනඛ අයිතිවාසිකම් රැකදෙන එම තීරණය අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය පිණිස හේතුවන බවද පැහැදිලිය. පොලිසියේ “බලු වැඩ” ගැනම නෙත් යොමා ගෙන සිටින සමහරු ඔවුන්ගේ හොඳ වැඩක් දුටු විට ඉවත බලාගන්නා නමුත් අප නම් එතැන නැත.

නෙදර්ලන්තය ආදී රටවලින් ගෙන්වා ගන්වනු ලබන පොලිස් සුනඛයෙකුගේ මූල්‍යමය වටිනාකම පොලිස් භටයෙකුගේ වටිනාකමට ද වඩා ඉහළ යැයි කෙනෙකුට කල්පනා විය හැකිය. එහෙත් ලංකාවේ සිදුවන අපරාධ ප්‍රමාණය දෙස බලන කල පොලිස් සුනඛයෙකුට ලක්ෂ දහයක් දොළහක් ගෙවුවත් එහි කිසිදු අපරාධයක් නැතැයි අපට හැඟේ. හරි විදිහට නම් උන්ට විශ්‍රාම වැටුප ද ගෙවිය යුතුය. මෙය මහජන සේවකයින්ට පවා විශ්‍රාම වැටුප් ගෙවන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බව අප අමතක නොකළ යුතුය. මිනිසුන්ට මෙන්ම සතුන්ටත් වැඩ කිරීමේ සීමාවක් තිබිය යුතුය. කාගෙන් වුණත් ඕනෑවට වඩා වැඩ ගැනීම “බලු වැඩ”කි.

වියපත් වූ විට විශ්‍රාම යාම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් ඊට නොකැමති උදවිය ද බොහෝ වෙති. දේශපාලන ලෝකයේ එබඳු සිදුවීම් නිතර අසන්නට ලැබෙන අතර ඊට හේතුව වන්නේ ජනතා සේවයෙන් තොර ජීවිතයක් ඔවුනට නොමැති වීමය. එනිසාම ජනතාවම ඉල්ලා සිටියත් ඔවුහු තනතුරු අත්හැරීම් මැලි කරති. කලකට ඉහත රොඩ්ෂියාව නමින් බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවති සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපතිව සිටි රොබට් මුගාබේ උන්නැහේ ද විශ්‍රාම යැවීමට සිදුවූයේ හමුදා කුමන්ත්‍රණයක් පවා කිරීමෙනි.

මුගාබේ බලයෙන් පහ කිරීම හෝ බලයෙන් විශ්‍රාම යැවීම පිළිබඳව කනස්සලු තීරු ලිපිකාරයින් කීප දෙනෙකුම ලියා තිබුණේ ලෝකයට හාස්‍ය රසය නොඅඩුව සැපයූ එවන් නායකයෙකු නැතිවීම බලවත් පාඩුවක් බවය.

මීට මඳ කලපට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඉංග්‍රීසි ජාතික පත්‍රකලාවේදියෙක් මුගාබේගෙන් මෙසේ ඇසුවේය.

“සර් ඔබතුමාගේ වයස දැන් 89යි. ජනාධිපතිකමෙන් අයින් වෙන්න හොඳ කාලෙ කියලා හිතෙන්නේ නැද්ද?”

ඒ ඇසූ මුගාබේගේ මුවෙහි උපහාසාත්මක සිනාවක් මතු වුණි. ඔහු ඉංග්‍රීසිකාරයාගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

“තමුසෙලා කවදාවත් ඔය ප්‍රශ්නෙ එංගලන්තෙ මහ රැජිණගෙන් අහනව ද? අප්‍රිකානු අපෙන් විතර ද ඕක අහන්නෙ?”

සුද්දා කට පියා ගත්තේය. කොහොමත් මුගාබේට සුද්දන් පෙනෙන්නට බැරිය. ඔවුන් අල්ලා ගෙන සිටි ඉඩම් ආපසු ගැනීමට කටයුතු කළේ ද එබැවිනි. සුද්දන්ටද මුගාබේ යනු එපා කරපු කල්ලෙකි. 

හිට්ලර්ටත්, චාලි චැප්ලින්ටත් තිබුණේ එකම ජාතියේ උඩු රැවුළක් වුණත් දෙදෙනා කළේ දෙජාතියක වැඩය. මුගාබේට තිබුණේ ඒ රැවුලමය. එහෙයින් දෝ ඔහු තුළ හිට්ලර් මෙන්ම චැප්ලින් ද සිටියේය. මුගාබේගේ හිට්ලර් චරිතයට ප්‍රිය නොකළ අය පවා කොමඩි ස්ටාර් කෙනෙකු ලෙස අගය කළෝය.

ජාතිකානුරාගය ඔහුගේ අවිය විය. කුසගින්නේ සිටින ජනයා පවා නිහඬ කරවීමට ජාත්‍යාලය හා දේශප්‍රේමය යොදා ගතහැකි බව මනාව දැන සිටි ඔහු එය ක්‍රියාවට ද නැඟුවේය. “තමන්ගේ එළුවා නැති වූ මිනිසාට අල්ලපු ගෙදර සුප් එකේ සුවඳත් සැකයි.” යනු මුගාබේගේ ජනප්‍රිය කියමනකි. ඒ අනුව යමින් ඔහු හැම සුදු රටක්ම සැක කෙරුවේය. සුද්දන් අතර විශ්වාසය තැබිය හැකි එකෙකු සිටිනවා නම් ඒ මළ සුද්දා යැයි ඔහු කීවේ එහෙයිනි.

වර්තමාන තත්ත්වය කෙසේ වෙතත් එක් කලකදී රොබට් මුගාබේ යනු සිම්බාබ්බේ දේශය සුද්දන්ගෙන් ගලවා ගත් වීරයාය. දේශපාලන ලෝකයේ වීරයා ද්‍රෝහියා වීමට යන්නේ කෙටි කලකි. දැන් මුගාබේෙග් පුටුවේ හිඳ සිටින්නේ ඔහුගේම සගයෙකුව සිටි එමර්සන්ය. මළාක් මෙන් වැතිර සිට එක්වරම හැරී පහරදීමේ කිඹුල් ගතිය ඇත්තෙකු ලෙස සැළකෙන එමර්සන්ගේ ලාංඡනයද කිඹුලාමය. එහෙයින් කිඹුලා කනවා ඉවසතහැකි කොහිල කටු ඇනෙනවා ඉවසිය නොහැකිය යන අපේ කියමන මුගාබේ සම්බන්ධයෙන් නම් අනික් පැත්තය.

බලය අහිමි වනවිට මුගාබේට වයස 93කි. ඔහුගේ බිරිඳ ග්‍රේස්ට 52කි. තමන්ගෙන් පසු තම පවුලේ කෙනෙකුම ජනාධිපති පුටුවේ ඉන්දවීම බොහෝ ජනාධිපතිවරුන්ට හැදෙන ලෙඩකි. මේ ලෙඩේට බෙහෙත් නැත. පැරදුණත් උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන්ගේ එකෙකුම උඩට ගන්නටය.

මුගාබේ සිහින දුටුවේ තම ප්‍රියාම්බිකා ග්‍රේස් ජනාධිපතිනිය කරවීමටය. එහෙත් දැන් එය බිඳ වැටී ඇත. ග්‍රේස්ද ඉමෙල්ඩා මාකෝස් වර්ගයේ ආර්යාවකි. සිම්බාබ්බේ ජනයා පාන් රාත්තලක් ගැනීමට විල්බැරෝවක මුදල් ගොඩ ගසා ගෙන යද්දී (මුදලේ අගය පහත වැටුණු බැවින්) ග්‍රේස් මැතිනිය ක්‍රෙඩ්ට් කාඩ් රැගෙන ධනපතියන්ටම ඇරුණු සාප්පුවල සවාරි ගැසුවාය.

අධි සුඛෝපභෝගී ජීවිතයකට හුරුවූ ග්‍රේස් වැනි මැඩම්ලාට ඉන් ගැලවීම ලේසි නැත. ඒ නිසා ඇය මුගාබේට මෙසේ යෝජනා කළාය.

“මුගාබේ සමඟ නැගිටිමු කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.”

“පිස්සු ද ග්‍රේස්... මට දැන් තනියම පුටුවෙන් නැඟිට ගන්නත් පණ නෑනෙ.”

“ඒ හරිය මං නොදැන්නවයැ. අපි මුල ඉඳන් පටන් ගමු. ඔයා කොහේ හරි දුර පළාතකින් ඡන්දෙ ඉල්ලල පාර්ලිමේන්තුවට යන්ඩ. ඊට පස්සේ අගමැති වෙන්ඩ බලමු. අගමැති වුණාට පස්සේ විශ්වාස භංගයකින් ජනාධිපතිකම ගනිමු.”

“ඒ අදහසත් නරකම නෑ. ඒත් මට අවුරැදු සීයක් එකසිය පණහක් ජීවත් වෙන්ඩ පුළුවන් වෙයිද?”

“මොන එහෙකටද? ඔයා ස්වර්ගෙට ගිය හැටියේ මම තමයි ජනාධිපති. ඊට පස්සේ මං ඔයා ගැන පොතක් ලියන්නංකෝ. ජනාධිපති සැමියා කියලා.”

තමාගේ මරණයෙන් පසු හෝ ග්‍රේස් ජනාධිපතිනිය වීම ගැන සතුටු වූ මුගාබේ ඇයගේ අනාගත සැලසුමට එකඟවිය.

මේ අතර පුවත්පතක වූ ප්‍රවෘත්තියක් ද දුටු ග්‍රේස් කෝපයට පත්ව එය මුගාබේට පෙන්වූවාය.

“ඒයි රොබට් අර චුචුන්ගා ඇමැතියා අපේ විරුද්ධ කණ්ඩායමට පැනලනෙ.”

“මොනවා ඕකට මං කොච්චර උදව් කෙරැවද, ඌ මොකද දැන් කියන්නේ.”

“මුගාබේ අප්පච්චී මළාලු. ඊට පස්සේ එයා ගෙදර තියා ගන්ඩ බැරිලු... ඔන්න ඔය වගේ ජරා කතා.”

“මොනවා. ඒකා මට එහෙම කියනවා ඈ? යකෝ බලං ගියාම සුද්දෝ හොඳයිනෙ...”

“මං ඕක තමුසෙට කලින්ම කිව්වා.” ග්‍රේස් වැලමිටෙන් මුගාබේගේ හිසට ඇන්නේය. මුගාබේ තම බිරිඳගේ පශ්චාත් භාගයට ඇලවුණේ මහත් පශ්චාත්තාපයෙනි.

 කපිල කුමාර කාලිංග   

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00