2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

චරිත සහතිකයක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2086

පසුගිය දිනෙක මට අපූරු අත්දැකීමකට මුහුණපෑමට සිදු විය. ඒ හැටි දැනහැඳුනුම්කමක් නැති පුද්ගලයෙක් මා හමුවීමට පැමිණ චරිත සහතිකයක් ලියාදෙන මෙන් ඉල්ලීය. (ඔහුගේ සැබෑ නම නොකිව යුතු හෙයින්, ජයසිරි යැයි යොදමි.) මට ඒ ඉල්ලීම පුදුමයක් මෙන්ම හාස්‍යයක්ද ගෙන දුන් බැවින්, මම සිනාමුසුව මෙසේ කීවෙමි.

මිත්‍රයා, චරිත සහතික ලියන්න මම සුදුස්සෙක් නෙවෙයි. නරකද ජේ.පී. කෙනෙක් ළඟට ගියොත්? ඔය හැමතැනම ඉන්නෙ. මම හිතන්නෙ, ඔය ඉස්සරහ පෙට්‍රල් ෂෙඩ් එකෙත් ඉන්නව ජේ.පී. කෙනෙක්.

මම ජේ.පී. කෙනෙක් ළඟට ගියා සර්. එයා තමයි කිව්වෙ කාටහරි කියලා චරිත සහතිකයක් ලියාගෙන එන්න කියලා. එයා සීල් එක ගහලා අත්සන් කරලා දෙන්නම් කිව්වා.

ඇයි එයා හුඟක් බිසීද?

නෑ නෑ මං හිතන්නෙ ව්‍යාකරණ ප්‍රශ්නයක්.

ආ... ආ.. එහෙම දෙයක්ද? ඒත් ඉතින් වෙන කෙනෙක් හොයාගන්නෙ නැතුව ඇයි මම ළඟටම ආවෙ.

ත්‍රීවිල් ස්ටෑන්ඩ් එකේ කොල්ලෙක් කිව්වා, සර් පත්තරවලට එහෙම ලියනවා කියලා.

ඔව් ඉඳහිට පොඩි පොඩි දේවල් ලියනවා.

ඒකනෙ ඉතින්, සර් ලේඛකයෙක්නෙ. අනේ මට මේ උදව්ව කරල දෙන්ඩ සර්.

පත්තරවලට ලියපු පලියටම ලේඛකයෙක් වෙන්නෙත් නෑ.

එහෙනම් මාධ්‍යවේදියෙක් කියමුකො.

මාධ්‍යයේ හිටිය පලියටම මාධ්‍යවේදියෙක් වෙන්නෙත් නෑ. හැඳුනුම්පතක් ලැබෙනව විතරයි.

අනේ මන්දා සර්. මට චරිත සහතිකයක් ලියල දෙන්ඩ තරම් දැනුමක් තියෙනවනෙ සර්ට.

හරි. උදව්වක් හැටියට මං ලියල දෙන්නම්කො. අනික, මගෙ අස්සනක් දුන්නෙත් නෑනෙ.

මම ඒ ෆෝ කඩදාසියක් ගෙන, චරිත සහතිකයේ කටු සටහනක් ලියාගැනීමට සැරසුණෙමි. මුලින්ම ඔහුගේ පෙළපත්, වාසගම් සහිතව නම ලියාගතිමි.

දැන් කියන්ඩකො ජයසිරිගෙ විස්තර.. සුදුසුකම්.. ඉස්සෙල්ලා කටුවට ලියාගෙන, පස්සෙ අනවශ්‍ය දේවල් කපලා දාමු.

අනවශ්‍ය දේවල් නෑ සර් මගෙ ළඟ. අවශ්‍ය දේවල් විතරමයි තියෙන්නෙ.

හරි හරි... එක එක කියනවකො බලන්න.

පවුල් පසුබිම කියන්ඩද සර්.. 1948 ඉඳන් පටන් ගන්නෙ. අපේ සීයා, වෙල්මුඩ්ලියර් කෙනෙක්. බාප්පා කෝට් මුඩ්ලියර් කෙනෙක්.

එච්චර තෝම්බු තානාන්තර ඕන නෑ. අපි ලියන්න යන්නෙ චරිතාපදානයක් නෙවෙයි, චරිත සහතිකයක්නෙ. ප්‍රදේශයේ ප්‍රභූ පවුලක සාමාජිකයෙක් කියලා ලිව්වම ඇති... වෙන වැදගත් කාලීන විස්තර කියමු බලන්න.

ජයසිරි හිස කසමින් කල්පනා කළේය.

සර්, ලියන්න මං බැඳුම්කරේට කොහෙත්ම සම්බන්ධයක් නෑ කියලා

ඒක ඉතින් කියන්න දෙයක්යැ. තමුන් කොහොමද බැඳුම්කරේට සම්බන්ධ වෙන්නෙ?

කියන්ඩ බෑනෙ සර්, දැන් ඔය කිසිම දේකට ගෑවිලවත් නැති අයත් ජනාධිපති කොමිසමට ගිහින්, මං ඕවට නෑ කියලා එන්නෙ. කවුද දන්නෙ අපිත් කොහෙ හරි කොනක ඉන්නවද කියලා. කලින්ම නෑ කියලා කිව්වම ඉවරයිනෙ.

හරි. මම ඒක සටහන් කර ගත්තා. වෙන මොනවද?

ලියන්ඩ සර්, මං කිසිම වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙත් නැතෙයි කියලා.

ඔව්. ඒක හොඳයි. එෆ්.බී. එකෙත් නැද්ද?

එෆ්.බී එකේ නැත්තෙ කවුද සර්. මොන්ටිසෝරි ළමයිනුත් ඉන්නවනෙ.

හරි. වෙන මොනවද? විවාහක අවිවාහක භාවය?*

විවාහ අපේක්ෂාවෙන් ඉන්නවා කියලා දාන්න.

අධ්‍යාපන සුදුසුකම් හෙම?

උසස් විභාගවලට පෙනී සිට ඇත කියලා දාන්න.

ඇයි පාස්වෙලා නැද්ද?

මං වෙනුවට පෙනී සිටියෙ අපේ අයියනෙ. මිනිහා මාට්ටු වුණා. ඉතින් කොහෙද පාස් වෙන්නෙ.

අයියා හිරේ යන්ඩැති?

නෑ. පළාත් සභාවට ගියා.

ආ එහෙනම්, අපි ප්‍රභූ පවුලක කියල දාපු එකේ වරදක් නෑ. වෙන තොරතුරු?

සැර මත්පැන් පානයෙන් තොරයි කියලා දාන්ඩ

සැර නැති ඒවා බොනවා?

බියර් බිව්වට සෞඛ්‍යයට හානියක් නෑ කියලා අපේ තාත්තත් කිව්වා. ඒක රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙනවා කියලා අපේ අයියා කිව්වා.

වෙන මොනවද?

කටකතාවලට හසු නොවන කෙනෙක් කියල දාන්න.

ඔව්, ඒකේ කාලීන අගයක් තියෙනවා. බුද්ධිමත් පුරවැසියෙක් කියලත් ඇඟවෙනවා.

කොලස්ටරෝල්, දියවැඩියා, හාට් ට්‍රබල් නෑ කියලා ලියන්න. වකුගඩුවත් හොඳට වැඩ.

ඔව්. ඒකත් වටිනවා. හදිස්සියකට වකුගඩුවක් විකුණන්ඩ හරි පුළුවන්නෙ.

ඇත්තද සර්... කීයකට විතර දෙන්ඩ පුළුවන් වෙයිද? සර්ටත් කොමිස් එකක් තියාගෙන කතා කරලා බලන්ඩ.

නෑ.. නෑ. මම ඒවා කරන්නෙ නෑ. චරිත සහතිකේ ලියන්ඩද?

තව ටිකක් අතින් දාලා ලියන්ඩ සර්. හැම චරිත සහතිකයකම තියෙන ජාති දන්නවා ඇතිනෙ.

වගකීමක් දැරිය හැකි, අවංක, නිහතමානී, සමාජ හා ආගමික කටයුතුවල නියුතු...

නියමයි සර්. ඕවා දැම්මොත් මගෙ වැඩේ ගොඩ.

අහන්නත් බැරි වුණා. මොකටද මේ චරිත සහතිකේ ඉදිරිපත් කරන්න යන්නෙ. ජොබ් වේකන්සි එකකටද?

ඔව් සර්.

මොකක්ද ජොබ් එක?

ලබන සැරේ නොමිනේෂන් ගන්ඩ හදන්නෙ. මේ දවස්වල සම්මුඛ පරීක්ෂණ තියාගෙන යනවා, අපේ පක්ෂ කාර්යාලෙ.

ජයසිරි චරිත සහතිකය සඳහා කියූ කරුණු කාරණා ඔහුගේ අවශ්‍යතාව සඳහා අදාළ වන්නේ කෙලෙසදැයි මට වැටහුණේ එවිටය.

ජයසිරිගෙ අයියා පළාත් සභාවෙ නිසා, ඔයාට චාන්ස් එකක් තියෙයි නේද?

අපෝ නෑ. එයා විපක්ෂෙ. මම ඉල්ලන්නෙ ආණ්ඩු පක්ෂෙන්. අපේ පවුලෙ හත් දෙනයි. හත්දෙනා පක්ෂ හතක. උදාහරණයක් හැටියට කියනව නම් අම්මා විපක්ෂෙ. තාත්තා ආණ්ඩු පක්ෂෙ. පුංචි අම්මා ලිබරල් පක්ෂෙ.

හරි. හරි. මට තේරෙනවා. සම්මුතිවාදී හවුලක් නේද?

නියම අයිඩියා එක සර්. බැරිද ඒකත් සහතිකේ කොහෙට හරි රිංගන්ඩ?

එතකොට මේක දුෂ්චරිත සහතිකයක් වෙනවනෙ. මිනිස්සු හිතයි තමුසෙත් එකාට එකා නැති, යටින් ගේම් ගෙනියන, ඩීල් දාන මුල අමතක පවුලක එකෙක් කියලා.

ජයසිරි එකඟ විය. මම ඔහුට ජයවේවායි පතමින් චරිත සහතිකය පිරිනැමුවෙමි.

 කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00