2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

උඩවලව කැලේ සත්ව පා සටහන් මැට් බඳුනට ගන්නා කොවුල්අාරගම කාන්තාවෝ

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 354

උඩවලව මායිමේ පිහිටි කොවුල්ආරගම යනු මෙරට දිළිඳුම ජනතාව වාසය කරන ‍මොනරාගල දිස්ත්‍රික්කයට අයත් කුඩා ගම්මානයකි. එහි වෙසෙන බොහෝ ජනතාවගේ එකම ආදායම් මාර්ගය ගොවිතැන ය. ඒ අතරින්ද හේන් ගොවිතැනට හිමිවන්නේ වැඩි තැනකි. නමුත් පොදුවේ ගම්මානය පුරා පැතිර පවතින්නේ දරිද්‍රතාවයයි. වියළි කාලගුණයෙන් පීඩා විඳින ගම්වැසියෝ ජීවිතය ගෙවා දමන්නේ දැඩි අගහිඟතා දුෂ්කරතා මැද ය. විරැකියාව අහසට කිට්ටු ය. 

ඉකුත්දා කොවුල්ආරගම බලා ගමන් කරන්නට අපට හේතු සැපයූයේ එහි සිටිනා දිරිය ලියන් කිහිපදෙනෙකි. තම තමන්ගේ ස්වාමිපුරුෂයන් හේනේ කුඹුරේ වැඩ කර සොයන මුදල පමණක් තම ආර්ථික අර්බුදය ජයගැනීමට ප්‍රමාණවත් නොවන වග පසක් කරගත් මේ ධෛර්වන්ත කාන්තාවෝ ද තම පවුලේ ආර්ථිකයට දායක වන්නට සැලසුම් කළහ. ඒ තම ගම්මානයටම පොදු වූ ව්‍යාපාරයක් බිහිකරගනිමිනි. 

පැරැණි සෝවියට් දේශයේ ‘අයිල’ ක්‍රමය සිහිගන්වමින් සාමූහික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කොවුල්ආරගම කාන්තාවන් පියවර ගෙන තිබේ. ඒ මැටි භාණ්ඩ නිෂ්පාදනය ඇසුරු කරගනිමිනි. පුරුෂ පක්ෂයේ කිහිපදෙනකුගේ සහාය යම් යම් කාර්යයන්ට හිමිවුවද මූලික වශයෙන් මේ ව්‍යාපාරය කොවුල්ආරගම කාන්තාවන්ගේ ය. 

2004 වසරේදී කොවුල්ආරගම කර්මාන්ත සමූපකාර සමිතිය පිහිටුවා ගැනෙන්නේ මෙම සෙරමික් ව්‍යාපාරයට අවශ්‍ය පදනම සැපයීමටය. නමුත් එතැන් පටන් ඔවුන් ආරම්භ කළ ගමන සිතූ තරම් පහසු එකක් වූයේ නැත. මුලදී ඔවුන්ට ආණ්ඩුවෙන් උපදේශක මහත්මයකු ලැබුණද ඔහු පසුකාලීනව සමිතිය අත්හැර දමා යයි. නැගී එමින් තිබුණු ව්‍යාපාරය නැවතත් පොළොවටම ඇද වැටුණි. කොවුල්ආරගම කාන්තාවන්ට තම මැටි භාණ්ඩ නිෂ්පාදනය අත්හැර දැමීමට සිදුවිය. 
එහෙත් හිත ඇත්නම් පත කුඩාද යන පාඨය සිහිගන්වමින් ශ්‍රියානි සුබසිංහ මහත්මියගේ සභාපතිත්වය යටතේ වර්තමානයේ මෙහෙයවෙන මෙම සමිතිය මෑතකදී නැවතත් මැටි භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කළේය. නව පිබිදීමකින් යුතුව වැඩ පටන්ගත් ඔවුන්ට USAID සංවිධානයෙන් ද යම් මූල්‍ය දායකත්වයක් ලැබී ඇති බව ශ්‍රියානි මහත්මිය පැවසුවා ය. ඒ හරහා ගම්මානය තුළම තම මැටි භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් පිහිටුවීමටද ඔවුන්ට අවස්ථාව ලැබිණ. 

‘කොවුල්ආර සෙරමික්’ යනුවෙන් ඔවුන් නම් කරන මෙම මැටි භාණ්ඩ ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට කිලෝ මීටර 10ක දුරිනි. ඔවුන් අතින් නිෂ්පාදනය වන පිඟන් කෝප්ප ආදිය මෙන්ම නිවාස සැරසිලි හා සමරු භාණ්ඩ ආදියද එහිදී දැකගැනීමට පුළුවන. 

කොවුල්ආරගම යනු තරමක් වෙනස් නමකි. ගමට එම නම ලැබී ඇත්තේ මන්දැයි ඇසූවිට ගැමියන් කීවේ අපූරු කතාවකි. එනම් සාමාන්‍යයෙන් කොවුල් හඬ ඇසෙන්නේ මාර්තු අප්‍රේල් මාසවලදී වුණත් කොවුල්ආරගම ගමට අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරා කොවුල් නාදය ඇසෙන බවය. එසේ කියද්දී තම උපන්ගම ගැන පුංචි ආඩම්බරයක් ද එම වචනවල තැවරී තිබුණි. එතැන් පටන් කොවුල් නාදයක් ඇසේ ද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටි නමුත් එහි ගත කළ හෝරා කිහිපය පුරාවට එවැනි නාදයක් අසන්නට ලැබුණේ නම් නැත. 

කොවුල්ආරගමටම ආවේණික මෙම නිර්මාණ කටයුතු සඳහා අවට පිහිටි ශාක සහ සත්ත්ව ප්‍රජාවගෙන්ද ලැබෙන්නේ මනා පිටිවහලකි. උඩවලව වනාන්තරයේ නිරන්තරයෙන් සැරිසරන දිවියන්, මුවන්, කුරුල්ලන්, මොනරුන්, අලි හා වෙනත් සතුන්ගේ පා සටහන් ප්‍රවේශමෙන් ලබාගනිමින් ඒවා ඇසුරෙන් තම මැටි භාණ්ඩ විසිතුරු ගැන්වීමට ඔවුහු කටයුතු කරති. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රකට කරන එවැනි අගය එකතු කිරීම් තුළින් කොවුල්ආර මැටි භාණ්ඩවල සුවිශේෂීත්වය තවත් ඉහළ ගොස් තිබේ. නව ප්‍රදර්ශනාගාරය තුළ ද එසේ උසස් නිමාවකින් යුත් පිඟන් කෝප්ප, බන්දේසි, මල් බඳුන්, ජෝග්ගු අළු බඳුන්, සත්ත්ව රූප, විසිතුරු මාල ඇතුළු භාණ්ඩ රැසක් දැකගැනීමට පුළුවන. උඩවලව වනෝද්‍යානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් තම සංචාරයෙන් අනතුරු වටිනා සමරු භාණ්ඩ මිලට ගැනීම සඳහා තම ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙනු ඇත යන්න මොවුන්ගේ අපේක්ෂාව වී තිබේ. 

2004 වසරේදී අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අප සමඟ 140ක පමණ සාමාජික පිරිසක් හිටියා. කාලයත් එක්ක විවිධ ප්‍රශ්න අභියෝගවලට මුහුණ දෙන්න අපට සිදුවුණා. නමුත් විවිධ සංවිධානවල වගේම පුහුණුකරුවන්ගෙනුත් ලැබුණු සහාය හරහා නැවතත් අපිට මැටි භාණ්ඩ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න හැකිවුණා. නැවත නිෂ්පාදන කටයුතු ඇරඹීමත් නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමත් අපේ ගමනේ සුවිශේෂී කඩයිමක්” යැයි ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් කොවුල්ආරගම කර්මාන්ත සමූපකාර සමිතියේ සභාපතිනි ශ්‍රියානි සුබසිංහ මහත්මිය පැවසුවාය. 

කොළඹින් බොහෝ දුර ඈත ඈත ගම්මානයක වාසය කළ ද මෙම ගැමි කාන්තාවන්ගේ ව්‍යවසාය හැකියාවද පුදුම එළවන සුලුය. සකපෝරුවේ මෙන්ම දෑතේ සවියෙන් මැටි පිඬකින් අලංකාර භාණ්ඩ හා රෑප නිර්මාණය කරන මේ දිරිය ළඳුන් ඒවා අලෙවියට ද දක්වන්නේ විස්මිත හැකියාවකි. ඔවුහු ඊමේල් ගනුදෙනු කිරීමට තරම් දියුණුව සිටිති. එමෙන්ම කොළඹ සමරු භාණ්ඩ අලෙවි සල් බොහෝමයකට කොවුල්ආර සන්නාමය යටතේ මැටි භාණ්ඩ සැපයීමට ද ඔවුන්ට හැකිව තිබේ. 

කොවුල්ආර සෙරමික් නිෂ්පාදන මේ වනවිටත් බෙයාෆුට්, සූරිය විලේජ් හා ගුඩ් මාකට් වැනි ස්ථාන රැසකදීම අලෙවි වේ. තමන්ගේ වෙළෙඳපොළ මෙන්ම නිෂ්පාදන පෙළ හා නිර්මාණ රටා තවදුරටත් වර්ධනය කිරීම තුළින් තම අලෙවි කටයුතු වර්ධනය කරගැනීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ වනවිට විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමුකර සිටින කොවුල්ආර සෙරමික් නිෂ්පාදන, ඉදිරියේදී වැඩි වශයෙන් එදිනෙදා භාවිතයට උවමනා කෙරෙන භාණ්ඩ කෙරෙහි නැඹුරු වීමට සැලසුම්කර තිබේ. මේ ධෛර්යවන්ත ළඳුන්ගේ වීර්ය චාරිකාව ඔවුන්ගේ පවුලේ ආර්ථිකයට මෙන්ම අවසානයේදී රටේ ආර්ථිකයට ද සපයන්නේ දැවැන්ත ශක්තියකි.  

 සටහන හා  ඡායාරූප - රජිත ජාගොඩ ආරච්චි