2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

බජට් එකෙන් නගින බිල්

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 351

♦ බැංකුවලට දාන බද්ද ගනුදෙනුකරුට වැටෙනවා

♦ විදුලි භාණ්ඩ, ඇස් කණ්ණාඩි, ඔරලෝසු මිලත් ඉහළට

♦ කාබන් බද්ද හැම වාහනයකටම

මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අයවැයද, යහපාලන රජයේ සිවුවන අයවැය ලෙසද පසුගිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය තුළින් පොදු මහජනතාවට විශාල බරක් දැරීමට සිදු නොවනු ඇතැයි රජය ප්‍රකාශ කර තිබුණි. එසේම එමගින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන අතර රටේ ආර්ථිකයට නවෝදයක් උදාවනු ඇතැයි කියැවිණි. පොදු ජනතාවගේ බලාපොරොත්තුව වූයේද අයවැය ජනතාවාදී අයවැයක් වනු ඇතැයි කියාය.
එහෙත් අයවැය ලේඛනය පිළිබඳ මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන විවාදවලදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඉදිරිපත් කරන කරුණු කාරණාද මැදිහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන අදහස්ද සලකා බලනවිට මේ මගින් බලාපොරොත්තුවන තරමේ සහනයක් ජනතාවට ලැබේද යන්න මේ වනවිට මත‍භේදයට ලක්වන කරුණක් බවට පත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ කියවූ අයවැය ලේඛනය තුළින් බැලූ බැල්මට නොපෙනුණ ද, අයවැයට සම්බන්ධ ඇමුණුම් සහ ආර්ථික ලේඛන ආදිය ගැඹුරට සලකා බලනවිට යම්යම් ක්ෂේත්‍ර තුළින් ජනතාවගෙන් මුදල් උපයා ගැනීමට යෝජනා කර තිබෙන බව පෙනෙන්නට ඇතැයි මේ වනවිට අදහස් පළවෙමින් පවතී. එනිසාම මේ අයවැය මේ අයවැය කොළේ හංගා ගැනීමක් ලෙස හඳුන්වන අයද සිටිති.

කෙසේ වුවද රටේ වියදම වසරින් වසර ඉහළ යන නිසා එය ආවරණය කිරීම සඳහා අලුත් ආදායම් මාර්ග කරා යා යුතුය යන්න පිළිබඳ විවාදයක් නොමැත. වැඩිවන වැයට සාපේක්ෂව ආදායම ඉහළ නංවා නොගතහොත් අයවැය පරතරය උග්‍ර වේ. වියදමට අවශ්‍යවන මුදල් මැවීම සඳහා මුදල් ඇමැති විශ්මකර්මයකු නොවන නිසා නව ආදායම් යෝජනා තුළින්ම මුදල් උපයා ගත යුතුව ඇත.

අයවැය ලේඛනය අනුව 2018 වසරේ රජයේ ආදායම රුපියල් මිලියන 2326කි. වියදම රුපියල් බිලියන 3001ක් වන අතර රජයේ ආදායමෙන් රුපියල් බිලියන 2316ක් බදුවලින් පියවා ගැනීමට අපේක්ෂිතයි. 2014 වසරේ අපේ බදු ආදායම රුපියල් බිලියන 1255කි. මේ වසර ගැන සලකා බලනවිට 2014 සිට 2018 දක්වා බදු ආදායම රුපියල් බිලියන 1061කින් වැඩිකරගෙන ඇති බව පෙනේ. එහෙත් මේ වසර හතර තුළ මෙතරම් මුදලක් බදු ලෙස ගෙවන්නට ජනතාවගේ ආදායම වර්ධනය වී තිබේද යන්න ගැටලුවකි. ඔවුන්ගේ ආදායම වර්ධනය නොවී තිබියදී තව තවත් බදු අයකර ගන්නට යාමෙන් ඔවුන් පීඩාවට පත්වන බව පොඩි දරුවකුට වුවද වැටහෙන සත්‍යයකි. මෙය මල නොතලා රොන් ගන්නට යන රජයේ සංකල්පයට ඉඳුරාම පටහැනි වූවක් බව ඇතැම්හු පවසති. 

2015දී රජයේ බදු ආදායම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.5ක් වූ අතර 2016දී සියයට 14.2ක් විය. මේ අනුව සියයට 41කින් ඉහළ නංවා ඇත. මුදල් ඇමැතිවරයා පවසන්නේ 2018දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා බදු ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තුවන බවය. මෙම සියයට 55ක තරමේ ඉහළ මට්ටමක්වන අතර ඒ සඳහා අලුත් අලුත් බදු හඳුන්වා දියයුතුය. මෙලෙස බදු ආදායම ඉහළ නැංවීමෙන් පසු අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5ක ප්‍රතිශතයක් දක්වා අඩුකර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුවන බව ප්‍රකාශිතය.

එසේම මෙම අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදීම ආණ්ඩුව ගත් එකිනෙකාට පටහැනි තීරණ දෙකක් පිළිබඳ ආර්ථික විශ්ලේෂකයෝ අප්‍රසාදය පළකරති. අයවැය ඉදිරිපත් කරමින් රටේ ආර්ථිකය තවදුරටත් නිදහස් කරන බව ප්‍රකාශ කළද, එයට පෙර දින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර එම මිල නොඉක්මවා අලෙවි කළ යුතු බවට වෙළෙඳුන්ට බලපෑම් කර ඇත. මෙම ක්‍රියාමාර්ග දෙස මැදිහත්ව බලනවිට පෙනී යන්නේ විවෘත ආර්ථිකයකට අයවැය  ඉදිරිපත් කරමින් භාණ්ඩ මිලට රජය මැදිහත් වී මිල අඩු කිරීමට යාම එකිනෙකට පරස්පර වන බවය. මෙලෙස කල් ඇතිව මිල අඩු කිරීමක් කළේ අයවැය නිසා ජනතාවට පැටවීමට යන බර සැහැල්ලු කිරීමට බව සිතාගත හැකියැයි වැඩිදෙනා පවසති.

කෙසේ වුවද මෙම අයවැය යෝජනා තුළින් ජනතාවගේ ඇඟට දැනෙන සහ නොදැනෙන ලෙස වැඩිකර ඇති බදු සහ සේවා ගාස්තු මෙසේ සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

• පසුගිය වසර 3 තුළ ගාස්තු වැඩිකර නැති රජයේ ආයතනවල ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම. මෙයට පෙර යම් ගාස්තු වැඩි කරනවිට එය කළේ විෂය භාර ඇමැතිවරුන් විසිනි. එහෙත් මෙවර බොහෝ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල පැවති ගාස්තු මුදල් ඇමැතිවරයා විසින් වැඩිකරනු ලැබ ඇත. අදාළ ඇමැතිවරුන් පවසන්නේ තමන් ඒ පිළිබඳ දැනුවත්වී නොසිටි අතර දැනගත්තේ අයවැය ලේඛනය ඉදිරිපත් කළට පසුව බවය.

මේ අනුව උප්පැන්න, මරණ, විවාහ සහතික ජාතික හැඳුනුම් පත්, තැපැල් ගාස්තු, බලපත්‍ර ගාස්තු, ගමන් බලපත්‍ර ගාස්තු, සත්න උද්‍යාන ගාස්තු, උද්භිත උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තු ආදිය සියයට 15කින් ඉහළ යයි. මෙමගින් රුපියල් මිලියන 7500ක ආදායමක් ලැබීමට රජය අපේක්ෂා කරයි.

• මෙම යෝජනා අනුව වසර 3ක් තුළ වැඩිකර නොමැති ගාස්තු වැඩිකරන නිසා නිසැක වශයෙන්ම දුම්රිය ගාස්තු සහ ජල ගාස්තුද වැඩිවනු ඇත. ජලගාස්තු වැඩිකිරීමට කිහිපවරක්ම ජලසම්පාදන ඇමැති අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය බලාපොරොත්තු වුවද එය ප්‍රතික්ෂේප කෙරිණ. එසේ වුවද මෙවර අයවැය ලේඛනයෙන් එය වැඩිකිරීමට යෝජිත නිසා අනිවාර්යයෙන්ම වැඩිවනු ඇත. එසේම දුම්රිය ගාස්තු වැඩිවූ විට එයට සාපේක්ෂව ලංගම සහ පෞද්ගලික බස් ගාස්තුද වැඩිවනු ඇත.

• අයවැය ඇමුණුම්වල සඳහන් බදු සූත්‍ර අනුව වසර 5කට වැඩි කාලයක් පාවිච්චි කළ වාහනවලට කාබන් බද්දක් පැනවීම නිසා බයිසිකලයකින් රුපියල් 62ක් කාරයකින් රුපියල් 640ක් සහ බසයකින් රුපියල් 980ක් බදු අය කෙරේ. මෙම බද්ද එන්ජින් ධාරිතාව, වාහනයේ වයස සහ ඉන්ධන වර්ගය අනුව වෙනස් වෙනවා ඇත..

බස්රථවලින් සියයට 90ක් පමණ වසර 5කට වඩා පැරුණි නිසා කාබන් බද්ද ගෙවීමට සිදුවන අතර අයවැය අනුව බස් රථවල අමතර කොස් සහ සේවා ගාස්තුද ඉහළ යාමට නියමිත නිසා ලබන ජූලි මස සිදුකරන ගාස්තු සමාලෝචනයේදී බස්වල අවම ගාස්තුව රුපියල් 5 සිට වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන් ප්‍රියන්ජිත් දැන් සිටම පවසා තිබේ. කාබන් බදු නිසා ත්‍රිරෝද රථ ගාස්තු, ලොරි රථ ප්‍රවාහන ගාස්තුද, වෑන් ගාස්තු වැඩිවීමද ලබන වසරේ සිට සිදුවේ.

• ජනවාරි 1දා සිට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මගින් නිකුත් කරන සියලුම ලියකියවිලිවලට අදාළ ගාස්තු ඉහළ යන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරන විභාග දෙපාර්තමේන්තුවේ විභාග සහතික ගාස්තු සඳහා රුපියල් 500ක්ද විදේශිකයකුට ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කරන ඕනෑම සහතිකයකට රුපියල් 1500ක්ද, අපනයන කටයුතු ලියැවිල්ලකට රුපියල් 6000ක්ද වෙනත් ඕනෑම ලේඛනයකට රුපියල් 800 බැගින්ද අයකෙරේ.

• වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්දට මෙතෙක් යටත්කර නොතිබූ භාණ්ඩ සහ සේවාවලට බදු අයකිරීමට යෝජනා කිරීම මෙවර අයවැය ලේඛනයෙන් සිදුවූ විශේෂ සිද්ධියක් වේ. ඒ අනුව පැල සහ මල්, ප්ලාස්ටික් පබළු වර්ග, වීදුරු පබළු, නූල් සහ රෙදි, ලී සහ ලී බඩු, ඩයිවර්ග, යන්ත්‍රෝපකරණ, විදුලි භාණ්ඩ, ඇස් කන්නාඩි, කැමරා ප්‍රොජෙක්ටර්, ඔරලෝසු ආදියේ මිල වැඩිවේ. මෙයින් සමහර දේවල් සාමාන්‍ය ජනතාවට ඍජුවම බලපාන බව පෙනෙන්නට තිබේ. වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන මගින් රජය මිලියන 25,000ක් ලබාගැනීමට අපේක්ෂිත බව අයවැය ලේඛනය අනුව දැක්වේ.

• සෑම බැංකු ගනුදෙනුවකදීම රුපියල් 1000කට ශත 20ක් 2018 අප්‍රේල් 07දා සිට අයකරන බව මුදල් ඇමැතිගේ අයවැය ලේඛනය තුළින් පවසයි. මෙම බද්ද මගින් රුපියල් මිලියන 20,000ක් බැංකුවලින් ලබාගැනීමට රජය අපේක්ෂිතය. මෙම බද්ද ණය ආපසු ගෙවීමේදීද අයකරන අතර ණයවලට පොලිසියට අමතරව මෙවැනි බද්දක් අය කරන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි විපක්ෂ දේශපාලනඥයෝ පවසති.

ආණ්ඩුව පවසන්නේ මෙම බද්ද වසර 3ක් සඳහා පමණක් තාවකාලිකව අයකරන බවයි. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මහින්ද රාජපක්ෂ යුගයේදී ලබාගෙන ඇති සුවිශාල ණය කන්දරාව පියවා ගැනීමට මෙම බද්ද පනවන නිසා මෙය “මැදමුලන බද්ද” ලෙස හැඳින්විය හැකි බවය. මෙම ණය පියවීමට සෑම වසරකටම රුපියල් බිලියන 600ක් අවශ්‍ය බව රජය අවධාරණය කරයි.

මෙයට පිළිතුරු ලෙස මෙම බද්ද අය කරන්නේ ණය ගෙවීමට නොව මහ බැංකුවෙන් සොරකම් කළ මුදල් ගෙවීමට බව අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි. බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් බිලියන 1000ක පාඩුවක් සිදුව ඇති අතර බැඳුම්කර සොරුන්ගෙන් මෙම මුදල අයකර ගන්නවා නම් බදු ගැසීම නවතා අයවැය හිඟය පියවාගෙන රුපියල් බිලියන 325ක් ඉතිරිකර ගත හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
ආණ්ඩුව පවසන්නේ මෙම මුදල පාරිභෝගිකයාගෙන් නොව බැංකුවලින් අයකරන බවය. එය සත්‍ය නම් මෙවැනි බද්දක් නොපනවා බැංකුවල ලාභය මත බදු අයකිරීම ලෙහෙසියෙන් කර හැකිව තිබූ බව ආර්ථික විශ්ලේෂකයෝ මේ වනවිට පෙන්වා දෙති. බැංකු මෙම මුදල ගෙවා එය නියම හෝ අනියම් ආකාරයකින් පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට පෙළඹෙන අතර බැංකු තම පොලී අනුපාත ඉහළ දමා මෙම මුදල අයකර ගනු ඇතැයි සැක පහළ කරති. එසේ සිදුවුවහොත් එය අයවෙන්නේ ජනතාවගෙනි. එසේම මෙම බද්ද මූල්‍ය සමාගම් අතහැර බැංකුවලින් අයකිරීම අසාධාරණ වේ.

මෙම බද්දෙන් රුපියල් කෝටි 2000ක් අයකර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි.

• බීර සහ වයින් මිල පහළ දමා සැර මත්පැන් සඳහා බදු අයකිරීමට යෝජනා වී තිබේ. සැරබීම සඳහා මද්‍යසාර ලීටරයකට රු.3300ක්ද බීර මද්‍යසාර ලීටරයකට රු.2400 වශයෙන් බදු අය කෙරේ.

මුදල් ඇමැතිවරයා පැවසුවේ හොර සුරා බොන ජනතාව බීරවලට හුරු කිරීම නිසා හොර සුරා පාවිච්චිය අඩුකළ හැකි බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අපේ රටේ මත්පැන් බොන අයගෙන් සියයට 85ක් බොන්නේ සැර මත්පැන් බවය. රජය පවසන්නේ මද්‍යසාර පාවිච්චි කරන අයගෙන් සියයට 49ක් කසිප්පු බොන බවයි. එහෙත් ඇඩික් සංවිධානයේ වැඩසටහන් නිලධාරි අසිත දර්ශන පවසනුයේ එම සංඛ්‍යාව සත්‍ය නම් ලංකාවේ කසිප්පු බොන අය ලක්ෂ 20ක් විය යුතු නමුත් එම සංඛ්‍යාව සත්‍ය ලෙස ලක්ෂ 4ක් බවයි. මෙලෙස ආණ්ඩුව බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇත්තේ බීර මිල අඩුකිරීමේ උපක්‍රමයක් ලෙස බව ඔහු කියයි.

අයවැය විවාදයේදී මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටදීද දේශපාලනඥයන් සහ මහා සංඝරත්නය මෙම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළද මුදල් ඇමැතිවරයා කියන්නේ තමා ගත් තීරණය වෙනස් නොකරන බවය. මද්‍යසාර ප්‍රතිශතය අනුව බදු ගැසීම ජාත්‍යන්තර ක්‍රමවේදයක් බව ඔහු කියයි. මේ වනවිට ගල් අරක්කු බෝතලය රුපියල් 80කින් වැඩිවී තිබේ.

• පැණි බීම බෝතල්වලට බදු පැනවීම නිසා වෙළෙඳපොළේ පැණි බීම මිල ඉහළ යමින් පවතී. මුදල් ඇමැතිවරයා කියන්නේ පැණිබීම සෞඛ්‍යයට අහිතකර නිසා පාවිච්චිය උදාසීන කිරීමට මෙම බද්ද පැනවූ බවය. ජනාධිපතිවරයා පසුගියදා පවසා තිබුණේ මෙම බද්ද කිරි පැකට්ටුවටද අය කළ යුතු බවයි.

• වාහන බදු සංශෝධනය පිළිබඳවද මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේ. ඩීසල් ඉන්ධන ත්‍රිරෝද රථයක බදු රුපියල් 50000කින් ඉහළ නැංවීම තම දුප්පත් ව්‍යාපාරයට අහිතකරව බලපාන බවට රියැදුරෝ චෝදනා කරති. එසේම මෙම මුදල අනුව මීටර් ගාස්තුද ඉහළ නංවන අතර ත්‍රිරෝද රථ පාවිච්චි කරන ජනතාවට එයද සාධාරණයක්ව තිබේ. විදුලි බලයෙන් ක්‍රියාකරන ත්‍රිරෝද රථ ගෙන්වීමට සහන සැලසුවද රටතුළ විදුලි ආරෝපිත මධ්‍යස්ථාන නැති නිසා එය ප්‍රායෝගික නොවන බව රියැදුරෝ කියති. එසේම ඉලෙක්ට්‍රික් කාර්වලටද මෙය බලපායි.

එන්ජින් ධාරිතාව ඉහළ සුඛෝපභෝගී රථවල මිල ඉහළ දැම්මද එම මිල බොහෝ අධික නිසා එම රථ ගෙන්වීම අඩුවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන ආදායම ලබාගත නොහැකි වන බව කියති. ඒ නිසා පොදු ජනතාවගේ බදු බර තවත් ඉහළ නගිනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

• දුරකතන කුලුනකින් ලක්ෂ 2 බැගින් බදු අයකිරීම ඔවුන් ලබන විශාල ලාභයෙන් සිදුකරන බව රජය පැවසුවද මෙම බද්ද අනියම් වක්‍ර මාර්ගවලින් දුරකතන පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට එම ආයතන කටයුතු කරනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. කිසිදු දිනයක අප රටේ ව්‍යාපාරිකයන් තමාට අයකරන බද්ද තමන් ගෙවා නොදමන අතර එයට වැඩිපුරද දමා එම මුදල පාරිභෝගිකයාගෙන් අයකිරීම පුරුද්දක් කරගෙන තිබේ. (අපේ තේ කෝප්පයේ මිල වැඩිවන්නේද එම න්‍යායයටය) ඒ නිසා රජය ජනතාව අස්වසාලීමට කුමක් පැවසුවද ජනතාවට මෙම බරට කර ගසන්නට සිදුවීම නොවැළැක්විය හැකිය. දුරකතන ගාස්තු යළිත් වරක් ඉහළ යාමට මෙම බද්ද බලපෑ හැකිය.

• මේ අයවැයෙන් සමාවකින් තොරව රටේ ඉඩම් මිලට ගැනීමට විදේශීය සමාගම්වලට අවසරදීම දේශීය ව්‍යවසායන්වල වර්ධනයට අහිතකරව බලපාන අතර ඉඩම් මිල ඉහළ යාමෙන් කුඩා ඉඩම් කැබැල්ලකට හෝ අයිතිවාසිකම් කීමට දිළිඳු ජනතාවට ඇති අවස්ථාව අහිමි වනු ඇතැයි බිය පළකෙරේ.

කෙසේ වුවද අලුත් අයවැය තවමත් යෝජනා මට්ටමේ පමණක් තිබියදී එය ජනතාවට බලපාන ආකාරය ගැන කතා කිරීමට තවමත් කල්වේලා වැඩි අතර අයවැය සම්මත වීමේදීද යම් යම් සංශෝධන සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අයවැය ක්‍රියාත්මක වන අන්දම අනාගතයේදී ජනතාවට ප්‍රායෝගිකව වැටහෙනු ඇත

♦ යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00