2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඒඩ්ස්වලට අත වනන ලාබ ටැටූ

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 229

මේ වනවිට ටැටූ කලාව ලොව පුරාම ව්‍යාප්තව පවතින විලාසිතාවකි. මේ අතර ශ්‍රී ලංකාව පුරාම, විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරද ටැටූ කලාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ටැටූ කලාව ඉතා පැරැණි කලාවකි. මිසරයේ ගම් නියම්ගම්වලද ටැටූ කලාව තිබුණු බවට කරනු ලබන පර්යේෂණවලදී සනාථ වී තිබේ. ටැටූ කලාවේ පැරණිතම ටැටූව ලෙසින් හඳුන්වනු ලබන්නේ අයිස් මෑන් නමින් හඳුන්වන මමියයි. බොහෝදෙනා ටැටූ කෙටීම මඟින් තම තමන්ගේ නිලතල, තනතුරු වැනි සංකේතාත්මක දේ පෙන්නුම් කිරීමටද උත්සාහ ගනිති. ඇතැම් සිරකරුවන් මෙන්ම සමාජයේ විවිධ දඬුවම් ලැබූවන්ද ටැටූ තම ශරීරයේ කොටා ගනු ලැබූවන් බව පෙනී යයි.

විවිධ ගෝත්‍රිකයන්ද ටැටූ හෙවත් පච්ච කෙටූ බවට ඉතිහාසයේ සඳහන් වන අතර ශ්‍රී ලංකාවට මේ කලාව හඳුන්වා දී ඇත්තේ ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමගය.

ටැටූ කලාවේ ආගමනය පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ ටැටූ කලාකරුවන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ඉසුරු කාවින්ද මහතාය.

“අද වෙද්දී පච්ච කෙටීම විලාසිතා කලාවක් බවට පත්වී හමාරයි. අතීතයේදී බොහෝ දෙනකු පච්ච කෙටීම සඳහා භාවිත කළේ බැට්රි කුඩු කහට වැනි කළු පැහැති කුඩුයි. ඇතැමුන් විවිධ දේ පුළුස්සා එයින් ලැබෙන දැලි මතට ගම් වර්ගයත් එක්කොට පච්ච කෙටීමට යොදා ගත්තා. පච්ච යනු දමිළ භාෂාවෙන් කොළ පැහැය යන්නයි. අතීතයේදී කෙටූ බොහෝ පච්චයන් කොළ වර්ණයෙන් යුක්තය. එමෙන්ම එම පච්ච අතට අසුවන, සමෙන් ඉස්සීමත් (එම්බෝස්) දැකිය හැකි වුණා.” ඔහු කියයි.

වර්තමානයේදී සිදුකරන ටැටූ කලාව එදාට වඩා ප්‍රමිතියකින් යුක්ත වන අතරම ඒ සඳහා යන වියදම ඉතා අධිකය. ටැටූ එකක් සඳහා යොදාගනු ලබන තීන්ත, භාණ්ඩ සියල්ලම මිලෙන් අධිකය. තත්ත්වයෙන් ඉහළ තීන්ත වර්ග නිෂ්පාදනය කරනු ලබන රට වන්නේ අමෙරිකාවයි. ඒවා මිලෙන් අධික වුවද ප්‍රමිතියකින් යුක්තය.

ටැටූ ගැසීම යනු සැබැවින්ම කලාවකි. නමුත් ඇතැම්විට මෙය අවදානම් සහිතය. ප්‍රවේසමෙන් කළ යුතු ක්‍රියාවකි. ටැටූ සඳහා යොදාගනු ලබන කටුව ඉතා සියුම් තුඩකින් යුක්ත වේ. පිරිසිදුකම ටැටූ කලාව තුළ ඉතා වැදගත් වේ. කටුවක් යොදාගැනීමට පෙර එය ජීවානුහරණය කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම නිසි ප්‍රමිතියකට අනුව ටැටූ කලාව කරනා කලාකරුවකු නම් ටැටූ කරනා මැෂිම පවා ඉටි කවරයකින් වසා කරනු ලබයි. ඇතැම් විට ටැටූ කොටනා විටදී මැෂිම අවට රුධිරය තැවරීමක් සිදුවී වෙනත් කෙනකුගේ සමේ සිදුරු තුළින් එම ලේ හෝ විෂබීජ ගතවීමට බොහෝ ඉඩකඩ ඇත.

ලංකාවේ බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙම කටුව මගින් එච්.අයි.වී. වැනි දරුණු සමාජ රෝග ඇතුළු රෝග පවා බෝවීමේ අවදානමක් ඇති බවය. ටැටූ එකක් කරද්දී අනිවාර්යයෙන්ම අත් වැසුම් පැළඳීම කළ යුතුය. ටැටූ පාරිභෝගිකයාගේ රුධිරය මෙම අත්වැසුම් මත තැවරේ. මේ නිසා ටැටූ එකක් කළ අවසන් වූ වහාම අත්වැසුම් සහ අත් සේදීම ඉතා වැදගත් වේ. එමෙන්ම ටැටූ එකක් කරද්දී මේ පිළිබඳව අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. ජාත්‍යන්තර නීති රීතිවලට අනුව නම් ටැටූ එකක් කළ යුත්තේ විධිමත් ආකාරයකට සැකසූ කාමරයක් තුළය. ඒ තුළට පිස්තර කිසි‍ෙවකුට ඇතුළුවිය නොහැකි විය යුතුය.

නමුත් අද ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. හතු පිපෙන්නා සේ ලංකාවේ ටැටූ කඩ ඉදිවෙමින් පවතී. බොහෝ රූපලාවණ්‍ය ආයතන මෙන්ම සැලුන් තුළද ටැටූ කෙටීම සිදුවේ. ඉදිකටුවක්, මැෂිමක්, අත් වැසුමක් තිබූ පමණින් කෙනෙකුට ටැටූ නිර්මාණවේදීයකු වීමට නොහැක. ඒ සඳහා ප්‍රමිතිගත තීන්ත, කටු මෙන්ම මැෂින් ද තිබීම අවශ්‍යය.

ලංකාවේ ටැටූකරුවන්ගේ නවතම වෙළෙඳපොළ වන්නේ පිටකොටුවය. පිටකොටුවේ පදික වේදිකාවය. තේරෙන භාෂාවෙන් කියතොත් කවුරුත් දන්නා පේමන්ට් එකකය. ඔවුහු ඉතා ඉක්මණින් තම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව ශරීරයේ සුදුසු තැනක ඉතා ඉක්මණින් පච්චා හෙවත් ටැටූ කොටති. ඔවුන්ට ප්‍රමිතිගත තීන්ත නැත. ඒ සඳහා කටු ජීවානුහරණය කරනා විෂබීජ නාශක නැත. ප්‍රමිතිගත මැෂින්ද නැත. ඒ වෙනුවට ඔවුන් යොදාගනු ලබන්නේ මුද්‍රණ කටයුතු සඳහා ගනු ලබන තීන්ත වර්ගයි. ඇතැම් ටැටූ ගසන්නෝ කටු ජීවානුහරණය නොකරති. ඒ වෙනුවට ජලය යොදා ගනිති. ෂැම්පු යොදා ගනිති. එසේත් නැත්නම් පිටකොටුවේ තොග වෙළෙඳුන්ගෙන් ලබාගන්නා විවිධාකාර විෂබීජ නාශක ද්‍රව්‍යයන් යොදා ගනිති.

මේවායින් ඇතැම් භාණ්ඩ කල් ඉකුත් වූ ද්‍රව්‍යයන්ය. නමුත් ඔවුන් කරා යොමුවන පාරිභෝගිකයෝ වැහි වැහැලාය. එයට එකම හේතුව වන්නේ පිටකොටුවේ පේමන්ට් ටැටූකරුවන්ගේ ටැටූ කෙටීම ඉතා ලාභදායක වීමයි. එක ටැටුවක් සඳහා ඔවුන් ලබාගන්නේ රුපියල් එක්දාස් පන්සීයක් වැනි සුළු මුදලකි. කොටන ටැටූවද ප්‍රමාණයෙන් විශාලය. මකරෙකු, වෙනුවෙන් ඔවුන් රුපියල් එක්දාස් පන්සීයක් වැනි සුළු මුදලක් ගනිද්දී නිසි ප්‍රමිතියට අනුව කරනු ලබන ටැටූ නිර්මාණකරුවන්ගේ එක් කුඩා අකුරක් කෙටීම සඳහා අඩුම තරමේ රුපියල් තුන්දහසකවත් මුදලක් වැයවේ. ඒ සඳහා ඔවුන් යොදාගනු ලබන්නේ ප්‍රමිතියකින් යුත් උපකරණ හා ද්‍රව්‍යයන් වීම ඊට හේතුවය.

අද වෙද්දී ටැටූ සඳහාම නිෂ්පාදිත තීන්ත වර්ග බොහෝය. චීනය, හොංකොං ආදී රටවල්වලින් ගෙන්වනු ලබන තීන්ත වලින් බොහෝ දුරට ආසාත්මිකතා ඇතිවීමට පුළුවන. ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය වැනි රටවල්වලින් ගෙන්වනු ලබන තීන්ත මිලෙන් අධිකය. නමුත් ප්‍රමිතියකින් යුක්තය. ඉඳිකටුවද විවිධ වර්ණවලින් යුක්තය. ඒ සඳහා විවිධ ප්‍රමාණවලින්ද යුක්තය.

“ටැටූ යනු ජීවිතාන්තය දක්වා කරනු ලබන කලාවක්. සමහරු තාවකාලිකව ටැටූ ලෙසින් ටැටූ කොටනවා. නමුත් ඒක බොරුවක්. සමහරු මාස තුනෙන් යනවා කියලා ටැටූ කොටනවා. හැබැයි යන්නේ නෑ.” ඉසුරු කාවින්ද වැඩිදුරටත් පැවසීය.

ටැටූ කලාකරුවකු විසින් ටැටූ එකක් කළ පසු දින කිහිපයක් යනතුරු තම පාරිභෝගිකයා පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. ඒ වෙනුවෙන් ඖෂධ වර්ග කිහිපයක්ම නියම කළ යුතුවේ. සාමාන්‍ය කෙනකුට තවත් කෙනකුගේ සම සිදුරු කිරීම තහනම්ය. මෙය අවදානම් අවස්ථාවකි. ඉතා සුළු මොහොතකදී මහා විනාශයක් වීමට පුළුවනි.

මේ පිළිබඳව අප වෛද්‍ය දමිත් නලින් මහතාගෙන්ද අදහස් විමසීමු.

“ටැටූ කලාවක් වූවාට ඒක අවදානම් තත්ත්වයක්. ඉදිකටුවකින් සම සිදුරු කිරීමක් මෙමගින් සිදුකරනවා. මෙම සිදුරු ඉතා ළඟින් ළඟින් තමයි සිදුරු කරන්නේ. ඒ වෙනුවෙන් කිසිම හිරිවැටීමක් සිදුකරන්නේ නෑ. මේ නිසා මෙහෙම සම සිදුරු කරන තැන්වල පැසවීමක් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ ඇතැමුන්ට මෙම තීන්ත අසාත්මිකතා වන්නටත් පුළුවන්. ඇතැම් ටැටූ නිර්මාණවේදීන් ඒ සඳහා කිසිදු ජීවානුහරණයක් කරන්නේ නෑ. මේ නිසා මෙමඟින් එච්.අයි.වී. වැනි සමාජ රෝග ඇතිවීමටත් බොහෝ ඉඩකඩ තිබෙනවා. සමහරුන්ගේ ටැටූ ආශ්‍රිතව තුවාල ලප කැලැල් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්තටම මේක අවදානම් තත්ත්වයක්.”

ටැටූ එකක් කර කලක් ගතවූවායින් පසු ටැටූ එකට අමතරව වෙනත් ලප කැළලක් ඇතිවීමටද පුළුවනි. විශේෂයෙන් විවිධ වර්ණවලින් යුත් ටැටූ එකක් කෙටූ කෙනකුට යම්කිසි හේතුවක් මත එම්.ආර්.අයි. ස්කෑනර් එකක් කරන්නට සිදුවුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම ටැටූවක් මකා දැමීමට නොහැක. එය සිදුකරගත හැක්කේ ලේසර් තෙරපි හෝ ප්ලාස්ටික් සැත්කමක් මගින් පමණි. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයවේ. බෙහෝ වෙලාවට ටැටූ සහිත කෙනකුට ලේ පරිත්‍යාගශීලියකු වීමට නොහැක. එයට හේතුව වන්නේ ඔවුන් ටැටුවක් මඟින් ගෙන තිබෙන විශාල ජීවිත අවදානමයි. අඩු මුදලකට ටැටූ කලාවට යොමුවන්නෝ විශාල අවදානමක පසුවෙති.

♦ දිශානි ජයමාලි කරුණාරත්න