2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මගේ චිත්‍රපටයට ඇමැතිලාත් කොකා පෙන්නුවා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 165

- සමීර නාඔටුන්න

සමීර නාඔටුන්න තම ප්‍රථම සිනමා නිර්මාණය වූ මෝටර් බයිසිකල් තුළින් සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ තරුණ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ චිත්‍රපටය පසුගියදා පැවැත්වුණු දෙරණ සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට සමත් විය. සාක් චිත්‍රපටය උළෙලේ හොඳම දකුණු ආසියානු චිත්‍රපටය සහ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් සම්මානය ද එයට හිමි විය. කල්කටා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම ආසියානු චිත්‍රපටය, බැංගලෝර් සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජන ඇගයීම් ද එයට හිමිවිය. මේ සමීර දේශය සමඟ තම අදහස් පැවසූ අන්දමයි.

තරුණ සිනමාවේදීන්ට මුහුණ දීමට ඇති ගැටලු ඔබ දකින්නේ කොහොමද?

අලුතෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණෙන අධ්‍යක්ෂවරුන්ට බලපාන ප්‍රධාන ප්‍රශ්නය තමයි, නිෂ්පාදකයෙක් සොයා ගැනීම. කෙටි චිත්‍රපට හදලා සම්මාන ගත්තත් අලුත් කෙනෙකු දිහා නිෂ්පාදකයන් බලන්නේ ස්ථාවර ඇසකින් නොවේ. මොකද චිත්‍රපටයට වැය කරන මුදල ආපසු සොයාගැනීම ගැනනෙ නිෂ්පාදකයා මුලින්ම හිතන්නේ. වෙනත් රටවලනම් චිත්‍රපට නිෂ්පාදනයට සහාය දක්වන අරමුදල් තියනවනේ. අපේ රටේ එහෙම දෙයක් නැහැ.

චිත්‍රපටය ප්‍රදර්ශනය සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නේද?

ඔව්. කොහොම හරි නිෂ්පාදකයෙක් හොයාගෙන චිත්‍රපටියක් හැදුවත් ඒක පෙන්වා ගැනීමේ ගැටලු තිබෙනවා. ඒක විශාල ප්‍රශ්නයක් අපිට.

ඔබේ මෝටර් බයිසිකල් චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් පසුව එයටත් ප්‍රදර්ශනය කිරීමේ ගැටලු මතු වුණාද?

ඔව්. චිත්‍රපටය පෙන්වාගැනීමට ගොඩක් දුක් වින්දා ඒ කාලේ අදාළ ඇමැතිතුමාට කතා කළා. ඒත් හරි ගියේ නැහැ. ඊට පස්සේ සාක් චිත්‍රපට උළෙල, කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වගේ ඒවායේදී සම්මාන ලැබුණා. හැබැයි මට ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවලට චිත්‍රපටය දැමීමට සල්ලි තිබුණෙ නැහැ. සම්මාන කිහිපයක් ලැබුණ පසු සමාජයේ චිත්‍රපටය ගැන මතවාදයක් ඇති වුණා. මාධ්‍යවලින් මේ ගැන කතා කළා. පාර්ලිමේන්තුවේ පවා චිත්‍රපටය ගැන කතා වුණා. ඊට පසු චිත්‍රපටය සමාගමක් විසින් ලබාගෙන ප්‍රදර්ශනය කළා.

සම්මාන උළෙලවලදී සමහරුන්ට පක්ෂපාතීව සම්මාන විනිශ්චය මණ්ඩල කටයුතු කරන බවට සමහරු චෝදනා කරනවා.

ඒක මට හරියටම කියන්න අපහසුයි. දෙරණ සම්මාන උළෙලේදී මෝටර් බයිසිකල් චිත්‍රපටයට සම්මාන හතක් ලැබුණා. හැබැයි OCIC උළෙලේදී කිසිම සම්මානයක් ලැබුණේ නැහැ. විවිධ විනිශ්චය මණ්ඩල නිර්මාණය  දිහා බලන ඇස අනුව සම්මාන ලැබෙනවා.

තරුණ අධ්‍යක්ෂවරැන්ගේ පෝලිමේ තිබෙන චිත්‍රපට ගැන කිව්වොත්?

නාලක දේවප්‍රියගේ බහුචිතවාදි‍යා, මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක්, ප්‍රියන්ත කළුආරච්චිගේ රතු සමනල හීනයක්, උදාර අබේසුන්දරගේ සෙවණැලි ඇතුළු චිත්‍රපට රාශියක් පෝලිමේ තිබෙනවා. ඒවා ප්‍රදර්ශනය කර ගැනීමේ හීනයක අතරමං වෙලා. ඒගොල්ලන්ට බලාපොරොත්තුවක සේයාවක් නැහැ. මේවා ගොඩක් අලුත්ම තේමා යටතේ නිර්මාණය වුණු ඒවා. මම හිතනවා ප්‍රේක්ෂකයන් ඒවාට කැමැති වේවි.

මේ ගැන ඔබ ඇතුළු තරුණ සිනමාකරුවන් යම්කිසි පියවරක් ගැනීමට සිතුවේ නැද්ද?

ඔව්. අපි එකතුවෙලා පොඩි සංවිධානයක් හදාගත්තා. ස්වාධීන සිනමා එකමුතුව කියලා. අපි සිනමාවේ නිෂ්පාදන අංශය, බෙදාහැරීමේ අංශය ප්‍රදර්ශනය වගේ සෑම අංශයක් ගැනම අධ්‍යයනය කරලා යෝජනා මාලාවක් සකස් කළා. ඒක ඉදිරියේදී බලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒ හරහා යම්කිසි බලපෑමක් කිරීමට අවස්ථාව ලැබේවි කියලා. අපේ ගැටලු සාකච්ඡාවට භාජනය කිරීමට අවස්ථාවක් ලැබේවි කියලා හිතනවා.

ස්වාධීන සිනමා එකමුතුවෙන් ඉටු කරන්නේ මොනවගේ දේවල්ද?

අපි සිනමාව ගැන කතිකාවකට එළඹී සිටිනවා. මෝටර් බයිසිකල්, ආලෝකෝ උදපාදී, නිනෝ ලයිව්, වගේ චිත්‍රපට ගැන සාකච්ඡා පැවැත්වූවා. කොළඹින් පිට ප්‍රදේශවලටත් ගිහින් සංවාද සාකච්ඡා පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. සිනමාපටය බෙදාහැරීමේදී ප්‍රදර්ශන මණ්ඩලවල ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ට අවශ්‍ය චිත්‍රපට පමණයි. නමුත් සිනමාවේ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, හැමෝම එක අරමුණකට එකමුතු වුණොත් අපේ චිත්‍රපට ක්‍රමානුකූලව ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබේවි.

සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය කියලත් සංවිධානයක් තිබෙනවා නේද?

ඔව්. මමත් එහි සාමාජිකයෙක්. ඒකෙනුත් මේ ගැටලු විසඳීමට මහන්සි වෙනවා. තවම සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපහසු වෙලා තිබෙනවා. සිනමාවේ හැම කෙනෙක්ම එකමුතු වී මේ ගැටලුව විසඳාගත යුතුයි.

අපේ ප්‍රේක්ෂකයන් චිත්‍රපට නරඹන්නේ අඩුවෙන් නේද?

ඔව්. ඉන්දියාවට සාපේක්ෂව 10%ක්වත් සිනමා ශාලා අපට නැහැ. අපේ චිත්‍රපට ශාලා අඩුවීමත් චිත්‍රපට නැරඹීම අඩුවීමට හේතුවක්. අපේ සිනමාශාලා 180යි තියෙන්නේ. ඉන් සිංහල චිත්‍රපට පෙන්වන්නේ 90ක පමණයි. ඉතිරි ඒවායේ දෙමළ හා හින්දි චිත්‍රපටි පෙන්වන්නේ. සිංහල චිත්‍රපට පෙන්වන ඒවායෙන් අතරමැදට දෙමළ චිත්‍රපට රිංගවන බව පේනවා. ඒකෙනුත් ප්‍රදර්ශන කාලය කප්පාදු වෙනවා.

අපේ චිත්‍රපට නිෂ්පාදකයන් ගැන ඔබේ අදහස?

ලංකාවේ වෘත්තීය මට්ටමේ චිත්‍රපට නිෂ්පාදකවරු නැහැ. වෙනත් ව්‍යාපාර කරන අයම තමයි චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ. මේ ගැන පර්යේෂණ කරන අධ්‍යයනය කරන වෘත්තීය නිෂ්පාදකවරු නැතිවීම විශාල ප්‍රශ්නයක්. එහෙම අය බිහිවිය යුතුයි. ඒ වගේම බෙදාහැරීමේ යාන්ත්‍රණයට ස්වාධීන කමිටුවක් වගේ තිබුණොත් යහපත්. අනෙක රජයට සිනමාව ගැන දැක්මක් තිබිය යුතුයි. මටනම් පේන්නේ රජයට සිනමාව ගැන දැක්මක් නැහැ. එයාලට වෙන වෙන ප්‍රශ්න තිබෙනවනේ.

ඔබ යළිත් සිනමා නිර්මාණයකට අත ගහලද ඉන්නේ?

මට ළමා චිත්‍රපට කොමඩි චිත්‍රපට කිරීමට ආරාධනා ආවා. නමුත් මම කැමති සිනමා මාධ්‍ය ආත්මීය ප්‍රකාශනයක් විදිහට භාවිත කිරීමටයි. නමුත් මේ ක්‍රමය යටතේ එය කරගත හැකිවේද කියන ගැටලුව මටත් තිබෙනවා. 

 කුසුම්සිරි