2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කසාදෙට කේන්දර බලන්නම ඕනෑද?

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4869

සිංහල බෞද්ධ බොහෝ දෙනා විවාහ වීමට පෙර කේන්ද්‍ර පරීක්ෂා කිරීම වැදගත් යයි සලකන බව දක්නට ඇත. ඒ සඳහා ජ්‍යොතිෂවේදියකු ළඟට ගොස් දෙදෙනාගේ කේන්ද්‍ර ඉදිරිපත් කර ගැලපේද යන්න සොයාබැලීමට උනන්දු වෙයි. එසේ වුවද මෙලෙස කේන්ද්‍ර සියයට සියයක් ගැලපුණු විවාහ වුවද කෙටි කාලයකින් අසාර්ථක වන අවස්ථා දක්නට ලැබේ. එසේම කිසිදු කේන්ද්‍රයක් පරීක්ෂා නොකර සිදුකරන විවාහ ඉතාම සාර්ථක වන අයුරුද පෙනෙන්නට තිබේ. මෙයට හේතු කවරේද යන්න සහ ඇත්තවශයෙන්ම විවාහයට පෙර කේන්ද්‍ර පරීක්ෂාවක් අවශ්‍යද යන්න පිළිබඳ දිවයිනේ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් දෙදෙනකුගෙන් අපි කරුණු විමසුවෙමු.

 කේන්දරේට වඩා ඕනෑ අවබෝධයයි 
කේන්ද්‍ර ගැලපෙනවා යැයි පරීක්ෂාකර විවාහ තීන්දු කිරීම බමුණු මතයක්. බුද්ධාගමටත් එම ක්‍රියා පිළිවෙළ අනුගත වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පවා පවසා ඇත්තේ ග්‍රහයන්ට මිනිසුන්ට බලපෑම් කළ නොහැකි බවයි. ඒ නිසා බෞද්ධයන් කේන්ද්‍ර ගැන ඕනෑවට වඩා සැලකිල්ලක් දැක්වීම අනුමත කරන්න බැහැ. මා හොඳ හැටි දන්නා මගේ කිට්ටුවර ඥාතියකුගේ දූවරුන් තිදෙනාම විවාහ වූයේ කේන්ද්‍ර පරීක්ෂාවෙන් තොරවයි. ඒත් ඔවුන් අදටත් ඉතාම සාර්ථක විවාහ ජීවිත ගත කරනවා.

කේන්ද්‍ර අනුවම නොවුණත් එකිනෙකා අතර අවබෝධය හා බැඳීම මත විවාහය සාර්ථක කරගෙන ඉදිරියට යා හැකියි. සියයට අනූපහක් පොරොන්දම් ගැලපිලා සිදුකළ විවාහ අතරමග අසාර්ථක වූ අවස්ථා පිළිබඳ මට ඕනෑතරම් උදාහරණදීමට පුළුවන්. මා මගේ ළඟට එන අයට පවසන්නේ කේන්ද්‍ර පිළිබඳවම නොසලකා විවාහ සිදුකළ හැකි බවයි. ඔවුන්ගේ ඉල්ලීම පිට මා එම කේන්ද්‍රවල පොරොන්දම් පරීක්ෂා කරදෙන නමුත් විවාහය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමද සිදුකරනවා. මෙය ව්‍යාපාරාත්මක වශයෙන් මට පාඩුවක් වුවත් ජනතාව වෙනුවෙන් සත්‍ය අවබෝධ කරදීමට මා පසුබට වෙන්නේ නැහැ.

න්‍යායාත්මක හා ශාස්ත්‍රීය කරුණු මතම විවාහය පිළිබඳ තීරණ ගැනීම සුදුසු නැහැ. එය ප්‍රායෝගිකවීම අවශ්‍යයි. මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් විවාහ වෙන්නේ කේන්ද්‍ර පරීක්ෂා නොකරයි. ඔවුන් වැඩ කරන්නේ දෙවියන් වහන්සේ මත විශ්වාසය තබලයි. කේන්ද්‍ර නැතිවුණාට ඒ අයගේ විවාහ ජීවිත සාර්ථක වෙනවා. කේන්ද්‍ර කොතරම් ගැලපුනත් විවාහ ජීවිත ගතකිරීමේදී මුහුණ දෙන්නට සිදුවන ගැටලු නිසා ජීවිත අසාර්ථක වන අවස්ථා එමටයි.

විවාහයේදී කේන්ද්‍රවලට වඩා ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව, හැදිච්චකම, ආර්ථික තත්ත්වය, උගත්කම ආදී කරුණු බලපානවා. දෙදෙනා මෙම කරුණු නිසා එකට ළං කරන්නත්, වෙනස් කරන්නත් පුළුවන්. පොරොන්දම්වලට වඩා වැදගත් වන්නේ කේන්ද්‍රවල ග්‍රහයින්ගේ පිහිටීමයි. ඒ නිසා පොරොන්දම් කොතරම් ගැලපුනත් කේන්ද්‍රවල අයහපත් ග්‍රහ පිහිටීම් තිබේ නම් එම විවාහ අසාර්ථක විය හැකියි. කේන්ද්‍රවල කුජ දෝෂය කේන්ද්‍ර බලන අය විශේෂයෙන් ගණන් ගන්නවා. මෙහිදී කේන්ද්‍රයේ 1,2,4,7,8 හා 12 කොටුවල අඟහරු සිටියහොත් අනිත් කේන්ද්‍රයෙන් එම දෝෂය කැපී යා යුතු යැයි ජ්‍යොතිෂ මතයක් තියෙනවා. කුජ කියන්නේ සියල්ල නැති කරන, විනාශ කරන පාපකාරී ග්‍රහයෙක්. මෙලෙස දෝෂ සහගතව එක කේන්ද්‍රයක කුජ සිටියවිට කාලත්‍රයාගේ අනිත් කේන්ද්‍රයේද එම ස්ථානවලින් එකක කුජ පිහිටියහොත් අපල අවම කරන බව කියනවා. එවිට කුජ දෝෂය මගහැරෙනවා. එසේම කුජ හැරුණුවිට රාහු, කේතු, සෙනසුරු යන පාප ග්‍රහයන් මුලින් කී කොටුවක පිහිටීමද දෝෂ සහගතයි. ඒවාද පෙර කී පරිදි කැපී යා යුතු වෙනවා. වැන්දඹු වීම, දික්කසාදවීම, අතහැර දමා යාම, දෙදෙනාට වෙන්ව සිටීමට සිදුවීම මෙම දෝෂවල ප්‍රතිඵල විය හැකියි.

අනිත් අතට කේන්ද්‍රයේ පොරොන්දුම් 20න් ප්‍රධාන ඒවා ඇතුළුව සියයට පනහකට වඩා පොරොන්දම් ගැලපීම විවාහයකට අවශ්‍ය බව කියනවා. එහෙත් පොරොන්දම් ගැලපුනත්, කේන්ද්‍රවල නරක ග්‍රහයෝග නොපිහිටියත් හොඳට කේන්ද්‍ර බලා විවාහ වුණත් කෙටිකලකින් විවාහ අසාර්ථක වන්නේ ඒවා ප්‍රායෝගික ලෙස නොගැලපීම නිසයි. මේ අනුව කේන්ද්‍ර බලලා වෙන විවාහත් නොබලා කරන විවාහත් සාර්ථක අසාර්ථක ද යන්න කෙළින්ම ඍජු රේඛාවකින් බෙදා වෙන් කරන්න බැහැ. ඒ නිසා මගේ අදහස නම් දෙදෙනාගේ ගැලපීම කේන්ද්‍ර ගැලපීමට වඩා වැදගත් බවයි.

♦‍ජ්‍යොතිෂවේදී අමරසේන වේගිරිය 
වැල්ලම්පිටිය 

කේන්දර බැලීම කොයිකටත් හොඳයි 
පොරොන්දම යනු ගැලපීමයි. දෙදෙනා අතර කායික සහ මානසික ගැලපීම පිළිබඳ කේන්ද්‍රවලින් නිරීක්ෂණය කළ හැකියි. කායිකව ගැලපුනත් මානසිකව ගැලපෙන්නේ නැති විවාහ අසාර්ථක වෙනවා. මේ දෙකම ගැලපෙනවානම් විවාහයකට ඉතාම හොඳයි. කේන්ද්‍ර බලන්නේ ඒ නිසයි.

තරුණ වයස අති ධාවනකාරී කාලයක්. ඇතිවන ආශාවන් පාලනය කර ගැනීම අපහසුයි. එම ආශා නිසාම කටයුතු කිරීම වැරදියි. කායික මානසික අදහස්වල එකිනෙකට ප්‍රතිවිරෝධීතාවක් ඇති නොවිය යුතුයි. මුලින් යාන්තමට ඇතිවන මේ නොගැලපීම් පසුව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. පොරොන්දම් බැලීමේදී සංසාරික බැඳීම් මතු වෙනවා. අපේ බුද්ධ චරිතය ගෙන බැලුවත් ජාතක කතා, බණ කතා පිළිබඳ සලකා බැලුවත් මෙම සංසාරික බැඳීම් ආත්ම ගණනාවක් තිස්සේ එකට දිගටම පැමිණි බව පෙනෙනවා. ඡන්ම පත්‍ර පරික්ෂා කිරීමේදී මෙම තත්ත්වය සොයා ගත හැකියි. ඇතැම් වෙලාවට අද විවාහ වූ දෙපොළක් මෙයට පෙර ආත්ම ගණනාවක් සැමියා හා බිරිඳ වෙලා සිටින්නට ඇති. 

විවාහයේදී එක් අයකු හෝ නම්‍යශීලි විය යුතු වෙනවා. කෙනෙකුගේ මතය පිළිගැනීමට අනිත් තැනැත්තාට සිදු වෙනවා. එසේ නොවුණහොත් එතැන සිදුවන්නේ ගැටීමක්. එවිට විවාහය අසාර්ථකයි. ජීවීන් කියන්නේ රසායනික සංයෝගයක්. විවාහයෙන් පසු මෙම රසායනික සංයෝග එකිනෙකා අතර හුවමාරු වෙනවා. කායික එක්වීමේ සතුට හෝ අසතුට පදනම් වන්නේ මේ අනුවයි. 

කේන්ද්‍ර බැලීමේදී මේ තත්ත්වය පිළිබඳ පෙර දැක්මක් ඇතිකර ගත හැකියි. පොරොන්දම් 20ම ගැලපෙනතුරු බලා සිටියහොත් කිසිවකුටවත් විවාහ වන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය පොරොන්දම් පමණක් ගැලපීම සෑහෙනවා. රජ්ජු, නාඩි, ලිංග, ගණ වැනි පොරොන්දම් එසේ ගැලපිය යුතු වැදගත් ඒවායි. උදාහරණයක් ලෙස පැවසුවහොත් දෙපළකගේ නාඩි පොරොන්දම නොගැලපුණවිට දෙදෙනාම එකවිට ලෙඩ වෙනවා. දඩබ්බරව කරන විවාහවලින් සියයට 80ක් විතරම අසාර්ථකයි. ඇතැම් ජෝඩු සමාජයට හොඳ මූණක් පෙන්වූවාට පවුලේ අභ්‍යන්තරය එයට වෙනස්. සැමියා වෙනත් කාන්තාවන් පස්සේ යනවා. බිරිය පරපුරුෂයන් සේවනය කරනවා. දෙන්නට දෙන්නා මේ හොර වැඩ දන්නා නමුත් නොදන්නවා වගේ ඉන්නවා. එයට හේතුව ප්‍රශ්න ඇතිවී විවාහය දෙදරුම් කෑවොත් සමාජයට මුහුණ දෙන්න බැරි වීමයි. නිවසින් පිට සමාජයට යනවිට දෙදෙනා එකට ගියත් ගෙදර ඉන්නෙ වෙනස් දෙදෙනෙකු වගෙයි.

බටහිර රටවල කේන්ද්‍ර නොබැලුවත් ඒ අය කඩිමුඩියේ විවාහ නොවී දීර්ඝකාලයක් තිස්සේ ඇසුරැ කරලයි විවාහ වෙන්නෙ. ඇතැම්විට නීතියෙන් කසාද නොබැන්දත් දෙදෙනා එකට ඉන්නවා. ඉතින් ඒ කාලයේ නොගැලපෙනවා සේ දැනුනොත් වෙන්වෙන්න ලෙහෙසියි. එය ඒ රටවල සමාජ ක්‍රමයයි. ඉතින් එවැනි විවාහ සාර්ථක වන්නේ දෙදෙනා එකට හඳුනාගෙන සිටි නිසයි. යම් නොගැලපීම් තිබුණහොත් කතාබහ කරලා ඒ වැරදි හදාගත හැකියි. ඒ නිසා කේන්ද්‍ර නොබැලුවායැයි ඒ විවාහ අසාර්ථක වන්නේ නැහැ.

එසේ වුවද ආසියාතික රටවල තත්ත්වය එයට වඩා වෙනස්. වැඩි වශයෙන් යෝජිත විවාහයි සිදුවන්නේ. ආශ්‍රය කළත් ටික කලකින් විවාහ වෙන්න වෙනවා. ඒ නිසා අපේ රටේ දෙදෙනකු විවාහවනවිට කේන්ද්‍ර පරික්ෂා කිරීම අවශ්‍යයි. ඒ මොකද වරදක් සිදු වුවහොත් නිවැරදි කිරීම අපහසු නිසා. ඒ නිසා මගේ අදහසනම් කේන්ද්‍ර බලලා විවාහවීම සාර්ථක විවාහයකට මඟ පාදන බවයි. විවාහය යනු ජීවිතයම පුරාවට ගෙනයන බැඳීමක්. දෙදෙනකු ආදරය කරනවනම් මුලදීම කේන්ද්‍ර පරික්ෂා කර ගැනීම හොඳයි. එය බටහිර රටවල ලේ පරික්ෂා කරගන්නවා වගේ. කේන්ද්‍ර බලලා අතිශයින්ම නොගැලපේනම් දෙදෙනා තත්ත්වය අවබෝධ කරගෙ බැඳීම ලිහිල් කරගැනීම දෙදෙනාටම යහපත්.

♦‍ජ්‍යොතිෂවේදී ඩී. ඩබ්. පී. ලියනගේ
හෝකන්දර.