2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ග්‍රීන් කාඩ් හුටපටය

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

සම්මානලාභී කෙටිකතාකරුවකු, තිරරචකයකු හා අධ්‍යක්ෂවරයකු වන ෂර්මන් ඇලෙක්සි, අමෙරිකාවේ ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයෙහි දේශනයකට ගිය අවස්ථාවේ නියම කතාවක් කීවේය.

මට විනාඩි විස්සක කතාවක් දෙන්න. මම මුළු සභාවම හිනස්සනවා. උපහාසය හරියට ග්‍රීන් කාඩ් එකක් වගේ. ඕන තැනක යන්න පුළුවන්. මගේ ග්‍රීන් කාඩ් එක ඒක තමයි.

භාෂා පහකින් ගීත පහක් ගැයීම, රටවල් පහකට වීසා ලැබීමක් වැනිය යන කියමනද, ඇලෙක්සිගේ කතාවට ළඟින් යයි.

ඇලෙක්සිලාගේ අපේ කතා කොහොම වෙතත්, ට්‍රම්ප් සමඟ නෝ ජෝක්ස්ය. ඔහු ග්‍රීන් කාඩ් නැත්තටම නැති කිරීමේ, රෙඩ් කාඩ්පත ඔසවාගෙන සිටී.

දැන් ඉතින් කාගේ කාගේත් අමෙරිකානු සිහිනය සුන්ය!

ග්‍රීන් කාඩ්ද ලොතරැයියකි. ඇදෙන නොඇදෙන දිනුමකි. වාසනාවකි.

අපේ රටේ සමහර තාත්තලා, පුතා වෙනුවෙන් ග්‍රීන් කාඩ් ඉල්ලුම් කළ අතර, සමහර පුතාලා තාත්තා රට පටවනු පිණිස ග්‍රීන් කාඩ් ඉල්ලුම් කළහ.

මගේ කාර්යාල මිත්‍රයකු වූ ජනසිරිගේ ලොකු පුතා නැණසිරිද ග්‍රීන් කාඩ් අපේක්ෂාවෙන් කල්ගෙවූ තරුණයෙකි. ජනසිරිද කට ඇරියොත් කියන්නේ ග්‍රීන් කාඩ් ගැනය. ලංකාවේ උපන් තරුණයකුට, අමෙරිකාවේ පුරවැසිකමක් ලබාදීමට සිහින මැවීම පුදුමයට කාරණයක් ලෙස පෙනීමටද ඉඩ ඇත. එහෙත් දැනටමත් මේ සිහිනය සැබෑ කරගත් අය දහස් ගණනකි. ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් එය ජීවිතය ගොඩ දමා ගැනීමකි.

ට්‍රම්ප්ගේ ග්‍රීන් කාඩ් තහංචියත් සමඟම ජනසිරිත්, නැණසිරිත් විස්සෝපයට පත් වූහ. ජනසිරි පහුගිය ටිකේම කෑවේ, කැන්ටිමෙනි.

මේ දවස්වල අපේ ගෙදර බත් උයන්නෙත් නෑ. වයිෆ්ගෙ ප්‍රෙෂර් එකත් වැඩිවෙලා. 

ඕවා ඔය හැටි ගණන් ගන්න ඕනෙ නෑ ජනසිරි. දැන් පුතාට තියෙන්නෙ ඔස්ට්‍රේලියාව වගේ රටකට පැනගන්න. අපේ මල්ලිගෙ පුතා නං ළඟදි ජපානෙට පැනගත්තා. මිනිහ ගිහින් සති දෙකයි. ජපන් භාෂාවෙන් එස්.එම්.එසුත් එවනවා. ලබන මාසෙ විතර සිටිසන්ෂිප් එකත් හම්බවෙයිලු.

අපේ එකාට ග්‍රීන් කාඩ්ම ඕනෙ කියනවනෙ.

එය ඇසුණු පෝලෝ පෙරේරාද කතාවට පැන්නේය. පෝලෝටත් ඕනෑ නැති ග්‍රීන් කාඩ් එකක් නැත.

සිටිසන් ගන්නත් කමක් නෑ ඩුවල් සිටිසන් නම් ගන්ඩ එපා. දැක්කනෙ ගීත නෝනට වෙච්ච දේ.

ඩුවල් සිටිසන් කියන්නෙ එක කකුලක් මේ රටේ, අනික් කකුල අනික් රටේ තියාගෙන ඉන්න එකටනෙ. රටවල් දෙකම නැතිවුණාම මුහුදෙ පනින්න තමයි වෙන්නෙ.

අල්මේදා ද ග්‍රීන් කාඩ් කතිකාවට එක් විය.

අමෙරිකාවත් ඕන නැති වැඩේනෙ කෙරුවෙ. ග්‍රීන් කාඩ් දීල මිනිස්සු අවුස්සල, දැන් බෑ කියනවා.

පෝලෝ කීය.

ලංකාවෙ මිනිස්සු ග්‍රීන් කාඩ් ඉල්ලන්න බැරුව නොකා නොබී ඉන්නව කියල දන්නව නං ට්‍රම්ප් ලොක්කා මොනව හරි විසඳුමක් දෙයි.

මම කීවෙමි.

අමෙරිකාවෙ ජනාධිපතිවරැ දින්නම, ලංකාවේ පත්තරවල සුබ පැතීමේ දැන්වීමක් දාන මහත්තයෙක් හිටිය නේද? එයාට කියල බැලුවොත් කොහොමද?

අල්මේදා ඇසීය.

අපොයි, එයා දැන් ලංකාවෙ නෑ.

පෝලෝ කීය.

ඔන්න ඒකෙන් මේකෙන් මට අදහසක් පහළ වුණා.

ජනසිරි හිස කැසුවේය.

කියමු බලන්ඩ.

පෝලෝ කීය.

අපි හදනවා ග්‍රීන් කාඩ් හිතෛෂී පෙරමුණක්. ඊටපස්සෙ අමෙරිකන් තානාපති කාර්යාලෙට පෙළපාළියක් යනවා.

ට්‍රම්ප්ට ඕවා අල්ලන්නෙ නෑ.

එහෙම වුණොත් කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවා.

තානාපතිවරු දොඩම් වීදුරු අරන් ඕව විසඳන්න එන්නෙ නෑ.

අපිට බැරිද අමෙරිකාවෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කියල, පෙළපාලියක් සංවිධානය කරන්න.

මිනිහට යකා නගී. එහෙ ඉන්න ග්‍රීන් කාඩ්කාරයො ටිකත් ලංකාවට පටවයි.

පෝලෝගේ කීමෙන්, අනෙක් අය මොහොතකට නිහඬ වූහ.

ග්‍රීන් කාඩ් සංවාදය යළිත් ඇරුඹුණේ සවස තේ වේලාවේදීය. මහිලා සමිතිය නමින් හැඳින්වෙන කාන්තාවන් කිහිපදෙනාද ඊට එක් වුණි. වටිනාම අදහස දැක්වූයේ, යුරෝපා සංචාරයෙහි යෙදී ඇති ඩැල්රීන්ය.

ප්‍රංශ ජනාධිපති බැඳල ඉන්නෙ එයාට වඩා වයසින් හුඟක් වැඩි නෝනා කෙනෙක්. ට්‍රම්ප් බැඳල ඉන්නේ හුඟක් බාල නෝනා කෙනෙක්. ඕන ජනාධිපති කෙනෙක් නෝනා කියන දේ අහනවා.

නියම අයිඩියා එක.

විලාසිනී අත්පොළසනක්ද ගැසුවාය.

ග්‍රීන් කාඩ් ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන මෙන්, ට්‍රම්ප් මැතිනියගෙන් ඉල්ලමින්, ඊමේලයක් යැවීම ඩැල්රීන් බාරගත්තාය. සිතුවාටත් වඩා ඉක්මනින් පිළිතුරු ලැබුණි.

අමෙරිකාවට එන්න දඟලන්නෙ මොන පිස්සුවකටද? ලංකාව කොච්චර ලස්සන රටක්ද? ඔය රට දියුණු කරගෙන ඕකෙම ඉන්න බලන්න.

මටත් දැන් මේ නාකි මනමාලයා එක්ක ජීවත් වීම එපාවෙලා. මෙයා ආපු දා ඉඳල පිස්සුමයි කෙළින්නෙ. මාත් අද හෙටම උතුරු කොරියාවට පනින්නයි බලන් ඉන්නෙ. නැතුව ගැලවීමක් නෑ!

මීට 
හිතවත්
මිලානියා ට්‍රම්ප්

 කපිල කුමාර කාලිංග