2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

දවස ගාණෙ මිනීමරණ රිය අනතුරු

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 258

ගත වූ දින කිහිපයට වාර්තා වූ රිය අනතුරු ප්‍රමාණය බැලූ බැල්මට අධික බව පෙනෙයි. එයින් වැඩි ප්‍රමාණය කෙළවර වී තිබුණේ අවාසනාවන්ත මරණයකින් හෝ කිහිප දෙනකුට බරපතළ තුවාල සිදු කරමිනි. මාර්ග අනතුරු රැසකට ප්‍රධාන හේතු වශයෙන් නීති පිළිනොපැදීම, අධික වේගයෙන් ඉස්සර කිරීම, අපරීක්ෂාකාරී රිය ධාවනය සහ නොඉවසිලිමත් බව වශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

සිදුව ඇති අනතුරුවලට 85% ක් පුද්ගල හේතුන් බලපා ඇතිමුත් ඉන් 90% ක් වළක්වා ගත හැකි තරමේ ඒවා බවද සඳහන් වේ. දිනකට අවම වශයෙන් 8 දෙනකු රිය අනතුරු වලින් මියයද්දී යතුරු පැදි අනතුරුවලට ලක්ව මියයන අයගෙන් බහුතරය තරුණ වියේ පසුවන්නන් වීම කැපී පෙනේ. ජීවිතයේ කිසිදු බරක් පතලක් නොදැන නිකරුණේ තරුණ ජීවිත මඟමරුවාට බිලිවෙද්දී බීමත්කම හේතුවෙන් තම ජීවිත බිලිදෙන වැඩිහිටි පිරිමි ද සිටිති. මේ අනතුරු හේතුවෙන් තරුණ බිරින්ඳෑවරුන් වැන්දඹු බවට පත් වී දූ පුතුන්ට පිය සෙනෙහස අහිමි වීමත් ඔවුන්ගේ පවුල් ආර්ථික මට්ටමෙන් අන්ත අසරණ තත්ත්වයට ඇදවැටීමත් ඛේදවාචකයකි. 

මෙය බරපතළ සමාජ ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන කරුණක් නිසා ඉකුත් දින කිහිපයේ වාර්තා වූ බරපතළ රිය අනතුරු පිළිබඳව මෙසේ සටහන් තබමු.

වතුගෙදර හරහා බලපිටිය දෙසට ධාවනය වන මෝටර් රථයකි. අඳාදොළ දුම්රිය හරස් මාර්ගය අසලට එන විටත් දුම්රිය ගේට්ටුව අසල රතු පැහැති වර්ණ සංඥාව දැල්වෙමින් තිබුණේ සීනුව ද නාදවෙන පසුබිමකය. අනතුරු සංඥා කිසිවක් නොතැකූ මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ගියා පමණය.

මෝටර් රථයට තවත් මොහොතක් ඉතිරි නොවීය. මාතර සිට අධික වේගයෙන් ආ සීඝ්‍රගාමී දුම්රිය හෙණ හඬ නංවමින් මෝටර් රථයේ ගැටිණි. සිතන්නට යමක් ඉතිරි නොවූ මොහොතේ දුම්රියට සිරවී මීටර් සියයක් පමණ ඈතට ඇඳීගොස් නතර වූ දුම්රිය ඉදිරිපිට වූයේ මෝටර් රථයක් නොව සුණු විසුණු වී ගිය අබලි යකඩ, තහඩු ගොඩකි. ඒ තරමට මෝටර් රථය කුඩු පට්ටම් වී තිබිණි.

දුම්රිය ගේට්ටුවේ රතු පැහැති ආලෝක සංඥාව හෝ සීනුවේ නාදය ගැන රියදුරුට අවබෝධයක් නොවුණාද?නොඑසේනම් එය දැක දැක නොවිමසිල්ලෙන් දුම්රිය මාර්ගය හරහා ධාවනය කළාද? කිසිවක් පහදන්නට රථයේ ගමන් කළ කිසිවෙක් ජීවතුන් අතර නැත.

චන්දිම සුභසිංහ සහ සංජීව වනසිංහ මිතුරෝ වූහ. පොලිස් විශේෂ කාර්යය බලකායේ රාජකාරී කළ ඔවුන්ගෙන් චන්දිම කඩවත ගෝනහේන කඳුවුරට අනුයුක්තව සේවයේ යෙදී සිටියෝය. මොවුන් දෙන්නාගේ මිත්‍රයකුගේ විවාහ මංගල උත්සවය ඉකුත් 27 දින පැවැත්විණි. මිතුරන් දෙන්නා ඊට සහභාගී වීමට ගොස් සිටියේය. චන්දිමගේ ආදරණීය බිරිය වූ නවියා මෙන්ඩිස් මහත්මියත් සමඟිනි. ඒ ඔවුන් අතර පවතින හිතවත්කම නිසාය.

විවාහ මංගල උත්සවය අවසන් වී එය පැවති ස්ථානයෙන් පිටත් වූ පිරිස හික්කඩුව ප්‍රදේශයේ සිට වතුගෙදර හරහා බලපිටියට දිවෙන කෙටි මාර්ගයකින් යන්නට තීරණය කළෝය. එහිදී ආඳාදොළ දුමිරිය හරස් මාර්ගයේදී මාතර සිට මරදාන බලා පැමිණි සීඝ්‍රගාමී දුම්රියේ හැපුණු මෝටර් රථය කුඩු පට්ටම් වී දුම්රිය මග දිගේ තල්ලු වී ගොස් සුන්බුන් අතර සිරවී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාව රෝහල් ගත කරන්නට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. චන්දිමාගේ බිරිය වූ නවියා පස්මස් ගැබිනියක වූවාය. අනතුරත් සමඟ එම ස්ථානයේදීම චන්දිම හා සංජීව ජීවිතක්ෂයට පත්ව සිටියහ. බලපිටිය රෝහලට රැගෙන යාමට ඉතිරිව තිබුණේ කෑලි ගිය මළ සිරුරුය. මිය ගිය කාන්තාව පළමු දරු ප්‍රසූතියට සූදානම් සිට ඇති අතර ඇය බලපිටිය රෝහලේ හෙදියක වශයෙන් කටයුතු කළාය. මියගිය මිතුරන් දෙන්නා පොලිස් විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් වූහ.

මිතුරකුගේ විවාහ මංගල්‍යට සහභාගී වී ඇල්පිටිය පිහිටි චන්දිමාගේ නිවෙස බලා යමින් සිටියදී බිරිය හා ඔහුගේ මිතුරා දුම්රිය අනතුරට ලක්ව සිටියේ පසුගිය 30 වැනිදා පස්වරු 5ට පමණය.

ඊට පෙර දින රාත්‍රී 9.15ට පමණ තවත් දුම්රිය අනතුරක් සිදුව තිබුණේ එම දුම්රිය මාර්ගයේම තෙල්වත්ත දළුවතුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදීය. එහිදී ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක වෑන් රථයක් ගැටී කාන්තාවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ස්වාමින් වහන්සේනමක් සහ තවත් කාන්තාවන් දොළොස් දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. අනතුරින් මියගොස් සිටියේ අවිවාහක රූපලාවණ්‍ය ශිල්පිනියක සහ තිදරු මවක වූ කාන්තාවෝ දෙදෙනෙකි. අනතුරින් රථයේ රියදුරුට හානියක් නොවූ අතර සිදුවීමත් සමඟ පැනයාමට උත්සාහ දැරූ ඔහු ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් අල්ලාගෙන මීටියනගොඩ පොලීසියට බාරදී තිබුණි.

ගාල්ල සිට අලුත්ගම දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය එන්ජිම ගැටුණු ස්ථානයේ එක් පසක පමණක් දුම්රිය ගේට්ටුවක් තිබූ බවද අනෙක් පැත්තේ ගේට්ටුවක් නොතිබී එතැනින් වෑන් රථය ධාවනය කර ඇත්තේ දුම්රිය මුරකරුගේ විධානය ද නොතකා බව අනතුර දුටුවෝ පවසති.

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන 5 වැනි බිංගෙය තුළින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පසුගිය 30 දා පෙරවරු 10.30ට පමණ කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ගැටී මියගිය අතර හලාවත දුම්රිය ස්ථානය අසලදී කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙක් මියගොස් තිබුණේ පසු ගිය 27 වැනිදා පස්වරු 5.05ට පමණය. එමෙන් 23 වැනිදා පස්වරු 2ට පමණ ඉන්දියානු ජාතිකයෙක් වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි. මේ ආකාරයට සතියක් තුළ සිදුවූ දුම්රිය අනතුරු මරණ සංඛ්‍යාව 8ක් වන අතර ඉන් තුවාල ලැබූ ගණන 13කි.

වවුනියාව සිට යාපනය දෙසට ඇඟලුම් සේවිකාවන් පිරිසක් රැගෙන ධාවනය කරමින් තිබූ බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බවුසරයක මුහුණට මුහුණ ගැටී වූ අනතුරකින් 24 දෙනෙක් තුවාල ලැබූහ. හලාවත පුත්තලම මාර්ගයේ බත්තුලු ඔය ආසන්නයේදී සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයේ ගමන් ගත් තිදෙනකු බරපතළ තුවාල ලැබුවේ 30 වැනිදා අලුයම් කාලයේදීය. එදිනම අලුයම් කාලයේදී ලොරියක් මීටර් 150ක පමණ ප්‍රපාතයකට පෙරළීම නිසා එහි ගමන් ගත් අයෙක් තුවාල ලැබූ අතර ලොරි රථය මුළුමනින්ම විනාශ වී තිබුණි. 

දිවයිනේ ප්‍රදේශ රැසකින් මාරක රිය අනතුරු පෙළක් වාර්තා වූයේ පසුගිය 29 වැනිදාය. ආනමඩුව ගල්ගමුව මාර්ගයේ පොදික්කච්චුව ප්‍රදේශයේදී කන්ටේනරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් වෑන් රථය රියදුරු බරපතළ තුවාල ලබා මියගිය අතර පස්වරු 2.20ට පමණ අනතුර සිදුව තිබුණි. එදින පස්වරු 5.15ට පමණ පුත්තලම කොළඹ මාර්ගයේ කිලෝමීටර් 101 කණුව අසලදී ලොරි රථයක් හා යතුරු පැදියක් එක්නෙක ගැටීමෙන් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්විය. එම දිනයේම රාත්‍රි 7.50ට පමණ කහටගස් දිගිලිය දඹගොල්ල හන්දියේදී බේකරි නිෂ්පාදන අලෙවියේ නිරත ත්‍රිරෝද රථයක් පෙරළී රියදුරු ඊට යටවීම නිසා මරණයට පත්ව තිබුණි.

ඉකුත් 27 වැනිදා සවස කුලියාපිටිය දීගල්ල කොස්හේන මාර්ගයේදී බස් රථයක් හා යතුරු පැදියක් එක්නෙක ගැටීමෙන් තරුණයෙක් මිය ගියේය. එදිනම සවස 6.45ට පමණ පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශයේදී ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක ගැටීමෙන් එහි රියදුරු මරණයට පත්විය. ඊට පෙර දින 26 පස්වරු 1.10ට පමණ කොළඹ රත්නපුරය මාර්ගයේ පුස්සැල්ල ප්‍රදේශයේදී බවුසරයක් ත්‍රිරෝද රථයක ගැටීම නිසා එහි ගමන් ගත් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් බරපතළ තුවාල ලැබීය. මේ අතර එදින රාත්‍රියේ ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ලොරි රථයක් හබරණ 122 කිලෝ මීටර් කණුව ආසන්නයේදී වන අලියෙකුගේ ගැටී පෙරළීමෙන් 5 දෙනෙක් තුවාල ලබා සිටියහ. එදින පස්වරුවේ බදුරලිය මිනිකන්දල ප්‍රදේශයේදී ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබුණි. එදිනම රාත්‍රී 7.20ට පමණ මීගමුව පාරේ ජා ඇළ සොබනි හන්දිය ආසන්යේදී යතුරු පැදියකට ඉස්සර කිරීමට ගිය ලොරි රථයක යතුරු පැදිය ගැටී පෙරළී ලොරි රථයේ පසු පස රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මේ ආකාරයට ගතවූ සතිය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 30කට අධිකය. එහිදී තුවාල ලැබූ පිරිස 60කට ආසන්නය. පොලීසිය පවසන්නේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරුවලට මූලික හේතුව බවත් කල්පනාකාරීව රිය පැදවූවේනම් මියගිය පිරිස් තවමත් ජීවතුන් අතර සිටින බවය.

එක දවසට 300 ක් රෝහලට එනවා

පුෂ්පා රම්‍යාණි ද සොයිසා 
ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරී

සෑම මොහොතකම පාහේ අනතුරු සිදුවෙනවා. අනතුරුවලින් 85%ක් පමණ සිදුවීමට පුද්ගල හේතූන් බලපානවා. බොහෝ දෙනකුට නිසි අවබෝධයක් නැති කමින් අනතුරු සිදුවෙනවා.

මේ රටේ ඇතැම් අය මහ පාරේ විනය, නීතිය පිළිපදින්නේ නෑ. දරුවෙක් උපන් දා පටන් ඉගෙන ගන්නවා. ගුණගරුක බව, නීති ගරුක බව වගේම රටේ නීතිය ඉගෙනගෙන සුරැකීම ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. අවාසනාවකට මේ රටේ ළමයි හෝ වැඩිහිටියන්ගෙන් පිරිසක් මේවා පිළිපදින්නේ නෑ. මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීම, පදික මාරුවෙන් පාර මාරුවීම, කල්පනාකාරීව රිය ධාවනය නොකිරීම කියන වැරදි සුළුවෙන් තකන්න බෑ. රිය අනතුරු ඇතුළු සෙසු අනතුරු නිසා දිනකට රෝහල් ගතවන ප්‍රමාණය 300ක් පමණ වෙනවා. ඉන් 20% පමණ රිය අනතුරුවලට ලක්වූවන්. මේ තත්ත්වය 1991 වර්ෂයේදී පමණ 30%ලෙස වාර්තා වුණා. දැනට රිය අනතුරුවල යම් පාලනයක් දකින්න ලැබෙනවා. මාධ්‍ය මගින් දැනුම්වත් කිරීම ඊට හේතුවක්.

අධික වේගයෙන් ඉස්සර කිරීම ලොකු හේතුවක්

වෛද්‍ය සිසිර කෝදාගොඩ
සභාපති - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

දිනකට රිය අනතුරු මරණ 8 ක් පමණ වාර්තා වෙනවා. එහි වැඩිවීමක් නෑ. නමුත් පසුගිය දින කිහිපයේ දුම්රිය අනතුරු කිහිපයක් වාර්තා වුණා. හේතුව දුම්රිය හරස් මාර්ග ගැන තැකීමක් නොකිරීම. අනෙක් මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුව අධික වේගයෙන් ඉස්සර කිරීමට යාම හා අපරීක්ෂාකාරී ධාවනයයි. දුම්රිය හරස් මාර්ගවල අලෝක සංඥාව සහ විදුලි සීනුව පිළිබඳවත් අවධානයක් යොමු කරන්නෙ නෑ. ඇතැම් අනතුරුවලට හේතුව රියැදුරුට නින්ද යාම. අනතුරු මරණවලින් 90% ක් පමණම වළක්වාගත හැකි මට්ටමේ තිබූ ඒවා.

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්‍රමිකතා වන බවට වාර්තා වුණා. ඒ නිසා රියැදුරන්ට නීතිය හෝ සංඥා පිළිබඳව අවබෝධයක් නෑ. නීතියට ගරු කරන්න තරම් ඔවුනට විනයක් මූලික දැනුමක් නෑ. මේ නිසා ඒ පිළිබඳව විධිමත් ගුණාත්මක පුහුණු ක්‍රමයක් හරහා රියැදුරු බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළක් ප්‍රවාහන අමාත්‍යාංශයේ කමිටුවක් මගින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

පැය 4කට වඩා එකදිගට රියපදවන්න එපා

අමරසිරි සේනාරත්න
හිටපු නියෝජ්‍ය පොලිස්පති - රථ වාහන පොලීසිය

අනතුරකට වෙලාව අවේලාව නෑ. මහ පාර වගේම දුම්රිය පාරෙත් අනතුරු වාර්තා වෙනවා. මිනිස්සුන්ට ඉවසීම නැතිකම සහ පෙර සූදානමක්  නැතිකම මාර්ග අනතුරුවලට හේතු වෙනවා. වාහනයක ගමන් කරනවානම් වේලාසනින් පිටත් වෙන්න. එහෙමනම් අධික වේගය, ඉස්සර කිරීම අවශ්‍ය නෑ. නිදහසේ වෙලාවට යන්න පුළුවන්.

සාමාන්‍යයෙන් කියන්නේ රියදුරෙකුට පැය 4 කට වඩා එකදිගට රිය පදවන්න එපා කියලයි. එහෙම නොයා යුතුයි. යනවනම් තෙහෙට්ටුව සමඟ නිදිමත ඇති වෙනවා. ඊට පසු වේගය ගැන හෝ පදිකයන් ගැන අවබෝධයක් නෑ. රියදුරන්ගේ වගේම පදිකයන්ගේ අපරික්ෂාකාරී බව අනතුරට ලොකු හේතුවක් වෙනවා.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00