2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

බූරුවන්ට අපලයි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

බූරු කතාවලින් සාහිත්‍යයට අඩුවක් නැත. ජනකතා, ගැමි කතා, බණ කතා හා උපමා කතා ආදියෙහි නොයෙකුත් “ජාතියේ” බූරුවෝ සිටිති. එහෙත් ඒ හැම කෙනෙක්ම “ගොන් බූරුවෝ”ම නොවෙති. මොළේ තිබෙන බූරුවෝ ද ඒ අතර වෙති.

ගොනා සහ බූරුවා යන සත්වයින් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වුවද උන්ට හැමවිටම ලැබෙන්නේ අපහාස උපහාස නින්දාබස්මය. මිනිසුන් මෝඩ වැඩක් කළවිට එය හැඳින්වෙන්නේ ගොන් වැඩක් හෝ බූරු වැඩක් ලෙසය.

මේ ඉරිදා මට මෙබඳු “බූරු ලියවිල්ලකට” සිත යොමු වුණේ චීන රටේ බූරු මසට හොඳ ඉල්ලුමක් ඇතැයි පුවත්පතක පළ වූ බූරු පුවතක් දැකීමෙනි. විශාල ජනගහනයන්ගෙන් යුත් ඇතැම් රටවල මිනිස්සු නොකනා මසක් වේ නම් ඒ මිනී මස් පමණක් විය හැකිය. කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා යැයි අප කියනා සින්දුව චීනුන්ටත් පද මාරුවකින් තමන්ට ගලපා ගත හැකිය. 

බූරු මස් මොන රහදැයි කිසිවෙකුගෙන් ඇසුවහොත් ඔහු කියනු ඇත්තේ බූරු රහයි යනුවෙයි. නිර්මාංශිකයන්ට අනුව නම් මස් කෑම බූරු වැඩකි. කොතරම් කුසගින්නේ සිටියත් සිංහයා කුණු නොබුදින්නා සේ ශ්‍රී ලාංකිකයා ද රටේ කොතරම් බූරුවන් සිටියත් උන් ආහාරයට නොගනී. ඒ නිසා පුත්තලම් බූරැවෝ පවා නිදහසේ කමින් බොමින් යහතින් ජීවත් වෙති.

බූරුවාගේ මුල්ම වාස භූමිය අප්‍රිකාවය. නමින් බූරුවා වුවද උන් අයත් වන්නේ අශ්ව පවුලටය. එහෙත් අශ්වයෙකු හා බූරු දෙනෙක එක්වීමෙන් උපදින්නේ බූරු පැටවෙකු හෝ අශ්ව පැටවෙකු නොව කොටළුවෙකි. එම නිසා කොටළුවා ද්විභාෂික උගතෙකු ලෙස සැළකීමට සිදුවෙයි. ඌ බූරු බසත්, අශ්ව බසත් දනී. අද වනවිට ලෝකය පුරා බූරුවෝ මිලියන 40ක් ජීවත් වෙති. ඉන් වැඩිදෙනා වෙසෙන්නේ තුන්වෙනි ලෝකයේ රටවල වීම පුදුමයක් නොවේ.

බූරුවාට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩොන්කි හෝ ඈස් (Ass) කියාය. මඳ කලකට පෙර (දැනුදු ඉඳහිට දක්නට ලැබේ.) තරුණියන් අතර ජනප්‍රිය කේෂ විලාසිතාවක් හැඳින්වුණේ “ඩොන්කි කට්” යනුවෙනි. ඊට හේතු වන්නට ඇත්තේ බූරුවාගේ නළල මැද්දේ කෙහෙ වල්ලක් දකින්නට ඇති නිසා විය යුතුය. කෙසේ වෙතත් දහසක් අපහාස මැද්දේ තමන්ගේ නමින් කේෂ විලාසිතාවක් නිර්මාණය කර ගැනීම පිළිබඳව බූරුවා ගැහැනුන්ට ස්තූතිවන්ත වෙනවාට සැක නැත. එසේ නැත්නම් ඔවුන් ද එය “ගැහැනුන්ගේ බූරු වැඩක්” ලෙස සළකනවා විය හැකිය.

බූරු ඇඳ යැයි ඇඳක් තිබුණ ද බූරුවන් ඇඳන්වල නොනිදන බව ඕන බූරුවෙක් දන්නා දෙයකි. බූරු කුට්ටමෙන් බූරුවා ගහන්නේ ද මිනිසුන්ම මිස බූරුවන් නොවේ. මෙතනදී “බූරු” යන්නෙන් අදහස් කෙරුණේ දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට ගෙනැවිත් සිටි බෝයර් ජාතික සිරකරුවන්ය. බෝයර්ලාට නිදන්නට තැනූ ඇඳ බූරු ඇඳ විය. බෝයර්වරු කළ කාඩ් සෙල්ලම බූරු ගැහිල්ල විය.

බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට ගිය තැන සිදුවන්නේ මහ අවුලකි. එබඳු බල්ලන් සහ බූරුවන්ගෙන් අපටද අඩුවක් නැති බව රටේ තොටේ පුවත් දන්නාවූ අප හට අමුතුවෙන් කිව යුතු නොවේ.

දේශපාලන පක්ෂවලින් ද බූරු වැඩ ඕනෑ තරම් කෙරෙන නමුදු තමන්ගේ පක්ෂ ලාංඡනය ලෙස බූරුවා යොදා ගැනීමට කිසිවෙකු කැමති නැත. එහෙත් පුදුමයකට මෙන් අමෙරිකාවේ ඩිමොක්‍රැටික් පක්ෂයේ ලාංඡනය බූරුවාය. රිපබ්ලිකන්වරු අලියාය. අලි - බූරු හටනින් ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති අලියා දැන් අමෙරිකාවේ ජනාධිපතිය. බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජෝන් එෆ්. කෙනෙඩි, ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ආදීහු “ඩිමොක්‍රැටික් බූරැවෝ”ය.

අමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් දිළිඳු පවුලක උපත ලැබුවෙකි. ඔහුගේ දේශපාලන රැස්වීමකට පැමිණ සිටි විරුද්ධවාදියෙක් මෙසේ ප්‍රශ්න කළේය.

“ඔහේ ඉස්සර දර මඩුවක දර පැලුවය කියන්නෙ ඇත්ත ද?”

ඒ අපහාසය ගණන් නොගත් ලින්කන්, උපහාසාත්මක සිනාවකින් යුතුව මෙසේ පිළිතුරු දුන්නේ ය.

“අපොයි ඔව්. ඒ දර කඩේ නං වහල හුඟක් කල්. ඒත් දර කරත්තේ බැඳපු බූරුවා මම යන යන තැන එනවා.”

කිසිවෙකු ඔබට “බූරුවා” යැයි එක් වරක් කීවොත් එය ගණන් ගත යුතු නැත. එහෙත් දෙතුන් වරක් කීවොත් සැදලයක් මිලදී ගත යුතු යැයි කීමක් ද ඇත.

එක්තරා රටක නූගත් ගැමියෙකුට කදිම බූරුවෙක් සිටියේය. අසල් ගමක සොරුන් දෙදෙනෙක් ඌ සොරා ගැනීමට පැමිණියහ. බූරුවා කණුවෙන් ලිහා ගනිත්ම ගැමියා එදෙසට එනු දුටු සොරු කලබලයට පත්වූහ.
එක් සොරෙක් බූරැවා කර බැඳි කඹය ලිහා තම ගෙලෙහි ඔතා ගත්තේය. අනෙකා බූරුවා දක්කාගෙන කැලයට ගියේය.

ගොවියා පැමිණ බූරුවා වෙනුවට මිනිසෙකු සිටිනු දැක පුදුම වූයේය. 

“කෝ මගේ බූරුවා ?”

ඔහු ඇසීය.

“මම තමයි ඒ බූරුවා. ඒත් දැන් මම මිනිහෙක්. ඇත්තටම පුදුම දෙයක් වුණේ. මම ඉස්සර රා බීගෙන ඇවිත් අපේ අම්මත් එක්ක රණ්ඩු වෙනවා. අම්ම එක දවසක් විලාප තිබ්බා අනේ දෙයියනේ මට මේ වගේ පුතෙක් නොදී බූරුවෙක් දුන්නා නං මීට හොඳා කියලා. ඒ වෙලේම මම බූරුවෙක් වුණා. එදා ඉඳන් තැන් තැන්වල ගිහින් මිනිස්සු ළඟ දුක් විඳිනවා.”

“ඉතින් ආපහු මිනිහෙක් වුණේ කොහොමද ?”

“මම විඳින දුක දැකලා අම්මා ආයෙත් දෙවියන්ට කන්නලව් කළා දෙවියන්ටත් දුක හිතිලා ඊයේ රෑ මාව ආපහු මිනිහෙක් කෙරුවා”

“බූරුවා”ට අනුකම්පා කළ ගැමියා ඌට (සොරාට) නිදහස දුන්නේය. පසු දින පොළට ගිය ගැමියාට තමන්ගේ බූරුවාම විකිණීමට ගෙනවිත් තිබෙනු දක්නට ලැබුණේය. ඔහු බූරුවාගේ කණට ළංව මෙසේ කීවේය.

“උඹ ආයෙමත් රා බීලා ගිහින් අම්මත් එක්ක රණ්ඩු වුණා නේද? මම නං නිකං දුන්නත් උඹව ගන්නෙ නෑ. උඹට ඔහොම වෙලා මදි බූරුවෝ.”

වාසිබෝලන්තය “විවිධ බූරුවන්ට” ප්‍රසිද්ධ රටකි. එහි ගොවිපළ හිමියෙක් චීනයට බූරුවන් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට උත්සාහ කළේය. චීනයෙන් මෙසේ පිළිතුරු ලැබුණි. 

“අපට කකුල් දෙකේ බූරුවන් අවශ්‍ය නැත.”

 කපිල කුමාර කාලිංග  

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00