2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

නාමල්ලා හිරේ යැවූ හම්බන්තොට යුද්දේ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට මාගම්පුර වරාය විදේශ රටවලට පැවරීමට එරෙහිව විරෝධතා පෙළපාළියක් සංවිධානය කෙරෙන බවට ආරක්ෂක අංශවලට තොරතුරු වාර්තා වූයේ දින කීපයකට ඉහතදීය. පසුගිය 6 වැනිදාට පවත්වන්නට නියමිත වූ විරෝධතාවයට මුණ දෙන්නට පොලීසිය සීරුවෙන් සිටියේය.

එබැවින් ඊට දින දෙකකට පෙර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නියෝගයක් ලබාගන්නේ අදාළ දිනයේදී එම අධිකරණ බල සීමාවේ කිසිදු විරෝධතාවයක් හෝ මාර්ග අවහිරතාවයක් සිදුනොකරන ලෙසය. 

පොලීසිය අධිකරණයට දැක්වූ කරුණු අනුව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් අදාළ නියෝගය නිකුත් කොට තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා ඩී.වී. චානක යන අයට නියෝග පනවමිනි. මෙය නොතැකූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එදින හම්බන්තොට වෙරළ උද්‍යානයට රැස්වූහ. එතැන් සිට විරෝධතා පාගමනට එක්වූ පිරිස ඉන්දියානු කොන්සල් කාර්යයාලය අසලට පැමිණ තිබුණේ විශේෂ සංදේශයක් බාරදීමටය. 

ඒ වනවිටත් ක්‍රියාත්මකව සිටි පොලීසිය මාර්ග බාධක අසුරා ආරක්ෂාව තහවුරු කර සිටියේය. එහිදී අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව භික්ෂූන්වහන්සේලා දෙනමකට පමණක් ඉන්දියානු කොන්සල් කාර්යාලයට පැමිණ සංදේශය බාරදීමට අවසරය ලබාදුනි. එම සංදේශය බාරදී ස්වමීන්වහන්සේලා දෙනම විරෝධතාකරැවන් අසලට පැමිණියා පමණය. විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් වාග් ප්‍රහාර සමඟින් කෝලාහල තත්ත්වයක් හට ගත්තේය.

විරෝධතාකරැවන්ගේ හැසිරීම දැඩිවෙත්ම ඔවුන් පළවාහැරීම සඳහා කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරක රථ පොලීසිය විසින් භාවිත කළ අතර පොලිස් කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්යය බළකා සෙබළුන් මෙන්ම වෙනත් කොට්ඨාසවලින් පොලිස් නිලධාරීන් රැසක්ද යොදවා සිටියහ. 

විරෝධතාවය අතරතුර සිටි පිරිසක් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද අමරවීර යන අයගේ රුව දැක්වෙන පඹයන් ගිනි තබමින් සිටි අතර පොලීසියේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර නිසා මාර්ගයේ ගමන් කළ පාසල් සිසුන් ඇතුලු විශාල පිරිසක් අපහසුතාවයට ලක්වූහ. ඒ අතර ගැබිණි මාතාවක්ද සිටි බව දකින්නට ලැබුණි. ගැටුම් හේතුවෙන් ඇයව රෝහල් ගත කරන්නට පියවර ගත් අතර පොලීසියේ නිලධාරින් සිවුදෙනෙක් ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.

අදාළ ප්‍රදේශයේ විරෝධතාවයක් නොපවත්වන ලෙස අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ඊට මැදිහත් වූ පිරිස විසිර යන්නට මත්තෙන් ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බව ඒ කලබලය එයින් ආරම්භ වූ බවත් දකින්නට ලැබිණි. කෝලහාලය අතරට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලවීමෙන් රැස් වූ පිරිස් සී සීකඩ දිවයන්නට වූහ. ඒ අතර ක්‍රියාත්මක වූ පොලීසිය ගැටුමට සම්බන්ධ වූ බවට සැක කළ පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත්තේය. එසේ ගත් පිරිස 28 දෙනෙකි. ඒ සියලු දෙනා විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු බව පැවැසේ. එසේ හැසිරුණු පිරිස අතර සිටි තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් වාහනයක් වෙත රැගෙන එමින් සිටියදී මඟ නැවතී සිටි තංගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා කිසිදු විමසීමකින් තොරව එම තරුණයාගේ කනට දැඩි පහරක් එල්ල කළේය. ඔහුගේ දකුණු අතින් තරුණයාගේ වම් කනට එල්ල කළ ප්‍රහාරය හමුවේ වේදනාවෙන් මුනිවත රැකි තරුණයා පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් වාහනය වෙත රැගෙන ගියද ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරිවරයා පසුපසින් රූපවාහිනී මාධ්‍ය කණ්ඩායම් සිටිය බව ඔහුට වගක් තිබුණේ නැත. 

මේ නිසා මාධ්‍යවේදීන් පිරිස පොලිස් නිලධාරීන්ගේ පහරදීම තත්ත්වාකාරයෙන් පටිගත කරන්නට සමත්ව තිබුණි. එම පහරදීම අඩංගු වීඩියෝ පටය එදින රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර දර්ශනය කිරීමත් සමඟ පොලිස් නිලධාරියාගේ අමානුෂික අත්තනෝමතික ක්‍රියාව හෙළිදරව් විය. සිද්ධියෙන් පහරකෑමට ලක්ව අගතියට පත්ව තිබුණේ මහනුවර, අස්ගිරිය, ආදාහනමළුව පාරේ පදිංචි සුසන්ත බණ්ඩාර යන අය බවට අනාවරණය වූ අතර පහරකෑම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

සහකාර පොලිස් අධිකාරීවරයා එම පහර එල්ල කිරීම මාධ්‍යවේදීන් විසින් ආවරණය කරන්නට ඇතැයි දුටු වහාම සෙසු නිලධාරීන් ඉදිරියේ තුෂාර දළුවත්ත මහතා “ගහන්න එපා... ගහන්න එපා... කාටවත් ගහන්න එපා...” යැයි පැවසීම හාස්‍යජනක සිදුවීමක් විය.

පොලීසිය හා මහජනතාව අතර වාර්තා වූ ගැටුම් අතරට මේ පහරදීමේ සිදුවීමත් එක්වූයේ පොලීසිය පිළිබඳ ජනතාවගේ අප්‍රසාදය තහවුරු කරමිනි. නීතිය හා සාමය ආරක්ෂා කරන්නට අත්අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලතල හිමි වුවද සැකකරුවන්ට හෝ අත්අඩංගුවට පත්වූවන්ට පහරදීමට සහ කායික මානසික වශයෙන් අඩම්තේට්ටම් කිරීමට අයිතියක් නැත. එසේ සිදුකිරීම පොලිස් නිලධාරීන් විසින් සිදුකරන බරපතළ වරදකි. මෙදින සිදුකළ වරදට සාක්ෂි සාධක සියල්ල මේ වනවිටත් සමාජ ගතවී හමාරය. එම උසස් පොලිස් නිලධාරියාගේ අවකල් ක්‍රියාව පිළිබඳව මහජනතාව දක්වන්නේ අප්‍රසන්න අදහස්ය.

පොලීස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සූරිය පටබැඳි මහතා පැවසූවේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය. එමෙන්ම ඔහු කියා සිටියේ පහරදීමෙන් තුවාල ලැබූ සැකකරුවන්ට කෘෘර ලෙස සැළකීම හා තිස්සමහාරාම රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරයාගේ නියෝග පවා මඟහරිමින් පොලීසිය කටයුතු කළ බවය.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් සමඟ පළාත් සභා මන්ත්‍රීවරැ දෙදෙනෙක් ද රණවිරු සංසදයේ සභාපතිවරයාද බන්ධනාගාර ගතකරනු ලැබ සිටිති.

හම්බන්තොට විරෝධතාවය අවස්ථාවේ උසස් පොලිස් නිලධාරියාගේ පහරදීම ආණ්ඩුව පාර්ශවයටත් ඇගිල්ල දිගුවන්නකි. පහරකෑමෙන් පසුව වාර්තා වූයේ පහරකෑමට ලක්වූ පුද්ගලයා පුවත්පතක මාධ්‍යවේදියකු බවටය. එහෙත් එම අවස්ථාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මාධ්‍යවේදී හැඳුනුම්පතක් ඔහු සතුව තිබී නැත. එම තරුණයා පවසා ඇත්තේ හැඳුනුම්පත ඉල්ලුම්කොට තිබෙන බවකි. කෙසේ වෙතත් වීඩියෝ පටවල දකින්නට ඇති අයුරින් පහරකන පුද්ගලයා ඒ මොහොතේ සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. ඒ වනවිට ඔහුගේ කිසිදු ප්‍රචණ්ඩත්වයක් පෙනෙන්නට තිබුණේ නැත. එවැනි පහරදීමක් දැකීම පිළිකුල් සහගතය. එය හෙලාදැකිය යුත්තේ ඒ නිසාය.

මේ පහරදීමේ සිදුවීම මාධ්‍ය හරහා ප්‍රචලිත වීමත් සමඟ ජාතික පොලිස් කොමිසම ඒ පිළිබඳ අවධානය යොමුකර තිබේ. ඊට පෙරාතුව මානව හිමිකම් කොමිෂන් සභාව සිය මතය ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියේය.

මෙම පහරදීම සම්බන්ධයෙන් අප මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය.

පොලීස් බාරයට පත්වන කිසිදු සැකකරුවකුට පහරදීමක් හෝ පීඩාවක් කිරීමට පුළුවන්  කමක් නෑ. හම්බන්තොටදී ඇති වූ සිද්ධිය අපි දැක්කා. උසස් පොලිස් නිලධාරියකු ලෙස ඔහු මේ කළ පහරදීම අවමන් සහගත එකක් ලෙසයි අපි දකින්නේ. මෙවැනි සැකකරුවකු පොලිස් බාරයට පත්වූ පසුව සිදුකළ යුතු වන්නේ සැකකරු ළඟම තියෙන මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමයි. ඉහළ නිලධාරීන් සතුටු කිරීමට මෙලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

හම්බන්තොට විරෝධය අතරතුර සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද පොලිස්පතිවරයාගේ වාර්තාවක් කැඳවා ඇති අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය. 

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා - සේයාරූ නුවන් ජයසේක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00