2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සුබ නැකතට සැත්කමකින් උපදින දරුවගේ කේන්දරේ?

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 464

ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු ලවා රාජයෝග පවතින සුභ නැකැතක් තනවා එම නැකත් වෙලාවට දරුවකු මෙලොව ජනිත කරවීම මගින් හැම අතින්ම පරිපූර්ණ උගත්, බුද්ධිමත්, වාසනාවන්ත දරුවකු ලබාගත හැකි යැයි අද ඇතැමෙක් විශ්වාස කරති. ඔවුන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු ලවා එම නැකැත් වෙලාවට සීසර් සැත්කමකින් දරුවකු මෙලොවට ගෙන තම අපේක්ෂාව ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරන බවක් දක්නට ඇත. මෙලෙස නැකැත් වෙලාවට කෘත්‍රිමව දරුවකු බිහිකරවා ගැනීමේ දී ඔහුට උරුම වන ග්‍රහ තත්ත්වය අනුව තනන කේන්ද්‍රයෙන් සත්‍ය වශයෙන්ම දරුවාගේ පලාඵල කියැවිය හැකි ද යන්න ද සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි. මේ පිළිබඳ සිදුකෙරෙන විග්‍රහයක් පහත දැක්වේ. මේ මතවලට එරෙහිව අදහස් දක්වන අයට ද ඉදිරියේ දී පුවත්පතේ ඉඩ වෙන්කළ හැකි බව ද සඳහන් කරමු.

දෛවය වෙනස් කරන්න බැහැ

මේ මිහිපිට වසන සෑම මවකගේම පියකුගේම බලාපොරොත්තුව බලයෙන්, ධනයෙන්, උගත්කමෙන්, නැණ ගුණ නුවණින්, රූපශ්‍රියෙන්, ආධ්‍ය කැපීපෙනෙන දරුවකු බිහිකිරීමයි.  එබැවින් සමහර මව්පියන් බලවත් රාජයෝග, ධනයෝග, පංච මහා පුරුෂ යෝගයන් පවතින සුභ වේලාවක් ජ්‍යොතිෂවේදියකුගෙන් ලබාගෙන එම වේලාවට සීසර් සැත්කමක් මගින් දරුවා බිහිකර ගැනීමට සියලු කටයුතු යොදා ගනී. මෙය දෙමාපියන්ට උවමනා උපත සිදුකර ගැනීමකි. නමුත් මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල අත්වනවාද යන්න විමසා බැලිය යුතු කාරණයකි. දරුවකු බිහිකිරීම ස්වභාව ධර්මයේම සංසිද්ධියකි. එසේ උවමනාවෙන් මව්පියන්ට උවමනා ආකාරයට දරුවකු බිහිකිරීම ස්වභාව ධර්මයට එරෙහිව යාමකි. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට උත්පත්තිය දක්වා ආධාන කේන්ද්‍රයෙන් පාලනය වන ක්‍රමවේදය පිළිබඳ ජ්‍යොතිෂයේ සඳහන්ව ඇත.

පළමු මාසය :- තරලමය තත්ත්වයේ පවතින කළලය සිකුරු ග්‍රහයා මගින් පාලනය වේ.

දෙවැනි මාසය :- කළලය ක්‍රමයෙන් ඝන තත්ත්වයට පත්වෙයි. කුජ ග්‍රහයා මගින් පාලනය වේ.
තෙවැනි මාසය :- අභ්‍යන්තර අවයවයන් ක්‍රමයෙන් වැඩේ. පෙකනි වැල වැඩේ. ගුරු ග්‍රහයා මගින් පාලනය වේ.
සිව්වැනි මාසය :- අස්ථි පද්ධතිය ක්‍රමයෙන් වැඩේ. ගැ/පි. ලිංග ලක්ෂණ. රවි ග්‍රහයා මගින් පාලනය වේ.
පස්වැනි මාසය :- සම හා හිසකෙස් වැඩේ. සඳු ග්‍රහයා මගින් පාලනය වේ.
හයවැනි මාසය :- අක්ෂි පියන - සම රැලි වැටීම හා ලෝම සෑදේ. සෙනසුරු ග්‍රහයා මගින් පාලනය වේ.
හත්වැනි මාසය :- නහර පද්ධතිය/ තෛල පද්ධතිය වැඩේ. බුධ ග්‍රහයා මගින් පාලනය වේ.
අටවැනි මාසය :- හිසකෙස් ඝනව වැඩේ. නිය වැඩේ. ආධාන ලග්නාධිපති මගින් පාලනය වේ.
නවවැනි මාසය :- පිපාසය කුසගින්න දැනේ. අණ්ඩකෝෂ වැඩේ. පුරුෂ යෝගම් රවි ග්‍රහයා මගින් පාලනය වේ.
දසවැනි මාසය :- ප්‍රසූතියට පහසු ආකාරයට ගර්භය සැකසේ. සඳු ග්‍රහයා මගින් පාලනය වේ.

මේ ආකාරයට කිසිවකුගේ මෙහෙය වීමකින් තොරව මනුෂ්‍යයකු උත්පාදනය වීම ස්වභාව ධර්මයේ විශ්ව ශක්තියේ ආශ්චර්යකි. විශ්වය තුළ බිහිවන සෑම ජීව අජීව වස්තුවක්ම ස්වභාව ධර්මයේ සංකේතයකි. ලෞකික තත්ත්වයේ ජීවත් වන මිනිසා මිනිස් ක්‍රියාකාරකම් තුළින් උපදින හොඳ හෝ නරක ක්‍රියාවන් කර්මය ලෙස හඳුන්වයි. මේවා පුද්ගලයාගේ ආත්මය හා බැඳී පවතී. මෙම සංසාරය තුළ මනුෂ්‍යයකු නැවත සුදුසු මව්කුසක පිළිසිඳ ගැනීමට ආත්මය තුළ පවතින කර්ම බලය ඉවහල් වේ. අඹු සැමියන්ගේ පූර්ව කර්මයන් ද දරුවකු පිළිසිඳ ගැනීමට බෙහෙවින් බලපාන සාධක වේ. සීසර් සැත්කමක් මගින් දරුවාගේ දෛවය සම්පූර්ණයෙන් වෙනස් කළ නොහැකිය. මහ මඟ සිඟමන් යදින යාචකයන්ට ද රාජයෝග ග්‍රහයෝග ඇති බව පැවසිය හැකිය. ස්ත්‍රී බීජයන් පුරැෂ බීජයන් සංසේචනය වන අවස්ථාව ආධාන අවස්ථාවයි. ජ්‍යොතිෂයේ මෙයට ආධාන කේන්ද්‍රය යනුවෙන් ද හඳුන්වයි. එබැවින් සැබෑ ලග්නය ආධාන ලග්නය ද බව ජ්‍යොතිෂයේ සඳහන්ය. එහෙත් ආධාන වේලාව සොයා ගැනීම සංකීර්ණ අපහසු කාර්යයක් බැවින් දරුවා බිහිවන වේලාව අනුව කේන්ද්‍රය සාදයි. එය ද බෙහෙවින් අනුරූප වන බව ජ්‍යොතිෂ්‍යය පෙන්වා දෙයි. ඒ නිසා කෘත්‍රිම ක්‍රම මගින් උපත වෙනස් කළ නොහැකි බව සනාථ වෙයි.

මහනුවර ප්‍රවීණ ජ්‍යොතිෂවේදී වී.ඩබ්ලිව්. වීරසිංහ

 

බොරුවක්

කෙනෙක් මෙලොව ජනිත වන්නේ ඔහු හෝ ඇය කළ කුශලාකුශල කර්මවලට අනුරූප වන ලෙසයි. පෙර භවවලදී අකුශල කර්ම කළ අයගේ ඊළඟ භවය අයහපත් වෙනවා. ප්‍රාණඝාත කළ අය අඩු වයසින් මියයනවා. මන්දබුද්ධිකයන් වෙනවා. හරියට ඉගෙන ගන්න බැරි මෝඩයන් වෙනවා. ඒ අයට පවු පලදීම සඳහා අයහපත් පාපි ග්‍රහයන් පිහිටා තිබෙන විට ලොව ජනිත වීම සිදුවෙනවා. ශුභ ග්‍රහයන්ගේ බැල්ම නොලැබෙනවා. එහෙත් පෙර ආත්මභාවවල පුණ්‍යවන්තයන් යහපත් භවවල ජන්ම ලාභය ලබනවා. හොඳ දෙමාපියන්ට දාව උසස් පවුල්වල ඉපදෙනවා. උගත් ධනවත් පවුල්වල උප්පත්තිය ලබනවා. ඉපදෙන දරුවාද බුද්ධිමත් මනා ශරීර සෞඛ්‍යෙයන් හෙබි, කැපීපෙනෙනා චරිත බවට පත්වෙනවා. දෙමාපියන්ට පමණක් නොවෙයි මුළු රටට ජාතියට ආඩම්බරයක් වන අය විය හැකියි.

උපන් වේලාවේ ග්‍රහයන් පිහිටන්නේ ඒ අයගේ කුශලාකුශල කර්මයන්ට අනුරූපීවයි. එය නිරායාසයෙන් ස්වභාවිකව සිදුවෙන දෙයක්. කෙනෙකුගේ කේන්ද්‍රය ලියැවෙන්නේ ලොව ජන්මලාභය ලබන අවස්ථාවේ පවතින ග්‍රහ තත්ත්වය අනුවයි. ශුභ හෝ අශුභ ග්‍රහයන් අනුව වාසනාව හෝ අවාසනාව සිදුවෙනවා. ජීවිතයට සම්බන්ධ වෙන්නේ එලෙස තමාට හිමිවූ ග්‍රහබලයයි. නිසියාකාරව, උපන් වේලාවට කෙනෙකුගේ කේන්ද්‍රය තැනූ විට ස්වභාවික ග්‍රහ ශක්තිය එමගින් පෙන්නුම් කරනවා.
කෙනෙකුගේ කුශලාකුශල කර්මයන් අනුව මෙලොව ජනිත වන අවස්ථාව අපට ඕනෑ හැටියට කෘත්‍රිමව හදාගන්න බැහැ. එහෙම හදාගන්න පුළුවන් නම් ඕනෑම පාපී පුද්ගලයෙක් යහපත් පුණ්‍යවන්ත අයකු බවට පත්කළ හැකියි. මෙය ලෝක න්‍යායට එරෙහිව යාමක්. සාමාන්‍ය උපතක් ලද විට තිබෙන ග්‍රහ තත්ත්වය තමයි ඒ ජන්මියාගේ මතු ජීවිතයට බලපාන්නේ. එය වෙනස් කිරීම අසාර්ථක උත්සහයක්.

අද එවැනි රැල්ලක් ඇතිවෙලා තියෙනවා. සමහර වෛද්‍යවරුන්ද මෙම තත්ත්වයට සම්බන්ධ වී තිබෙනවා. එම වෛද්‍යවරු වැඩිපුර ගාස්තු අයකර දෙමාපියන් තනාදෙන නැකැතට බිළිඳා පිටතට ගන්නවා. එහෙත් මෙය අසාර්ථක උත්සාහයක්. එහෙම නම් හොඳ නැකැත් හදාගෙන ළමයින් උපද්දවා මුළු ලොවේම දරුවන් යහපත් භාග්‍යවන්ත අය කළ හැකියි. මෙය විහිළුවක්. මා ළඟටද එවැනි නැකැත් හදාගන්න එන දෙමාපියන් සිටිනවා. මම ඒ අයට පැහැදිලි කරලා දෙනවා එයින් යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකි බව.

හැබැයි මෙහිදී යම් යහපත් දෙයක් කළ හැකියි. මා එවැනි අයට මවගේ කේන්ද්‍රය බලා සීසර් කරලා දරුවා ගන්න හොඳ ශුභ දවස් දෙනවා. එවැනි දිනයක සීසර් කරලා දරුවා බිහිකර ගත්විට දරුවාට කෙසේ වෙතත් මවට යහපතක් වෙනවා. ඇය ආරක්ෂා වෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන් බිහිවන විට මව හෝ දරුවා මියයන්නට පුළුවන්. මෙලෙස හොඳ දිනයක ළමයා ලබාගත්විට කරදරයකින් තොර ප්‍රසූතියක් ලබනවා.

කෘත්‍රිමව තනා ගන්නා කේන්ද්‍රයක් නිසා මුළු ජීවිතය අවුල් වෙනවා. එවැනි දරුවකුගේ ඉඳුක් කටගෑම, අකුරු කියවීම, ගෙවල් තැනීම, විවාහය ආදිය සඳහා එම කේන්ද්‍ර මත තනන නැකැත් වැරදියි. එම නැකැත් අනුගමනය කර යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකියි. කේන්ද්‍රය හොඳ වුවත් ජන්මියාට හොඳක් වෙන්නේ නැහැ. එවැනි ව්‍යාජ කේන්ද්‍රයක් ජීවිතයේ කිසිදු ශුභ කටයුත්තකට යොදාගන්න බැහැ. එයට හේතුව එය ඒ ජන්මියාගේ නියම කේන්ද්‍රය නොවීමයි. ඔහු නිසි වෙලාවට ස්වභාවිකව ඉපදුනා නම් හිමිවිය යුත්තේ මෙයට වඩා සම්පූර්ණයෙන් වෙනස් කේන්ද්‍රයක්.

අද වාණිජ රැල්ලට ගොදුරු වූ ඇතැම් ජ්‍යොතිෂවේදීන් මෙවැනි නැකැත් තනා දීලා දෙමාපියන් නොමඟ යවනවා. වැඩියෙන් මුදල් උපයන්නයි මෙය කරන්නේ. එය අපරාධයක්. අනෙක් අතට යහපත් පුණ්‍යවන්ත දරුවන් බිහිවන්නේ දෙමාපියන් ධාර්මිකව ජීවත් වන විටයි. එහෙම නැතුව පවුකම්වල නිරතවන දෙමාපියන්ට නැකැත් තනා හොඳ දරුවන් නිර්මාණය කළ නොහැකියි.

ජ්‍යොතිෂවේදී අමරසේන වේගිරිය