2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අවිස්සාවේල්ලේ දම්පාට රජදහන Purple Sun Resort

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

අවිස්සාවේල්ල නගරයෙන් රත්නපුර පාරේ කිලෝමීටර බාගයක් පමණ ගිය විට හමුවන සුන්දර නවාතැනක් තමයි පර්පර් සන් රෙසෝට් (Purple Sun Resort) හෝටලය. නගර මධ්‍යයේම පිහිටා තිබෙන කුඩා කඳු ගැටයක ඉදිකර තිබෙන මේ හෝටලයේ පිහිටලා තියෙන්නේ නගරයට තරමක් උඩින්. අවිස්සාවේල්ල කියූ විට කඳු වනාන්තර ආදිය සිහියට නාවත් මේ අපූරු හෝටලය පිහිටා තිබෙන්නේ අවිස්සාවේල්ල කොයිතරම් සොබාදහමට සමීප තවමත් නොඉඳුල් සුන්දරත්වයක් සහිත පරිසරයක්ද යන්න පසක් කරමිනුයි.

මේ හෝටලයේ විශේෂම කාරණය තමයි සොබාදහමට මුහුවී තිබීම. හෝටලය පිහිටා තිබෙන ස්ථානය නිසාම රත්නපුර දෙසට වගේම ගාල්ල දෙසට වන කඳු පන්තීනුත් බොහොම හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. හෝටලයේ හිමිකරු සිසිල් වැන්ක්‍යුලන්බර්ග් මහතා කියන විදිහට දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේදී සිරීපාදේ කන්ද වගේම පහන් වැටත් හෝටලයට හොඳින් දිස් වෙනවා. කොහොම නමුත් අපි එහි යන මොහොතේදී නම් රත්නපුර දෙසට වූ කඳු පන්ති තිබුණේ මීදුම් සේලයකින් වැසී ගෙනයි.

හෝටලයට පර්පල් සන් කියන නම යොදාගෙන තිබෙන්නේත් හෝටල‍යට දර්ශනය වන අහසේ වෛවර්ණ රටා සැළකිල්ලට ගනිමිනුයි. විශේෂයෙන්ම හිරු බැහැගෙන යන වෙලාවට දකින්න ලැබෙන දම්පාටත් රෝස පැහැයත් මිශ්‍ර වුණු අහස ඒ නම යොදන්න මුල්වෙලා තියෙනවා.

ආගන්තුක සත්කාරයටම කැපවුණු ඉතාමත් සුහද සේවක කාර්ය මණ්ඩලයක් ඉන්න මේ හෝටලයේ තවත් රසවත් අත්දැකීමක් විදිහට ආහාරපාන හඳුන්වන්න පුළුවන්. හෝටලය දේශීය ආහාර වගේම බටහිර ආහාර වර්ගත් සංචාරකයන්ට පිළිගන්වනවා. ඊට අමතරව සංචාරකයන්ට වෙනත් ආහාර වර්ගත් තම රුචිකත්වය අනුව ලබාගත හැකියි. හෝටලය උදේ ආහාරයක් ලෙස ලබාදෙන කිරිබත සහ ලුණු මිරිස නම් ඉතාම රසවත්. හොඳට කිරි යොදලා උකුවට රසට තියෙන මේ කිරිබත් අමුතුම රසයක්, ජීවයක් එක් කරනවා.

මේ හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 21ක්. ඒවා සාමාන්‍ය කාමර සහ suite පන්නයේ කාමර ලෙස වෙන්කර තිබෙනවා. ඊට අමතරව විවාහ උත්සව වගේම සම්මන්ත්‍රණ, ව්‍යාපාරික හමු ආදියට හොඳින් ගැලපෙන උත්සව ශාලා තුනක්, පිහිනුම් තටාකයක්, විවේක කාමරයක්, වයි ෆයි වගේ බොහෝ පහසුකම් එහි අඩංගුයි.

මේ හෝටලයට එන සංචාරකයන්ට ලබාගන්න පුළුවන් තවත් හොඳ අත්දැකීමක් තමයි අසල තියෙන කඳු පන්ති තරණය කිරීම. හෝටලයට ආසන්නයෙන්ම තියෙන බැලුම්ගල කන්ද අතීත සීතාවක රාජධානියේ ප්‍රධාන ඔත්තු බැලීම් සිදුකළ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයි. ඒ වගේම ලබුගම රක්ෂිතයට යා වෙන වැවේ කැලේ නම් වන ලැහැබකුත් හෝටලයට පිටුපසින් පිහිටා තිබෙනවා. ඊට අමතරව සීතාවක රාජධානියේ නටබුන් විදිහට සැලකිය හැකි බැරැන්ඩි කෝවිල ආදිය කරාත් මෙහි සිට ළඟාවෙන්න පුළුවන්. 

I රජිත 
සේයාරූ  I සුමුදු හේවාපතිරණ