2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ආරංචිය ඇහුවම ගැස්සිලා ගියා

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

- නොබෙල් සාහිත්‍ය සම්මානලාභී කෂුඕ ඉෂිගුරෝ

“මේ ආරංචිය ඇහුවාම මං ගැස්සිලා ගියා. මට අදහාගන්නත් බෑ. දවල් කෑම කන්න ලෑස්තිවෙනකොට තමා ඒජන්ට් කතා කරලා ආරංචිය කිව්වේ. කලින් දන්නවා නම් උදේම නාලා කරලා ලෑස්ති වෙන්නවත් තිබ්බා.”

වසර 23කට පසු ජපානයේ උපත ලැබූ ලේඛකයකුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය නොබෝදා උරුම වූයේය. අමුතුම වර්ගයේ ලියන්නකු වන විචිත්‍ර චරිතයක් හිමි කෂූඕ ඉෂිගුරෝ හටය. තමන් තෑග්ග දිනූ බව ආරංචිය ලත් සැණෙකින් ඔහු පැවසුවේ ඉහත කී උපහාසාත්මක වදන්ය. ජපනෙකුට ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා මේ නොබෙල් තෑග්ගක් හිමිවූයේ කාලාන්තරයකට පසුවය. 1968 යසුනරි කවබතාට සහ 1994 දී කෙන්ෂාබුරෝ ඕයේ හට මේ තෑග්ග ලැබුණද ජපාන සම්භවයක් ඇති ඉංග්‍රීසියෙන් ලියන්නකු වන ඉෂිගුරෝ සිය අමුතු ශෛලියක් ගත් කතා කලාව හේතුවෙන් සම්භාවනාවට පාත්‍ර වී සිටින්නෙකි.

නමසිය හැත්තෑ නමයේ දිනක එංගලන්තයේ ස්වාධීන ප්‍රකාශන ආයතනයක් වන Faber වෙත අමුතු හාදයෙක් ගොඩවැදුණේය. කඩමළු වූ ජීන්ස් කලිසමක් හැඳ කොණ්ඩය වවාගත් මේ තරුණ හාදයාගේ එක් අතක ගිටාරයකි. අනෙක් අතේ ඔලිම්පියා යතුරු ලියනයකි. මේ හාදයාගේ සැබෑ සිහිනය වූයේ රොක් ගායකයකු ලෙස ප්‍රසංග වේදිකාව දෙවනත් කිරීමය. ඒ සඳහා උත්සාහ දරන කාලය අතරතුර සම්භාව්‍ය ඉංග්‍රීසියෙන් ලියන්නට ඔහු පුරුදු විය. කෙටිකතා, තිරරචනා මෙන්ම වැඩිපුරම ගීත රචනා ඔහුගේ පරිකල්පනය තුළින් ඒ වන විටත් එළියට විත් තිබුණි. ඔහු නමෝ විත්තියෙන්ම ලියූ කුඩා නවකතාවේ මුල් පිටු සියය කියවා බැලූ faber and faber නමැති සුප්‍රසිද්ධ ප්‍රකාශන ආයතනය මගින් එය පිළිගනු ලැබීමට හේතුපාදක වූයේ ඔහු ඒ වනවිට ගොඩනගාගන තිබූ ආකර්ෂනීය අමුතු ලියැවිල්ලයි. මුල් නවකතාවේ මුල්පිටු සියය කියවූ ආයතනයේ කතුවරු පවුම් දාහක් ඒ වේලෙම ගෙවා නවකතාව වෙන්කර ගත්තේය. A pale view of Hills එංගලන්තයට සංක්‍රමණය වූ ජපාන ජාතික පවුලක හැලහැප්පිලි සහගත ජීවිත අරගලය සරල ලෙස නිරූපණය කළ ඉතා කෙටි නවකතාවකි. ඉෂිගුරෝගේ අමුතු කතා කීමේ කලාව නිසාම ඔහු වැටුණේ සල්මාන් රෂ්ඩි, හරුකි මුරකාමි, මාග්‍රට් ඇට්වුඩ් වැනි විචිත්‍ර රචනාකරුවන් අතරටය. දැන්, රොක් සංගීතකාරයකු වන්නට ගිය තරැණයා තමන්ගේ 64 වැනි වියේදී සාහිත්‍ය ලෝකය හොල්ලා තිබේ.

ජපානයේ නාගසාකි හෙල්ලුම් කැවූ න්‍යෂ්ටික බෝම්බයේ දුර්විපාකවලින් සිත්තැවුලට පත් සමුද්‍ර විද්‍යාඥයකු වූ ඉෂිගුරෝගේ පියා එවකට යාන්තම් වසර 5 ක් වූ පුංචි පුතාද සිය බිරියද රැගෙන බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්තය වෙත සංක්‍රමණය වූයේය. බ්‍රිතාන්‍යයට ඇවිත් ජපානයට නැවත යාම ගැන කල්බලමින් සිටි ජ්‍යෙෂ්ඨ ඉෂිගුරෝ සිය දෙගිඩියාව අතහැර බ්‍රිතාන්‍යයම නිවාස කොට ගන්නට සිතන්නේ පුංචි ඉෂිගුරෝට වයස 16 සපිරෙද්දීය. එතැන් සිට අපේ අලුත් නොබෙල් සාහිත්‍යලාභී ලේඛකයාත් සුද්දන් අතර තනි වූ ආසියාතිකයාගේ හැලහැප්පිලිසහගත ජීවිතයට මුහුණ දෙන්නේය. ඔහුගේ අමුතු කතා ශෛලිය ඔස්සේ ඉංග්‍රීසි පාඨකයන් කළඹවාලූ ඉෂිගුරෝ 1983 දී Granta සම්මානයෙන් හොඳම බ්‍රිතාන්‍ය තරුණ නවකතාකරැවා ලෙස පිළිගැනීමට ලක්වන අතර 1989 දී බුකර් සම්මානය හිමිකරගත්තේ ඔහුගේ තවත් අපූරු නවකතාවක් වන The Remaing of the day වෙනුවෙනි. එතැන් සිට ඔහු නොබෙල් තෑග්ග කරා යන්නේ සම්මාන වැස්සක් මැදිනි.

සුගත් පී කුලතුංග ආරච්චි