2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ලජ්ජා නැති මහමුදලිලා

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

 

සිනා කතාවෙන් මිනිසාගේ ලේ පිරිසිදු වෙයි. උපහාස කතාවෙන් මොළය පිරිසිදු කෙරෙයි.

උපහාසයෙනුත් උපහාසය දේශපාලන උපහාසයයි. එය මැජික් හීසරයක් සේ අහුමුළු අතරින් රිංගා ගොස් වැදිය යුතු තැනය වදියි.
දේශපාලන උපහාස කතාකරුවනට ලංකාව තරම් ගැළපෙන රටක් ලෝකයේ තවත් නැති තරම්ය. ඊට හේතුව ඔවුනට ඕනෑ තරම් කතා වස්තු හා තේමාවන් රටේ පාලකයන්ගෙන් ලබාගත හැකි වීමයි.

ලංකාවේ තරම් බයිට් වන දේශපාලනඥයන් ලෝකයේ කිසි තැනක නැත. එසේම ඔවුන් තරම් ජනතාව රිදවන, රවටන දේශපාලකයන්ද ලෝකයේ වෙනත් කිසිම රටක නැත.

ලංකාවේ තරම් මෝඩ, අමන, ගොන් තකතීරු ජනතාවක්ද ලෝකයේ වෙනත් කිසිම රටකින් සොයාගත නොහැක. ඊට හේතුව තමන්ට ද්‍රෝහිකම් කරන, බොරු පොරොන්දු දෙන හොර තක්කඩියන් පිරිසක් රට පාලනය කිරීම සඳහා තෝරා පත් කරන්නේද ඔවුන්ගේ මනාපයෙන්ම වන නිසාය.
එබඳු ජනතාවකට මා ද අයත් වීම පිළිබඳව මම මහත් සේ කනගාටු වෙමි. පසුගිය වසර පුරාම හීසරය නමැති මෙම සමාජ - දේශපාලනික උපහාස කොළම ලියමින් මම ඒ කනගාටුව තුනීකර ගැනීමට උත්සාහ කළෙමි. එම ලියවිලි සඳහා අමුද්‍රව්‍ය ලබාදීම ගැන නම් මෙරට දේශපාලනඥයන්ට හා ජනතාවට නොමසුරුව ස්තූතිවන්ත වෙමි.

රිදෙන තැන්වලට රිදෙන්නටත්, ඇනෙන තැන්වල ඇනෙන්නටත්, වදින තැන්වලට වදින්නටත් හැකිවන සේ වක්‍රොක්තියෙන් ලිවීම උපහාස ලේඛනයේ ස්වභාවයයි. මා ද අනුගමනය කළේ පෙර සිට පැවත එන ඒ සිරිතය.

වාසිබෝලන්තය යනු මා ඉතා හොඳින් දන්නා කුඩා රාජ්‍යයකි. පුදුමයකට මෙන් එරට සිදුවන බොහෝ දෙය මෙරට සිදුවන දෙයට සමානය. එහෙයින් ඇතැම් විට වාසිබෝලන්තයේ කතා මා ලියුවේ, තොප්පිය හරි නම් මෙරට කෙනෙකුට වුවත් දමාගත හැකි නෙවේදැයි සිතමිනි.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ යන කියමන දේශපාලනඥයනට ද කදිමට ගැළපේ. ඔවුන් බලය ලද මොහොතේ සිටම කරන්නේ පරම්පරා හතකට ඇතිවන ලෙසින් හැදෙන්නටය.

ඉල ඇට කූඩුව පෑදී සිටි කංජයියලාට මැති ඇමැතිකම් ලැබී‍ෙමන් පසු මිචලින් පප්පලා මෙන් ආරන්නේ ඒ හැදියාව නිසාය.

මෙය ලියමින් සිටියදී අසන්නට ලැබුණු පුවතකින් කියැවුණේ මෙරට මන්ත්‍රී පිරිසකට වැලි පර්මිට් දෙන්නට යන බවකි. බාර් පර්මිට්, කාර් පර්මිට් යනාදී වශයෙන් සකලවිධ පර්මිට් වර්ග වරප්‍රසාද ලෙසින් ලැබී තිබියදීත් වැලි පර්මිට් ද ලබාගන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට විය යුතුය. පර්මිට් නැතුවත් ඔවුන් දිගටම කරගෙන ආවේ ඒ කටයුත්තය. මඩ ගැසීමේ අති දක්ෂයන් වන ඔවුනට වැලි ගැසීම මහ කජ්ජක් නොවේ.

ලෝකේ කාලා වතුර බීපු එකායැයි ජනවහරේ වැහරෙන්නේ අණ්ඩපාලයාටය. එහෙව් එකාට ලෝකේ උලාගෙන කෑම සිම්පල්ය. පොළවේ තිබෙන වැලි ටිකත් විකුණාගෙන, ගිණුම් කර කිරීමට සැරසෙන්නේ එහෙව් අණ්ඩපාලයන්ය.

ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුය යන පිරුළ, මහ ඇමැතිකම, මන්ත්‍රීකම යනුවෙන් වෙනස් කිරීමට බැරිකමක් නැත.

එම පිරුළට මුල් වූ කතාව, නොදන්නා අයගේ රසාස්වාදය සඳහා මෙසේ කෙටියෙන් දක්වමි.

මහමුදලි වත්තේ පොල්, දිනපතාම අහුලාගෙන යාම අසල්වැසි ගැහැනුන්ගේ සිරිතක්ව පැවතිණ.

උදෑසනම අසුපිට යන මහමුදලි දුටු විට ගැහැනු සැඟවෙති. එහෙයින් ඔහුට මේ සොරකම නවතා ගත නොහැකි විය. වත්තේ ආදායමද දිනෙන් දින පහළ බසී.

මුරකාරයාද මහලුය. ඔහු මහමුදලි බලපුළුවන්කාරකම් ගැන කියමින් ගමේ ගැහැනු බිය වද්දන්නට උත්සාහ කළත් එයද සාර්ථක වූයේ නැත.
මේ පළාතේ සොකරි ගවයියා නම් මිනිසෙකු සිටියේය. කිසිවෙකුටත් බැරි වැඩේ කර දෙන්නට ගවයියා ඉදිරිපත් විය. මුදලිද ඔහුට ලොකු තෑග්ගක් දෙන්නට පොරොන්දු විය.

ගවයියා උපක්‍රමය වූයේ, ගමේ ගැහැනුන් පොල් ඇහිදින්නට එන වෙලාවට වත්තේ සැඟව සිට නිර්වස්ත්‍රයෙන්ම සොකරි නටන්නට පටන් ගැනීමය. ගවයියාගේ හෙළු නැටුම් දකින්නට ඇති ලජ්ජාව නිසා, ගැහැනු වත්තෙන් පැන ගියෝය.

ගවයියාටත්, මහ මුදලිටත් ලජ්ජා නැති වුවද ගමේ ගැහැනුන්ට ලජ්ජාව තිබිණි. (මූලාශ්‍රය : පිරුළු මිණි - ටී.එස්. ධර්මබන්ධු)
දැන් සිටින මහ මුදලිලා අනුන්ගේ වතු තමන්ගේ නමට ලියාගන්නා ජාතියේ එවුන්ය. උන්ගේ අතවැසි ගවයියලාද මහ එකාගේ අඩි පාරේම ගමන් කරති. සොරකමේදී ලජ්ජා බය දෙකම නැත.

තමන්ගේ කෙරුවාවන් ගැන රටේ ලෝකේ මිනිස්සු දන්නා බව දැනසිටියත්, නොදන්නා සේ සිටීමට තරම් සමත්කමක් මහ ටවුමෙත්, උන්ගේ ගෝල බාලයින්ටත් තිබෙන්නේ ඒ නිසාය.

මේ රටේ ඉතා වේගයෙන් අඳුරු ආගාධයකට ගමන් කරන බව දැන් සෑම තැනින්ම ඇසෙන කතාවකි. පාරාදීසයක් බඳු මේ සුන්දර දිවයින හදන්න බැරි රටක් බවට පත්වී තිබීම ඉතාම ශෝක ජනකය. අනාගතයේදී රට හැදේවී යැයි පාලකයින් කියන නමුදු, බුද්ධිමත් ජනතාව එය විශ්වාස නොකරති. එහෙත් මිරිඟු දියට රැවටෙන මෝඩයින්ගෙන්ද අඩුවක් නැත.

2017 ආරම්භයේම ඔබ කියවන මේ තීරු ලිපිය අවසන් කරමින්, සුබ නව වසරක්යැයි පතන්නට මට නොසිතේ.

අනාගතයේදී මේ රටේ ඉතුරුවනු ඇත්තේ දේශපාලකයන් හා උන්ගේ පවුල් පන්සල්වල එවුං පමණි.

ජනතාව වෙනත් රටවලට පැන යනු ඇත. නොඑසේනම් අතුරුදන් වනු ඇත. රටක් පාලනය කිරීමට ජනතාවක් අවශ්‍ය නැති බව දේශපාලකයෝ මනාව වටහා ගෙන සිටිති. ජනතාවට නිවන් සැප ලැබේවා!

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00