2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මහගෙදරට හැත්තෑවයි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

70 දශකයේ මැද භාගයේ දී, මෙරට ඉංග්‍රීසි පුවත්පතක අපූරු මරණ දැන්වීමක් පළ වුණි. එහි දැක්වුණු අන්දමට මියගිය පුද්ගලයා ඩී.ඊ.එම්. ඕ ක්‍රසි නමැති මහතෙකි. ඔහුගේ මරණයෙන් ශෝක වන්නන් අතර, ටී. රූත් (භාර්යාව), එල්.අයි. බර්ටි (පුතා) සහ ෆේත්, හෝප් සහ ජස්ටිස් නමැති සොහොයුරෝ ද වූහ. ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ අරලිය මැඳුර, පණගියවත්ත, අඳුරුවෙල යනුවෙනි.

බැලූ බැල්මටම මෙහි අමුත්තක් නොතිබුණ ද, ටික දවසකින්ම එහි සැඟවී තිබූ කර්කශ සරදම හෙළි වුණි. මියගොස් තිබෙන්නේ “ඩිමොක්‍රසි” නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයය. ශෝකවන පිරිසට සත්‍යය (Truth), නිදහස (Liberty), විශ්වාසය, බලාපොරොත්තුව හා යුක්තිය (Faith, Hope, Justice) අයත්ය.

මේ කාලයේ මෙරට පැවතියේ ද, පුවත්පත් ආයතන මර්දනය, විපක්ෂ රුස්වීම් තහනම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ක්‍රියාවලියකි. අර සිනා උපදවන මරණ දැන්වීම, ඊට සිය විරෝධය දක්වනු පිණිස, නිර්මාණශීලී පාඨකයකු විසින් කරන ලද්දකි. (ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.)

මේ දැන්වීම පිළිබඳ කතාව, ඉන්දියාවට ද පැතිරුණි. ඒ කාලයේ ඉන්දියාවේ අගමැතිනිය ඉන්දිරා ගාන්ධිය. එහිද ලංකාවට සමානවම මාධ්‍ය හා විපක්ෂය මර්දනය කිරීම සිදුවෙමින් පැවතුණි.

1975 ජූනි මාසයේ, “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතක අවමංගල්‍ය දැන්වීම් තීරයෙහි, “ඩි ඕක්‍රසි, ඩී.එම්.ඕ.” නමැති මහතකුගේ මරණය ගැන නිවේදනයක් පළ වුණි. ශෝක වන්නෝ ද ලංකාවේ දැන්වීමේ පරිදිමය. පසුව දැනගන්නට ලැබුණු අන්දමට, අපේ දැන්වීම අනුකරණය කරමින් එය පළ කර තිබුණේ, පසුකලෙක “රීඩර්ස් ඩයිජස්ට්” සඟරාවේ ඉන්දියානු මුද්‍රණයේ නියෝජ්‍ය සංස්කාරකවරයා ලෙස කටයුතු කළ අශෝක් මහදේවන්ය.

දේශපාලන කඳුළු නැඟෙන තුරු සිනාසිය හැකි මෙබඳු දේශපාලන විහිළු තහළු මතුවන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, රටේ පාලකයන් පිස්සු නටන කාලයන්හිදීය. කෙසේ වෙතත්, “මරණ දැන්වීමේ විහිළුව” ගැන නම් අප ආඩම්බර විය යුත්තේ, ඉන්දියාව පවා එය කොපි කිරීම පිළිබඳවය. සාමාන්‍යයෙන් සිදුවන්නේ එහි අනික් පැත්තය. ජනාධිපතිවරණ කාලයේ දී මෝදිගේ කෝට් බෑය කොපි කිරීම ඊට හොඳම උදාහරණයකි. කාටුන්කාරයන්ට තවමත් එය අමතක කළ නොහැකිව ඇත.

ඉන්දියාවත්, ලංකාවත් එංගලන්තයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කොපි කර ගත්තේ කරට අත දමා ගනිමිනි. එය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ලෝක් සභාවත්, ලංකාවේ පාර්ලිමේන්තුවත් පිහිටුවන ලදී.

දැන් අපේ පාර්ලිමේන්තුව 70 වියැති මහල්ලෙකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රට පාලනය කිරීම සඳහා, ජනතාව විසින් පත් කරනු ලැබූ තරුණ මහලු නියෝජිතවරු දෙසිය ගණනක් එහි සිට වාද විවාද කරති. ප්‍රජාතන්ත්‍රවාදය යනු තම මතයට විරුද්ධ මතවාදයන් ද, ප්‍රතිතර්කයන් ද ඉවසීමය. එහෙත්, අපේ රටේ නම් තවකෙකුට කතා කරන්නට ඉඩ නොදී, කෑකෝගසමින් බාධා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකැයි සිතන බවක් පෙනෙයි.

මහජන නියෝජිතවරු කොතරම් සභ්‍ය ලෙසත්, වැදගත් ලෙසත් කතා කරන්නේදැයි කිවහොත්, ඇතැම් අවස්ථාවල මහජන ගැලරියේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින බව මතක් කර දීමට කතානායකතුමාට සිදුවෙයි. විනෝදයට මෙන් සෙංකෝලය රැගෙන දිවයන විට, “අනේ ඕක මෙහෙ ගෙනැවිත් තියන්නැ”යි ඉල්ලා සිටීමට සිදුවෙයි. සමහරු එකදිගට කතා කරගෙන යන විට “ඕඩර් ප්ලීස්... ඕඩර් ඕඩර්” යැයි නියෝග කිරීමට සිදුවෙයි. මේ සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ ලක්ෂණයන්ය. ඒවා අව-ලක්ෂණ යැයි පවසන්නේ නූගත් ජනයාය.

පාර්ලිමේන්තුව රටට බරක් මිස, රටට වැඩක් කෙරෙන තැනක් නොවේ යැයි කියන්නෝ ද, නූගත් මහජනයාම වෙති. ඔවුන්ට අනුව, එහි සිටින්නේ ද පැන්ෂන් සහිත ජොබ් එකක් කරන මහත්වරු පිරිසකි. ඔවුනට කඳ බඩ සහ කට මිස, විභාග සහතික යනාදී කිසිවක් නැත. එකිනෙකාට මඩගසා ගන්නවා මිස, රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට ක්‍රම සම්පාදනය කරන්නේ ද නැත. මීට දශක කීපයකට ඉහත දී නම්, පාර්ලිමේන්තු කතා ඇතුළත් හැන්සාඩ් වාර්තාව, පාසල් ශිෂ්‍යයන් පවා කියැවූයේ ඉන් උගත හැකි බොහෝ දේ තිබූ නිසාය. දැන් නම් ඒ සිරිත අමතක වී ඇත්තේ, කියැවීමේ පුරුද්ද සමාජයෙන් දුරස් වී ඇති නිසා මිස, කතාවල ගතයුත්තක් නැති හෙයින් නම් නොවේ.

ඡන්දය නොහොත් මනාපය යනු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම සඳහා ඉතා ප්‍රයෝජනවත් දෙයකි. The ballot is stronger than the bullet යනුවෙන් ඉංග්‍රීසි කියමනක් ඇත්තේ ද එහෙයිනි. එහෙත්, බැලට් වෙනුවට බුලට් භාවිතා කර, මැතිසබයන්ට යන උදවිය ද නැත්තේ නොවේ. බැලට් එකෙන් බැරි නම් බුලට් එකෙන් හෝ මහජනතාවට සේවය කිරීම (බලයට පත්වීම?) ද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකැයි තර්කයක් නැගිය හැකිය.

පාර්ලිමේන්තු ක්‍රමය එපා යැයි කියූ සමහරු ඊට බෝම්බ ගැසූහ. අවසානයේ ඔවුහු ද ඊටම රිංගා ගත්හ. සමාජවාදයට යා හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් යැයි මාක්ස් ද කියා ඇති බව ඔවුන් දකින්නට ඇත්තේ පසුව විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය ද වරදට සමාව දෙන, කරැණාවන්ත මනාලයකු බඳුය.

අවුරුදු 70 ක් තිස්සේ, කාගෙ කාගෙත් වැරදි අඩුපාඩු ඉවසමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දීමම, අපේ පාර්ලිමේන්තුවට උපහාර පැවැත්වීමට ප්‍රමාණවත්ය. එය නොදන්නා මෝඩයෝ, කල්ප වෘක්ෂයෙන් සිතූ පැතූ සම්පත් ලබන්නට හදන්නාක් මෙන්, පාර්ලිමේන්තුවෙන් ද නොයෙක් නොයෙක් දෑ බලාපොරොත්තු වෙති. බඩු මිල අඩු කිරීම, රැකියා සුලබ කිරීම, වැටුප් වැඩි කිරීම වැනි දෑ ඒ අතරය. 70 හැවිරිදි මහල්ලකුගෙන් දරුඵල බලාපොරොත්තු වීම ගැන සමාව දිය හැක්කේ වඳ ගැහැනියකට පමණි.

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00