2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

අපට වුණේ කුමක්ද?

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

 

පශ්චාත් මරණ පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අප ඉතාමත් කැමතියි. එසේ විශිෂ්ට සේවාවක්ද ඉටුකළ අය අප අතර නැතුවාමත් කියන්න බැහැ. එහෙත් මෙවර අප ඉදිරියේ ඇත්තේ අපේ ඉතිහාසයේ තීරණාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්. එහි තීන්දු, නිගමනය එළඹුම් ඉතිහාසයේ හිඟන්නන්ට විස කරන පොට්ට කාසි හෝ කෞතුකාගාරයන්හි තැන්පත් කළ යුතු, මහා ස්ථූප බැන්ද යුතු ධාතු කරඩු හෝ විය යුතු නැහැ. 

බෙහෙවින්ම අවංක විය යුතුයි. විවෘත පැහැදිලි මනසක් තිබිය යුතුයි. මෙතුවක් ඉතිහාසයේ ආගාධ තුළ  වැටී සීරී තුවාල වී, සිහිසුන්ව රෝගාබාධවලට ගොදුරු වූ මනාව සන්නද්ධ වූ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මේ වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවක් නොවේ. එබඳු ශක්තියකින් ජවයකින් පිරිපුන් මනසක් වේ නම් යුගයේ යථාර්ථය තේරුම් ගන්නට අපහසුවක් නැත. සාවධානව සවන් දී ප්‍රතිවාදී තර්ක උපදේශකවරුන් තේරුම් ගන්නට උත්සාහ කරන්නකුට අද අපට සිදුවී ඇත්තේ කුමක්ද යන්න වටහා ගන්නට අපහසු වන්නේ නැහැ.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉමහත් ආදරයෙන් ඇඳ බැඳ වැළඳගත් ඉතිහාසය, සංස්කෘතිය, සාහිත්‍ය, සාරධර්ම, වටිනාකම් මේ සියල්ල පසුගිය දශකය තුළ උඩු යටිකුරු වන්නට වූයේ කෙසේද? වසර දෙදහස් පන්සියයකටත් අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය මෙහෙයවූ ආගමික චින්තන ධාරාව කුමක්ද? දරාගත නොහැකි තරමට, සංස්කෘතික ජීවන රටාවට සම්පූර්ණයෙන්ම ආගන්තුක ආර්ථික රටාවක් (විවෘත) අප මත පැටවීම නිසා මෙසේ අපේ සමාජ ජීවිතය කඩා වැටුණාද? ශ්‍රී ලාංකික සමාජය බහුතරය සිංහල බෞද්ධයන් (සිංහලයකු නම් බෞද්ධ විය යුතුයැයි යන විශ්වාසය අපේ ඉතිහාසය ඔස්සේ ගලා එන්නක්) වන නිසා අප සමඟ ජීවත්වන දෙමළ, මුස්ලිම් හා වෙනත් සුළු ජාතීන් අතර අපට ප්‍රධාන තැන හිමිවිය යුතුය යන ආකල්පය හේතුකොට ගෙන ඒ වෙනුවට ඔවුන්ගේ චින්තනය අප එන්නත් කළ නිසා මේ දේ සිදුවීද?

දහසකුත් එකක් ප්‍රශ්නවලින් අද අප සමාජ රටාව හැඩිවී තිබෙනවා. මේ රටාව හැඩිවී ඇත්තේ තැනින් තැන එල්ලෙමින්, ඉරී විනාශ වී ඇත්තේ පිළිතුරුවලට වඩා බලගතුව ඉලිප්පෙන ප්‍රශ්නවලින්. ඉරී විනාශ වී කාගේත් දෙතොල් අතරින් නික්මී හිස් වායුගෝලය පුරා සැරිසරන ප්‍රශ්නය වී ඇත්තේ එදා තිබුණු සමකාමී ජන ජීවිතයට මොකද වුණේ? උතුරේ දෙමළ ජනතාවගේ කැරුල්ලන්, දකුණේ අරගලයන් තුළින් පෙන්නුම් කරන්නේ නිදහස ලැබීමෙන් පසු බිහිවූ දේශපාලන නායකත්වයන් මේ ජාතික ගැටළුවේ අර්බුදය එහි  රුවින්, ගුණයෙන් හා තේජසින් යුතුව අවබෝධ කරගන්නට අසමත් වී ඇති බවයි. වර්තමාන අවධිය තුළ ඒ පිළිබඳ පුළුල් සංවාදයක් හෝ ඇතිවී තිබීම ශුභ නිමිත්තකි.

අද ශ්‍රී ලාංකික සමාජයට සිදුවී ඇති ව්‍යවසනය පිළිබඳව කතා කරන බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ අපේමයැයි කිව හැකි චින්තනයක් අපට නැති නිසා අද මේ සිදුවෙන විපත් සාක්ෂි දරන බවයි. ඊට එරෙහිව තර්ක කරන නිකාය දරන මතය වී ඇත්තේ සිංහල ජාතිකත්වය පිළිබඳව ව්‍යාප්ත වෙමින් පවතින අදහස් උදහස් නිසා බහු වාර්ගික,  බහු සංස්කෘතික, බහු භාෂාමය සමාජයට ගිනි තබන බවක්. එය තවදුරටත් විග්‍රහ කරන විට පෙනී යන්නේ ලංකාවේ ජීවත්වන දෙමළ, මුස්ලිම් හා සෙසු සුළු ජාතීනට වඩා සිංහලයෝ ප්‍රබලය. ඔවුන් ජනගහනයෙන් 75% පමණ නියෝජනය කරන මහජාතිය  නිසා වැඩි බලය ඔවුනට අත්පත් විය යුතුය යන හැඟීමකින් සිතීමක් පැතිර යමින් තිබීම.

අපට එසේ කළ හැක්කේ බහුතරය හෙවත් මහා ජාතිය තුළ සිංහල ජාතිය විනාශවේ එය බේරාගනිල්ලා යනුවෙන් මමත්වයෙන් යුතුව හැඟීම් රෝපණය කර ළතෝනි දීමෙන් නොව අපේ රටේම, අප ඇසුරේම දැවටෙන - සම්ප්‍රදායන් තුළින් චිත්තනයක් හදා වඩා ගැනීමෙනි. ඒ සඳහා බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් මූල බීජ දක්නට ලැබෙනවා. බුදුන්වහන්සේ දේශනා කළ අන්දමට ජාතික සමගිය, සමානාත්වතාව, අන්‍යාගම් සහ සංස්කෘතීන් දෙස උපේක්ෂාවෙන් බැලීම වැනි උත්තමාංශයන් ගෙන් ඒ සඳහා ලැබෙන්නේ කොතරම් ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී අනුබලයක්ද?

ශ්‍රී ලාංකික ජනතාව යනුවෙන් හඳුන්වන තලයෙහිදී මේ රටේ වෙසෙන සියලුම ජනවර්ගවලට පොදුවූ වටිනාකම්, සම්මතයන්, සාරධර්ම දකින්නට පුළුවන්. ඒවා ජාති ඇතැම් වශයෙන් බෙදුනත් ශ්‍රී ලාංකික යන පොදු ජාතික තලය තුළ එකම වේශයකින් නැගී සිටිනවා. ජාතික මට්ටම තුළ එසේ දිස්වන පොදුලක්ෂණ ගුණාංග එහෙත් පොදු ජාතිකත්වයක් ලෙස, පොදු සංස්කෘතියක් ලෙස ව්‍යාවහාරික ලෝකයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පන්නරය එය ලබන්නේ ඒ හැම ජනවර්ගයකට සංස්කෘතියට (භාෂාව, ආගම ආදී වශයෙන්) ප්‍රජාතන්ත්‍රවාදී සුජාත හැඩයක් ලැබී තිබේ නම් පමණයි. එසේ නොමැතිව ඒ පොදු සංස්කෘතිය. සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් වියයුතුයැයි දෙගොඩතලා යන ජානපාලයෙන් යුතුව ළතෝනි නැගීමෙන් ජාතික සමඟියක් ඇති කරගත හැකිද? ගැමියන් එවැනි තත්ත්වයක් හඳුන්වන්නේ සෝද සෝදා මඩේ දැමීමක් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය යනුවෙන් සිතන්නට අකමැති වීම ඇබ්බැහි කළ උත්තේජනයක් ලෙස හැදින්වේ නම් සිංහල බෞද්ධ ලෙස හිතන්නට කැමැතිවීමත් එබදු උත්තේජනයක් ලෙස සිතිය හැකි නොවේද?

වැදගත් වන්නේ තර්ක, වාද, විවාදයන්හි පටලැවී සිටීමට වඩා මෙබදු උත්තරීතර සංස්කෘතියක් ඇද්ද යන්න සොයා බැලීමයි. සංස්කෘතිය යනුවෙන් අද ලෝකයේ වියතුන්, බුද්ධිමතුන් හැමදෙනාම පාහේ පිළිගත් අර්ථකථනයක් වී ඇත්තේ මිනිස් චර්යාවේලාවේ පිළිබිබු වන බෙදා හදාගත් පර්මාදර්ශ, වටිනාකම් හා සම්මතය යන්නය. සංස්කෘතිය යනු නිරන්තරයෙන්ම වෙනස් වන්නක් බව අභ්‍යන්තර හා බාහිර බලපෑම් වශයෙන් දෙයාකාරයි.
එසේනම් අද අප ඉදිරියේදී ඇති ප්‍රධාන කාරණය කුමක්ද? කැඩි බිඳී, විසිර, විනාශ වී ගිය ලේ ගලන අපේ සිවිල් සමාජය යළිත් ගොඩ නගන්නේ කෙසේද? යන්නය. ඊට වැටී ඇති යම් මාවතක්, විසඳුමක් වේනම් එය වැටී ඇත්තේ අපේ විවිධ සමාජ සංස්කෘතික, වාර්ගික කොටස් සමඟ සහජීවනයෙන් හා එකෙනෙකා කෙරෙහි අවබෝධයෙන් කටයුතු කිරීම ඔස්සේයි. අපේ වර්තමානය ඉතිහාසයේ ඵලයක් වුවද එහි සංකීර්ණාත්වය එදාට වඩා ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද වැඩි බව අවබෝධ කරගත යුත්තකි. මේ ඓතිහාසික යුගය තුළ අප කල්පනා කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකය ලෙස සිතාගෙන නොවේ. ලෝකය ශ්‍රී ලංකාව ලෙස සිතාගෙනයි. එතරම් පුළුල් සංකීර්ණ ලෙස අපේ ලෝක දෘෂ්ඨිය වර්ධනය කරගත යුතුව ඇති වන කාලයක ලෝකයේ උතුම් රට ලෙස ලංකාව යැයි සිනා, උදම් ඇනිය හැක්කේ නින්දේදී පමණය.

ජගත් පෙරේරා ගම්පහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00