2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ගුවන් යානා දෙකක් අනතුරට

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

 

2017 වර්ෂය ආරම්භයේදී සූර්ය දිව්‍යරාජයා ධනු රාශිගතව සිකුරුට අයත් පුවසල නැකතේ ගමන් කරමින්ද සඳු තමාට අයත් සුවන නැකතේ මකර රාශියෙහි තැන්පත්ව ගමන් කරන අතර අඟහරු කුම්භ රාශියේ තැන්පත්ව රාහුට අයත් සියාවස නැකතේ ගමන්කරනු ඇත. බුධ ග්‍රහයා ධනු රාශිගතව කේතුට අයත් මූල නැකතේ ගමන් කරන අතර බ්‍රහස්පති ග්‍රහයා කන්‍යා රාශිගතව අඟහරුට අයත් සිත නැකතේ සහ සිකුරු ග්‍රහයා කුම්භ රාශිගතව අඟහරුට අයත් දෙනට නැකතේ සහ සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශිගතව බුධට අයත් දෙට නැකතේ ගමන් කරයි. 

රාහු සිංහ රාශිගතව කේතුට අයත් මා නැකතේ ගමන් කරනු ඇත. උදා වූ 2017 වර්ෂයේ බ්‍රහස්පති හා බුධ පරිවර්තනය වෙමින්ද සෙනසුරු හා අඟහරු පරිවර්තනය වෙමින්ද රාහු හා කේතුට එක් පසෙකට ග්‍රහයන් තැන්පත් වෙමින් සිටින අතර ධනු රාශියෙහි රවි හා බුධ යෝග වෙමින්ද කුම්භ රාශියෙහි කුජ සිකුරු කේතු එක් වීමෙන්ද 2017 නව වර්ෂය ආරම්භ වී ඇත.

මේ වසරේ අප රටේ වැදගත් වූ සිදුවීම් මාලාවක් ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතු සම්බන්ධව නව නීති පනත් ඇති වන අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ප්‍රධාන පුද්ගලයකුගේ අභාවයක්ද ආගමික නායකයකුගේ මරණයක්ද වාර්තා වේ. ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් නව සංවිධාන බිහිවේ. රාජ්‍ය පාලනය කරන මහජන නියෝජිතයන්ට එම ආයතන ප්‍රධානීන්ට ඉතා අයහපත් වන අතර නින්දාවට පත්වීමත් මාරක අපල සඳහා මුහුණ දීමටත් සිදුවනු ඇත. රාජ්‍ය පාලනයටද ඉතා අයහපත් කාල වකවානුවක් වන අතර රට තුළ විප්ලවකාරී තත්ත්වයක් මෙන්ම පාර්ලිමේන්තුවේද අර්බුදකාරී ස්වභාවයක් මතුවීම වැළැක්විය නොහැක. පාර්ලිමේන්තුවේ රජයේ සංයුතියේ වෙනස්විමක් ඇතිවෙමින් ද කැබිනට් මණ්ඩලයේ වෙනසක් ද ඇතිවෙමින් පාලන කටයුතුවල නවතාවයක් ද ඇතිවනු ඇත. 

ස්වභාවික ආපදා බහුලව සිදුවන්නා වූ වසරක් වන අතර දැඩි නියං තත්ත්වයක් මතුවීම හේතුවෙන් පානීය ජල ගැටලුවක්, කෘෂි භෝග විනාශයක් සිදුවන අතර වසර මැදින් පසු විශාල ජල ගැලීමක්ද හදිසි නාය යෑමක්ද ගංගා මුහුදු ගොඩගැලීමක්ද ඇතිවේ. මේ හේතුවෙන් මහා ජනතාව පීඩාවට පත්වීමත් දේපලවලට හානිවීමත් ජීවිත විශාල ලෙස නැතිවී යාමත් සිදුවනු ඇත. රෝහල් කටයුතු සම්බන්ධයෙන් මහජන විරෝධය දෝෂාරෝපණ එල්ලවීමත් ඒ ආශ්‍රිත වැඩවර්ජන ඛනිජතෙල් තැපැල් දුම්රිය සේවක වර්ජනත් වැඩ අත්හැරීම්ද සිදුවනු ඇත. රටට සේවය කළ දේශපාලනයේ නියුතු වූ අයකු මරණයට පත්වනු ඇත.

විදේශීය වශයෙන් සිදුවන්නා වූ සිදුවීම් විමසා බැලීමේදී නවීන විද්‍යාත්මක සොයාගැනීම්ද සිදුවන අතර කම්කරු අරගල වාර්තා වෙයි. ‍පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මහජන අප්‍රසාදයද දේශපාලන පක්ෂ කඩා වැටීමට ලක්වීම්ද ඇතිවේ.

තවද ප්‍රසිද්ධ කාන්තාවක් අපහාසයට, පීඩාවට පත්වීමක්ද මහජන නියෝජිතයකුගේ රාජකීය විවාහ මංගල්‍යයක්ද රාජ්‍ය පාලන අයෙකුගේ අභාවයක්ද නාවික හමුදාවන්ට අයහපත් සිදුවීම්ද වාර්තාවේ. යාත්‍රා අනතුරට පත්වීමක්ද මගීන් 100කට ආසන්න ප්‍රමාණයක් රැගත් ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමත් රිට්ට මාපාංක 7 ඉක්මවූ භූ චලන 4ක්ද වාර්තා වන අතර ඒ හේතුවෙන් මුහුදු ගොඩගැලීමක්ද සිදුවීමද මෙම වසර තුළ සිදුවනු ඇත.

♦ රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ගෝනාවිල