2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

රටට කරන්ට් වැද්දූ ලංවිම ස්ට්‍රයික් එක

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

තාක්ෂණික දියුණුව දෛනික ජන ජීවිතයේ අත්‍යවශ්‍යම සාධකයක් විදුලි බලය ඉන් අග තැන්පත්ය. කුඩා ව්‍යාපාර පටන් මහා පරිමාණ ව්‍යාපාර, කර්මාන්තශාලා, කාර්යාල ආදිය ක්‍රියාත්මක වන්නේ මුළුමනින්ම විදුලි බලය මත පදනම් වෙමිනි. රෝහල්, රසායානාගර, පර්යේණාගාර, පාසැල් ඇතුළු සෙසු සියලු ආයතන, දෙපාර්තුමේන්තු පවා ක්‍රියාත්මක වීමට විදුලි බලය අනිවාර්යය. විදුලිබලය ඇණහිටීම කර්මාන්ත ශාලා, රෝහල් ආදිය පමණක් නොව නිවෙසේ කටයුතු ද අකර්මණ්‍ය කරන්නේය. පැයකට දිවයින පුරා විදුලිය විසන්ධි කළහොත් විදුලිය කොතරම් අත්‍යවශ්‍ය  ද යන්න හොඳින් වටහාගත හැකි වනු ඇත.  ගතවූ දින තුනක් පමණ දිවයින පුරා ප්‍රදේශ ගණනාවක පැය ගණන විදුලිය නොමැතිව මහජනතාව දැඩි අපහසුතාවයට ලක්වූහ. එසේ විදුලිය අහිමි වූ පිරිසක් ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගය පැය 5ක පමණ අවහිරි කරමින් උද්ඝෝෂණ කළහ. ශීතකරණ භාවිත කරගත නොහැකිව මාළු, කුකුල් මස්, කිරි, ඇතැම් පළතුරු, එළවළු කිලෝ සිය ගණන් නරක්වී ඉවත් කිරීම සිදුවූ නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවූ බව ඇතැම් ව්‍යාපාරිකයෝ චෝදනා නැගූහ. 

කුලියාපිටියේ දී විදුලි උපපොළකට ඇතුළු වී ෆියුස් ගැලවූ විදුලි සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුගිය 14 වැනිදා හෘදයාබාදය නිසා හිඟුරන්ගොඩ රෝහලට රැගෙන එනු ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අකාලයේ මහමඟ මියයාමේ සිදුවීමක් වාර්තා විය. එය සිදුව තිබුණේ එම රෝහලේ විදුලිය නොමැතිව පොළොන්නරුව රෝහලට රැගෙන යමින් සිටිය දීය. පසුගියදා සාම්පූර් ප්‍රදේශයෙන් දැරියක මිය ගිය සිද්ධයක් වාර්තා වූයේ ද විදුලිය නොමැති අවස්ථාවක කළුවරේ වැරදි බෙහෙත් ලබා දීම නිසාය. 

එමෙන්ම සති දෙකකින් ස්ථාන ගණනාවක ට්‍රාන්ස්පෝමරය අක්‍රිය වී තිබිණි. එසේම ලයිට් කණු කඩා වැටී හෝ විදුලි රැහැන් මතට අතු කඩා වැටී හෝ වැනි අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් විදුලිය විදුලිය බිඳ වැටී තිබුණ ද ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට කිසිවකු පැමිණ නැත. කඩාකප්පල්කාරී පිරිසක් විසින් බයිසිකල් චේන් ආදිය විදුලි රැහැනට දමා විදුලිය විසන්ධි කිරීමට උත්සහගෙන තිබූ බව ද වාර්තා විය. මෙසේ අත්‍යවශ්‍ය මහජන සේවාව පීඩාකාරී සේවාවක් බවට පත්වූයේ දින අටක් පුරා විදුලි සේවකයන් නිරත වූ අඛණ්ඩ වර්ජනය හේතුවෙනි.

පසුගිය 13 වැනිදා විදුලි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පැය 48ක වර්ජනයක් ආරම්භ කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි. ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සේවයේ නොවන සේවකයන් 24800කගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කරගැනීම, විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකරගන්නා මුදලින් අසාධාරණ ලෙස විදුලි ඉංජිනේරුවන්ට ගෙවන රුපියල් ලක්ෂ 400ක පමණ මුදල නැවැත්වීම හා විදුලි බිල ඉහළ දැමීම නැවැත්වීම ඒ ඉල්ලීම් විය. 

විදුලි සේවක වර්ජනය නිසා 15 වැනිදා විෂයභාර අමාත්‍යවරයා හා වෘත්තීය සමිති අතර පැවති පළමු සාකච්ඡාවෙන් පසුව සේවකයන්ට 13%ක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජයට එකඟ වීමට සිදුවිය. නමුත් එම තීරණයට විදුලි ඉංජිනේරු සංගමය දැඩි විරෝධය දැක්වීමෙන් තත්ත්වය තවත් දරුණු විය. විදුලි වෘත්තීය සමිති ද රජයේ තීරණය පිළිගත්තේ නැත. වෘතිය සමිතිවල ඉල්ලීම්වලට විසඳුමක් නොලැබීම හේතුවෙන් දින දෙකක වැඩ වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයකට පරිවර්තනය කිරීමට ඉංජිනේරු නොවන සෙසු සියලු විදුලි වෘත්තීය සමිති එකඟ විය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් වගකීමෙන් යුතුව වර්ජනය හේතුව මෙසේ පැහැදිලි කළේය. 

අවුරුදු 30 ගාණන් වැඩ කරලා ජී.එම් තනතුරේ ඉන්න ඉංජිනේරුවරයෙක්ට ලැබෙන වැටුප අනිත් ආයතනවලට වඩා සාපේක්ෂව අඩුයි. නමුත් ඇත්තටම ඔහුට තියෙන පීඩනයත් එක්ක වැටුප තවත් වැඩිවෙන්න ඕන. වර්ජනය කළ අයට ඕන වුණේ ඉංජිනේරුවරුන් දූෂිතයි කියාගෙන පඩිවැඩිවීමක් කරගන්න. ඒත් ඒ අයට දීමනාවක් ලැබිලා තියෙනවා. ඔවුන්ට හයට එක කරගන්න ඒ කියන්නේ මූලික පඩිය 55000ක් කරගෙන අතිකාලත් කරලා ලක්ෂයකට වඩා උපයගන්නයි උවමනාව. අද වෙලා තියෙන විදිහට වැටුප් වැඩිවීමක් වුණාම සිදුවෙන්නේ තියෙන වැටුප් විෂමතාව නැතිවීම. තාක්ෂණ අංශයේ ඉන්නවා උසස් පෙළ කරලා කාර්මික විද්‍යාලයෙන් පාඨමාල කරලා ආපු අය. ඒ අය ඉන්නේ රියදුරන්ටත් වඩා අඩු පඩියක. ඒ අයගේ පඩි අඩුවක් තියෙනවා. පිටරට අනිත් සේවකයන්ට වඩා තාක්ෂණික සේවකයන්ට පඩි වැඩියි. විදුලි මණ්ඩලයේ ඉන්න ඔවුන් විදෙස්ගත වුණොත් මීට වඩා උපයන්න පුළුවන්. තාක්ෂණික සේවකයාට 13%ක් දෙනවටයි ඔවුන් ඒ විරුද්ධ වුණේ. ඒ පඩිවැඩිවීම අනිත් අයට දරාගන්න බැරිවෙලා තියෙනවා. තාක්ෂණික සේවකයන්ට විදුලි බලමණ්ඩලයේ විතරක් නෙවෙයි අනෙකුත් ක්ෂේත්‍රවලත් වැටුප වැඩිවිය යුතුයි කියලයි අපි පිළිගන්නේ.

විදුලි සේවකයන් 95%ක්ම පසුගිය 13 දා සිට සේවයට වාර්තා නොකරද්දි විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කර සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට ද රජයට සිදුවිය. විදුලි බලමණ්ඩලයේ 3000ක් වන අනියම් සේවකයන් ද වර්ජනයට එක්වීම නිසා ඔවුන්ගේ මේ මාසයේ වැටුප ද කපා හැර සේවයෙන් හැර ගියා සේ සලකන බව නිවේදනයක් නිකුත් කෙරිණි. විශ්‍රාම ගිය සේවකයන් ද නැවත සේවයට කැඳවීමට විෂය භාර රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කළේය. අනියම් සේවකයන් හා විශ්‍රාමිකයන් සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දෙමින් සේවයට වාර්තා නොකරද්දි හමුදාවේ සහාය ලබා ගැනීමටද රජයේ අවධානය යොමු වී තිබිණි.

පළමු සාකච්ඡාව අසාර්ථක වූ තත්වයක 20වැනි දා තවත් සාකච්ඡාවක් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමඟ තිබුණි. එම සාකච්ඡාව විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න, එම අමාත්‍යංශ ලේකම්වරු, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාද ඉංජිනේරු වෘත්තිය සමිතිය ඇතුළු සියලුම විදුලි වෘත්තීය සමිති සහභාගිවී තිබුණි. පැය පහකට වැඩි කාලයක් උණුසම් වාද විවාදවලින් පසුව වර්ජකයන්ගේ ඉල්ලීම්වලට එකඟවීමට රජයට සිදුවිය.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා 20 වැනිදා පැවැති සාකච්ඡාව පිළිබඳව මෙසේ විස්තර කළේය. 

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයා හා සාකච්ඡාව කැඳවා තිබුණු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් අතර 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 12/1 වගන්තිය යටතේ ආරවුල් බේරුම් කිරීම් කොන්දේසි පත්‍රයක් අත්සන් කරනු ලැබුවා. ඒ කොන්දේසිපත්‍රය යටතේ එකඟතාවයන් තියෙනවා. ඒ අනුව වැඩවර්ජනය දැන් අවසන් කරලයි තියෙන්නේ. එහිදී වැටුප් වැඩි කිරීම් සම්බන්ධව එකඟතාවයකට පැමිණියා. නමුත් පහුගිය සැප්තැම්බර් 15වැනි දින ලංකා විදුලි බලමණ්ඩලයේ ඒකාබද්ධ විදුලි ඉංජිනේරු සේවාව ස්ථාපිත කර විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ ලිපියකින් ඉංජිනේරු සේවාවේ ඉංජිනේරුවන්ට සහ ඉංජිනේරු සහකාරවරුන්ට වැටුප් පරිමාණ හදලා තිබු‍ණා. ඒ නිසා ඔවුන්ට නැවත වැඩිවීමක් කරන්න හේතුවක් නෑ. එහිදි අනියම් සේවකයන් සේවය හැර ගිය සේ සලකන්නත් හා පරිවාසකාලය තුළ සිටින්නගේ පත්වීම් අහෝසි කරන්නත් ගත් තීරණය වෙනස් කළා. එනිසා ඔවුන්ටත් රාජකාරියට වාර්තා කිරීමේ හැකියාව තියෙනවා.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් රංජන් ජයලාල් මහතා එම සාකච්ඡාවේදි එළඹි තීරණ සම්බන්ධයෙන් පැහැදිලි කළේය. 

20 වැනිදා රාත්‍රියේ සිට වැඩවර්ජනය අවසන් කර බ්‍රහස්පතින්දා සිට රාජකාරියට වාර්තා කිරීමට අපි තීරණය කළා. නමුත් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට දැනටමත් අපි ගිහින් තියෙනවා. ඒ අධිකරණ ක්‍රියාමාර්ගය ඒ ආකාරයෙන්ම යනවා. අධිකරණයේ තීන්දුවක් දෙනකම් වැටුප් විෂමතාවය ඉවත් කරන්න එහිදි තීරණය වුණා. ඒ අනුව නුපුහුණු සේවකයන්ට 8% වැටුප් වැඩිවීමක් අනෙකුත් නිලධාරීන්ට සහ කාර්මික සේවයේ නිලධාරීන්ට 10% - 13% වැටුප් වැඩිවීමක් තීරණය වුණා. ලිපිකරුවන් හා සමාන්තර ශ්‍රේණිවල වැඩකරන සේවකයන්ට 10%ක දීමනාවක් ලබා දීමටත් සියලුම සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන්නත් තීරණය වුණා. 2018 ජනවාරි පළවෙනි දා සිටි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්නත් තීරණය වූ අතර පළිගැනීම්, සේවයෙන් හැරයාම් ලිපි ලේඛන සියල්ල ඉල්ලා අස්කරගන්නත් ආණ්ඩුව තීරණය කළා.

විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කළ පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා මැදිරි ක්‍රියාකරුවන් සඳහා වන 13%ක වැටුප් වැඩවීම, අර්ධ පුහුණු සේවකයන් සඳහා 8%ක වැඩිවීම හා ඉංජිනේරු නොවන අනෙකුත් සේවාවන් සඳහා වන 10%ක දීමනාව පසුගිය වර්ෂයේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන සඳහන් කළේය. එමෙන්ම වර්ජනය පැවති කාලයේ දී ගැටලුවකින් තොරව පාරිභෝගිකයන්ට විදුලිය ලබා දීමට කැපවූවන්ට ස්තූති කළ අතර මේ කාලසීමාව තුළ පාරිභෝගියන්ට යම් අපහසුතාවයක් සිදුවූවේ නම් ඒ සම්බන්ධයෙන් ද සිය කණගාටුව ප්‍රකාශ කළේය.

මේ වෙද්දි විදුලි සේවකයන්ගේ වැඩ වර්ජනය අවසන්ය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි වැටුප් වැඩිමී ද ලැබී ඇත. වැටුප් වැඩිවීම් ඉල්ලා මාර්තු අප්‍රේල් මාස වලදීද විදුලි සේවකයන් වර්ජනය කළ බව අපට මතකය. එක පැත්තකින් අවසානයට තේරිය යුතු සටන් ක්‍රියා මාර්ගය වන වැඩ වර්ජනය මුලින්ම තෝරාගන්නා වෘත්තීය සමිති හා වැඩවර්ජනය දක්වා ගැටලුවක් දික්ගැස්සෙන තුරු බලා සිටින දේශපාලන බලාධිකාරය ද මහජනතාවට සිදුවන සියලුම ආකාරයේ පීඩනයන්ට වගකිව යුතුය..

I සකීෆ් සාම් තන්වීරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00