2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

දැනමුතුවෙලා හිටි මං ගමේ ගොබිලෙක් එක්ක පෙළවහට ගියා

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 361

අදින් අවුරුදු සීයකට - හමාරකට එපිට පුරාණ වැව් ගම්මානවල විසූ බවලතුන්ගේ (කාන්තාවන්ගේ) ජීවන වගවිස්තර දැනකියා ගැනීමේ අදහසක් පහළ වුණේ මීට ටික කාලයකට පෙරාතුවයි. ඒත් ඉතිං එව්වා ගැන දැනමුතුකම් තියෙන අත්දැකීම් තියෙන ඇත්තියන් අද හිඟකම නිසා ඒ සෝදිසි ටිකක් පමා විය. ඔය අල්ල පනල්ලේ ඇහැටුවැව, නිතෝගම පැත්තේ බොහොම වයස්ගත වෙච්ච බවලතියක සිටිය බවට පහුගිය දොහක හෝඩුවාවක් මට ලැබිණි.

උන්දෑ හොයාගෙන නිතෝගමට අඩි කැඩුවේ (ගමන් කළේ) මගේ අදහස ඉෂ්ඨසිද්ධ කරගැනීම සඳහාය. දැන් උන්දෑට වයස අවුරුදු අනූපහයි. ඇස්වහක්, කටවහක් නැත. උන්දෑ බොහොම නිරෝගීව සිටින්නීය. අප ඒ ගෙට ගොඩවදින විටත් බීජ ලබාගැනීමට රටකජු පොතු අරිමින් සිටියාය. රෝග පීඩාදියක් නැතිව ජීවත් වෙනවාය කියන්න තවත් සාක්කි මොකටද?

එස්.එම්.බී. පුංචි මැණිකා නම් වූ මේ වයෝවෘද්ධ මාතාවගෙන් අද අපි ගමේ ඇත්තන්ගේ රස කතා අසමු.

මගේ උපන් ගම මහව, හිතෝකඩවල මං කුඩා කාලයේදීම මගේ අම්මා මියැදුණා. උන්දෑ මැරෙන කොට මං ළඟ හිටියේ. ඊට පස්සේ තාත්තා වෙන පෙළවහක් (කසාදයක්) කරගත්තා. තාත්තා ඒ ගෙදර බින්න බැස්සා. (බිරිඳගේ ගෙදර පදිංචි වීම) අපේ මාමා කෙනෙක් හිටියා මොරගොල්ලාගම, මාපේගමුව උන්දෑ මාව එහාට එක්ක ගියා. එහේ ඉද්දි ඒ නැන්දත් මියැදුණා. පස්සේ තාත්තා මාව ආපසු හිතෝකඩවල ගමට එක්කන් ආවා.

මං ඉස්කෝලේ ගිහින් නෑ. මළ පොතේ අකුරක් මට බෑ. ගේ දොර වැඩපොළ කරගෙන තමයි මං හිටියේ. හිතෝකඩවල සේනාධීර මාමලාගේ ගෙදර තමයි මං හිටියේ. ඔය අපේ ගමේ ගෙදරක වැඩට ඇවිත් හිටියා ගොබිලෙක්. (ඉලන්දාරියෙක්) මාත් එතකොට දැනමුතු වෙලා (මල්වර) හිටියේ. එයාගේ නැන්දලාගේ ගෙදර තමයි වැඩට ඇවිත් හිටියේ. දවස් දෙක තුනක් මට මුලිච්චි (හමුවීම) වුණා. උන්දෑ මට ඇගෑලුම් (හිතවත්කම්) පාන්ඩ පටන්ගත්තා. මාව පෙළවහට ගන්ඩ ඕන කියලා යෝජනාවක් එයා මට කළා.

ඒ යෝජනාව තාත්තට කළාම උන්දෑත් ඒක තීන්දු කළා. පස්සේ උන්දෑ මාව පෙළවහට එක්ක ආවා. එතකොට මට වයස අවුරුදු පහළොවයි. එයාට අවුරුදු විස්සක් විතර ඇති යි සිය ජීවිත කතාව නම් වූ පන්නමට මුල පුරමින් පුංචි මැණිකා මාතාව දොඩමලු වූවාය.

කොහොමද විවාහ මඟුල ජයටම කෑවාද?මම ඇගෙන් ඇසුවෙමි.

ඒ කාලේ හරි අහේනියනේ. (දරිද්‍රතාව) මෙඋන්දෑ (සැමියා) මාව කැන්දාගෙන යන්ඩ ආපු දවසේ මට අන්දවාගෙන යන්ඩ ගෙනාවේ මෙහේ හිද්දෑව හිටපු ආරච්චි මහත්තයාගේ නෝනාගේ ඇඳුම් පෙට්ටියේ තිබුණු ආරච්චිගේ නෝනා මඟුල් දවසේ ඇන්ද රෙදි මෙහේ කට්ටිය එහාට ආවේ කරත්තයකින්. කරත්තෙට අඹරාවක් (වහළය) තිබුණා. ඒ කරත්තයත් බොහොම අමාරුවෙන් තමයි හොයාගෙන තියෙන්නේ. අපේ නෑදෑයොත් ඒ කරත්තෙම නැඟලා මෙහාට ආවා.

ඒ කාලේ මෙහේ පාරවල් තොටවල් නෑ. පොල්අතු හරි පිදුරු හරි වහපු කටුමැටි ගෙවල් තිබුණේ. ගල්ගමුවට යන්නේ පයින්. හැතැප්ම අටක් විතර දුරයි. අපේ ගමේ (නිනෝගම) ඉඳලා ගල්ලෑවට එළිබහින්න (පිවිසෙන්න) අඩි පාරක් තිබුණා. ඒ අඩි පාරේ ගල්ලෑවට ගිහින් එතැනින් ගල්ගමුවට යනවා.

මෙහාට ආපු දා ඉඳලා හේන්, කුඹුරු එක්ක තමයි ඔට්ටු වුණේ. අපට දරුවන් දහ දෙනෙක් හිටියානේ. තව කුසේදීත් දෙන්නෙක් නැති වුණා. ඉතිං දරුවන්ට කන්ඩ බොන්ඩ, උගන්වන්ඩ හරියට දුක් විඳින්ට සිද්ධ වුණා. පුංචි මැණිකා මාතාව කියවාගෙන යයි. මම අසා සිටියෙමි. 

එක වංගියක් (සැරයක්) මං තනියම කුරහන් සේරු දහයක් වැපුරුවා. ළමයින්ගේ තාත්තා (සැමියා) කැලේ කපලා, ගිනි තියලා දුන්නා. මං කණුමදු මුල් ගලවමින් කුරහන් වැපුරුවා. කුරහන් විතරක් නෙමෙයිනේ හේන්වල වපුරන්නේ මුං, කව්පි, මෙනේරි, උඳු, අබ, එළවළු ඔව්වත් වගා කරවානේ. දවල් දවසේ මං හේනේ වැඩ. දරුවන්ගේ තාත්තා දවල්ට ලී ඉරන්න යනවා. රඍට පැල් රකින්ඩ යනවා.

ඒ කාලේ අපට හරි අහේනිය. ගමේ කොයි කාටත් එහෙම තමයි. මං ඉතිං දවල් දවසේ හේනේ කොටලා හවස ගෙදර ඇවිත් කපාගෙන ආපු කුරහන් ඇගිලි ගහනවා. (කුරක්කන් කරලේ විහිදි ඇති කිනිති ගැලවීම) ඒ කරලා දුමේ දාලා වේලා ගන්නවා. ඊට පස්සේ වනේ (වංගෙඩියේ) දමලා කොටාගෙන පිට්ටු හරි රොටී හරි හදනවා. වට්ටක්කා හරි බටු හරි අප්පල්ලයක් උයලා දරු පැටවුන්ට කන්ඩ දෙනවා.

මෙහෙම කරන්ඩ වුණේ අහේනිය නිසාමයි. නැත්නන් ඉතිං කුරක්කන් කපලා අව්වේ දාලා වේලලානේ ගන්නේ. ඒ කාලේ ගෑනු අපට කිසිම සහනයක් (නිදහසක්) නෑ. හැමදාම හේනේ කුඹුරේ වැඩ. එහෙම නැත්නම් කුලී වැඩට යනවා. මං හැතැපුම් දහය - දොළහේ දුර පයින් ගිහින් තියෙනවා කුලී වැඩට. ඔය මහවැලිය පටන් ගත්තු කාලේ ඒ පළාතේ කුලියට ගොයම් කපන්ඩත් ගිහින් තියෙනවා.

ඒ කාලේ අපට හරක් පට්ටියක්ම හිටියා. හරක් පනහක් විතර ඉන්ඩ ඇති. ඔය නිනෝගම වැව් වානට වෙන්ඩ තමයි අපේ පට්ටිය (හරක් ගාල) තිබ්බේ. දරුවන්ගෙ තාත්තා උදේට කිරි දොවාගෙන එනවා. මං ඒවා උණු කරලා අප්පල්ල (මඳක් විශාල මැටි වළඳක්) තුනකට දාලා කිරි මුදවනවා. මුදවපු කිරි අහලපහළ ඇත්තන්ටත් දෙනවා. ඒ කාලේ කිසිම දෙයක් විකිණීමක් නෑනේ. කිරි උණු කරනකොට ලොඳයක් එනවානේ. ඒ ලොඳ වෙනම අරන් මුට්ටියක දාලා දුන්තෙල් හදනවා. කුරහන් රොටීවල දුන්තෙල් ගාලා තමයි දරුවන්ට කන්ඩ දෙන්නේ. ඒ දුන්තෙල් හරි සුවඳයි.

එදා ගෑනු අපි රෑ තිස්සෙත් වැඩ. බිම්මෝලේ (තරමක විශාල ගල් ලෑල්ලක් පොළොවේ වළලා සකස් කර ගත් ස්ථානයකි.) තමයි වී ටික, කුරහන් ටික කොටා ගන්නේ. බිම් මෝලේ කොටලා වීවල පොතු ඇරලා ආයි වංගෙඩියේ දාලා පාහිනවා. (සිවිඩ්ඩ ඉවත් කිරීම) කුරක්කන් ඇට අඹරන්නෙත් කුරහන් ගලෙන්. මේවා ඉතිං රෑට තමයි කරන්නේ. එදා අපි කරපු වැඩ දැන් ඉන්න එකියන්ඩ කරන්න බෑ.

වංගෙඩියේ හා බිම් මෝලෙන් වී, කුරහන් ඇතුළු ධාන්‍ය වර්ග කෙටීමට එදා තමන් භාවිත කළ කළුවර ලීයෙන් සාදාගත් මෝල් ගස් දෙකක්ද ඇය අපට පෙන්වූවාය. ඒවාහි මැද කොටස ගෙවි ගොස් තිබුණු අතර දෑතේ අල්ලට මැදීම නිසාම එසේ ගෙවී ගොස් ඇති බව ඇය කීවාය.

පුරාණ වැව් ගම්මානවල පැවති ජනසම්මත චාරිත්‍රවාරිත්‍ර, ඇවතුම් පැවතුම්, විශ්වාස, සම්මුති ආදිය පිළිබඳව ද මේ මාතාවගේ මතක‍යේ පවති.

ඒ කාලේ වැව්වල කට්ටි කපන්න මාත් ගියා. ඉඩෝරය අල්ලපුවාම වැව් හිඳෙනවානේ. ඒ කාලයට වැවේ තියෙන රොන් මඩ ඉවත් කරන්න කට්ටි කපනවා. වැව යටතේ එක එක්කෙනාට තියෙන කුඹුරු ප්‍රමාණය අනුව තමයි කොච්චර කොටහක් කට්ටි කපන්න ඕනද කියලා තීරණය කොරන්නේ. විදානේ ඇත්තෝ ඇවිත් ඒ කුඹුරු පංගුවට අනුව කට්ටි කොටස මැනලා දෙනවා.

දරුවන්ගේ තාත්තා කට්ටි කපනවා. මං ඒ පස් කූඩයට දාගෙන වැව් බැම්ම උඩට අදිනවා. ඒ කරලා බැම්මට පස් දානවා. පස් කූඩය ඔළුව උඩ තියාගෙන තමයි වැව් බැම්ම උඩට නගින්නේ. ඔළුවට හුම්මයක් (පිදුරුවලින් හෝ පරණ රෙදි කැබලිවලින් රවුමට සාදා ගත් ආධාරකයක්. හිසට ඇතිවන පීඩනය අඩුකර ගැනීමට යොදා ගැනේ.) තියාගෙන තමයි පස් කූඩය ඔළුව උඩ තියාගන්නේ. කොහොමෙන් හරි කට්ටි කපලා ඉවර වුණාට පස්සේ විදානේ ඇත්තෝ ආයි ඇවිත් මැනලා බාර ගන්නවා.

විදානේ ඇත්තෝ වැවේ, වෙලේ කරන රාජකාරි වෙනුවට අපි උන්දෑට වී පෑලක් හරි දෙපෑලක් හරි සලාරිස් වශයෙන් දෙනවා. (විදානේ කරන සේවයට ගොවීන් විසින් කන්නයකට දෙනු ලබන වී ප්‍රමාණය.)

වැව් හිඳෙන කාලයට වැව්වල මාළු ඇල්ලීමත් ආවට ගියාට කරන්න බෑ. වැවේ වතුර සොරොව් කැටේ කිට්ටුවට වෙනකම් හිඳෙන කොට ගමේ හැමෝටම එන්ඩ කියනවා අහවල් දවසේ මාළු අල්ලනවා කියලා. ඒ පණිවිඩය දෙන්නේ විදානේ.

එදාට ගමේ හැමෝම වැවට එකතුපහදු වෙනවා. වැඩිහිටි පිරිමි, ගැටවරයෝ වැවට බැහැලා කරක් ගෙඩි ගහලා මාළු අල්ලනවා. අල්ලන මාළු වැව් පිටියේ ගොඩ ගහනවා. ඒ කරලා ගමේ හැමෝටම ඒවා බෙදලා දෙනවා. ඊට පස්සේ අණ බෝලය (වැවේ මාළු ඇල්ලීම තහනම් බව දන්වන සංකේතයකි. කොළ අතු මිටියක් රිටක බැද එය වැව තුළ සිටුවීම එහිදී සිදු කෙරේ.) බැන්දට පස්සේ ආයි වැවේ මාළු අල්ලන්න බෑ.

(ලබන සතියට)