2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

පොත් දැක්මේ පෙරළපු පොත්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 341

පොතපතට ලැදි පාඨක ලේඛක සමූහය, ඇඟිලි ගනිමින් සිටින පොත් වසන්තය එළැඹ තිබේ. පසුගිය 15 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24 දා නිමාවට පත් වේ. මෙවර ලක්ෂ 10ක පමණ ජනතාවක් ප්‍රදර්ශනය නරඹනු ඇති බවට ගණනය කර තිබේ. පසුගිය දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අවට මේ නිසාම දැඩි රථවාහන තදබදයක් ද පැවතුණි.

කඩල, මැගි නූඩ්ල්ස් කමින් කොකාකෝලා හෝ නෙස්කැෆේ බොමින් පොත් මළු එල්ලාගෙන එහෙ මෙහෙ යන ජනී ජනයාගෙන් ප්‍රදර්ශන භූමිය පිරීතිරී ගොසිනි. ඒ අතර අත්වැල් පටලාගෙන සෙල්ෆි ඡායාරූප ගැනීමට උනන්දු වන තරුණ පෙම්වතුන්ගෙන් ද හිඟයක් නැත.

අප පොත් ප්‍රදර්ශන භූමියට ගියේ මෙවර වැඩිම පාඨක ආකර්ෂණය දිනූ පොත් හොයාගෙනය.

බොහෝ විට පොත් ප්‍රදර්ශනයේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ කෘතිය සහ එයට නිර්දේශ වූ පොත්වලට ඉහළ ඉල්ලුමක් ලැබේ. මෙවර කවි සහ කෙටිකතාවලට රජත පුස්තක සම්මානය ද ලබාදුන් නිසා එම කෘතිවලට ද ප්‍රදර්ශන භූමියේ ලොකු ප්‍රචාරයක් ලබා දී තිබුණි. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුණේ විදර්ශන ප්‍රකාශනයක් වන නිශ්ශංක විජේමාන්නගේ හඳ පළුව - තනි තරුව නවකතාවටය. අප එහි අලෙවිය කෙසේදැයි විමසීමට විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ හමුවුයෙමු. 

හැම අවුරුද්දෙම ස්වර්ණ පුස්තක හිමිවන කෘතියට ලොකු පාඨක ආකර්ශනයක් ලැබෙනවා. ඒ වගේම මෙවර රාජ්‍ය  සාහිත්‍ය සම්මානය ලැබුණු ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි කීර්ති වැලිසරගේ ගරුඬ මුහුර්තය නවකතාවටත් ඉල්ලුමක් තිබෙන බව පේනවා.

අපේ ප්‍රකාශනවලින් ඉදිරියෙන්ම සිටින්නේ හඳ පළුව - තනි තරුව. සිකුරාදා (22) වන විට එහි පිටපත් 12000 ක් පමණ අලෙවි වේ යැයි බලාපොරොත්තු වෙනවා. විදර්ශන ප්‍රදර්ශන කුටියේ වගේම මෙහි තවත් පොත් ප්‍රදර්ශන කුටි රාශියකින් එම නවකතාව ලබාගෙන අලෙවි කරනවා. එයට අමතරව චූලානන්ද සමරනායක පරිවර්තනය කළ පාවුලෝ  කොය් යෝගේ සන්තියාගෝ නම් සැරිසරන්නා, චූලානන්දම පරිවර්තනය කළ සමුගනිමි ගුල්සාරි, සමන් සේමකොඩි පරිවර්තනය කළ ඩී.එච්. ලෝරන්ස්ගේ චැටර්ලි ආරියාවගේ පෙම්වතා යන පොතුත් විශේෂ පාඨක අවධානයට ලක් වී තිබෙනවා.

විදර්ශන පොත් කුටියට නුදුරින් පිහිටියේ සූරිය ප්‍රකාශන අලෙවි කුටියයි. සූරිය ප්‍රකාශන අධිපති, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපති අතුල ජයකොඩි අපට එහිදී හමු විය. තම පොත් පාඨකයන්ට ලබාදෙමින් සිටි ඔහු ඉන් මඳකට ඉසිඹුලමින් අපට කන් දුන්නේය.

සූරිය ප්‍රකාශනවලින් වැඩිපුරම අලෙවි වන්නේ ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණි කත්‍යානා අමරසිංහගේ වණ්ණදාසි නවකතාව. එහි පිටපත් 6000 ක් ප්‍රදර්ශනය වෙනුවෙන් මුද්‍රණය කළා. එය මදිවන බවක් හැඟුණු නිසා තවත් පොත් 2000 ක් මුද්‍රණයට බාර දුන්නා. මේ පිටපත් සියල්ලම ප්‍රදර්ශනය නිමවන විට අලෙවි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. එයට අමතරව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ (පරිවර්තන) ආනන්ද අමරසිරිගේ නොමේරූ තරුණයා, දෙවියන්ගේ අඩවිය පොතට මුල් වූ තාත්තා කියන කතාව වන දුව නැතිව මං (අනුලද සිල්වාගේ පරිවර්තනය), පද්මා ගුණසේකර පරිවර්තනය කළ හාවුන්ට බැඳි වැට යන පරිවර්තන පොත්වලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. රූපා ශ්‍රියානි බස්නායකගේ ස්වර්ණ පුස්තක දිනූ සිටුවර පුවත පොතටත් තවමත් ඉල්ලුමක් තිබෙන බව පේනවා.

අප රටේ තවත් ප්‍රමුඛ පොත් ප්‍රකාශන ආයතනයක් වන දයාවංශ ජයකොඩි සමාගමේ පොත් ප්‍රදර්ශන කුටියට අපි ඊළඟට ගියෙමු. අප යන විට එහි කුමාර සිරිවර්ධනගේ පුනර්භව ගවේෂණ පරිවර්තන කෘතිය එළිදැක්වෙන අවස්ථාව පැවතුණි. අප සමඟ අදහස් දැක්වූ දයාවංශ ජයකොඩි.

මේ පාර සෙනඟ වැඩි බවක් පේනවා. විශාල පිරිසක් පොත් මිල දී ගැනීමට එනවා. අපේ ප්‍රකාශනවලින් වැඩිම අලෙවියක් තිබෙන්නේ ජයකොඩි සෙනෙවිරත්නගේ අලුත්ම නවකතාව වන අක්වැල්ල පොතයි. එහි පිටපත් 2000 ක් පහසුවෙන් අලෙවි කර ගැනීමට ලැබේවි. ප්‍රේමකීර්ති රණතුංගගේ අවසාන නින්දගම, කුමාර සිරිවර්ධනගේ පුනර්භව ගවේෂණ, දමයන්ති ජයකොඩි ලියූ අසිරිමත් සිංහ නාදය පොත්වලටත් සෑහෙන ඉල්ලුමක් තිබෙනවා.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති සහ පහන් ප්‍රකාශන අධිපති සමන්ත ඉන්දීවර අපට හමුවූයේ ප්‍රදර්ශන භූමියේ සැරිසරන අතරතුරදීය. මේ ඔහුගේ අදහසය. මේ පාර වැඩිපුර සෙනඟ එන බව පේනවා. නමුත් සෙනඟ අතේ වියදම් කිරීමට මුදල් නැති බව පේනවා. මේ නිසා පොත් මිල දී ගැනීමට අත දිගහැර වියදම් කිරීමට අපහසු බවයි දකින්න ලැබෙන්නේ. අපි ප්‍රකාශයට පත් කළ පොත්වලින් නම් ඩීමන් ආනන්දගේ පැරැණි පොත් නව මුද්‍රණයන්ට ලොකු ඉල්ලුමක් තිබෙනවා.

පොත් ප්‍රදර්ශනයේ ඉල්ලුමක් ඇත්තේ නිර්මාණ සාහිත්‍යයට පමණක් නොවේ. ස්වර්ණ පුස්තක ජයගත් පොත් නාමපුවරු අසල සිට අයිස්ක්‍රීම් කමින් සිරුර සිසිල් කර ගැනීමට උත්සාහ කරන විශාල පිරිසක් ද අපි දුටුවෙමු. ඒ අතර පාසල් අභ්‍යාස පොත් ප්‍රදර්ශන කුටිවල ද සෙනඟ පොරකකා පොත් මිල දී ගන්නා අයුරු දුටුවෙමි. මේ ජන ගංඟාව අතරින් ඇදී ගොස් අප නැවතුණේ පොත් දැක්මේ කැපීපෙනෙන ප්‍රදර්ශන කුටියක් වන සරසවි ප්‍රකාශන කුටිපෙළෙහිය. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ගරුඬ මුහුර්තය සහ රජත පුස්තක කාව්‍ය සම්මානය හිමි වූ සමහර කමටහන් සහ ආජ්‍ය සාහිත්‍ය කෙටිකතා සම්මානය ලැබූ මකර තොරණ සරසවි ප්‍රකාශන වේ. සරසවි ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

සරසවි ප්‍රකාශන අතරින් වැඩිම පාඨක ආකර්ෂණයක් තිබෙන්නේ චතුරිකා සිරිසේන ලියූ ජනාධිපති තාත්තා කෘතියට. එහි ඉල්ලුමට හේතුව වත්මන් ජනාධිපතිවරයා ගැන ආකර්ශනීය නවකතාවක් අයුරින් ලියා තිබීමයි. මේ නිසා එම පොතට පාඨකයන්ගේ ඉල්ලුම වැඩියි. පොත් ප්‍රදර්ශනයේ දී එහි පිටපත් 7000 ක් පමණ අලෙවි වේ යැයි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සම්මාන දිනූ කීර්ති වැලිසරගේ ගරුඬ මුහුර්තය නවකතාව, ලක්ශාන්ත අතුකෝරළයේ සමහර කමටහන් කවිපොත, ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටි කතා පොත සහ ශමෙල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා පොතටත් ලොකු ඉල්ලුමක් තිබෙනවා.

ගියවර පොත් ප්‍රදර්ශනයේ පාඨක ආකර්ෂණය හිමිකරගත් කෘතිය වූයේ මේජර් කමල් ගුණරත්න ලියූ රණබිම ඔස්සේ නන්දිකඩාල් පොතය. මෙවර එය ජනාධිපති තාත්තා විසින් අත්පත් කරගෙන තිබෙන බව පෙනේ.

අපි ඊළඟට කතා කළේ ෆාස්ට් පබ්ලිෂිං අධිපති ප්‍රේම් දිසානායකටය. මෙවර නවකතා සඳහා ගොඩගේ සම්මානය හිමි වූයේ ෆාස්ට් ප්‍රකාශනයක් වන පී.බී. ජයසේකරගේ ඉක්බිති ඔහු මරාපීහ පොතටයි.

පී.බී. ජයසේකරගේ පොතට ගොඩගේ සම්මානයෙන් පසු ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඊට අමතරව අපේ පරිවර්තන පොත්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ අතරින් ඉදිරියෙන්ම තිබෙන්නේ දිලීප ජයකොඩි, පරිවර්තනය කළ යස්ස ලමිස්සී පොතයි. ඒ වගේම දිලීපම පරිවර්තනය කළ අහා හැඩයි මේ රෑ සහ චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ සඛී භාර්යා පොතටත් ලොකු ඉල්ලුමක් තිබෙනවා. ප්‍රේම සැඳෑවෝ 4 කෘතියත් බොහෝ දෙනා ඉල්ලූ පොතක්. ඒ වගේම වසර 10 ක් පැරැණි කාන්තාරයේ කුසුම පොතත් වැඩිපුර විකිණෙන පොත් අතර තිබෙනවා. මේ පොත්වල රසවත් බව හා සරල භාෂා ශෛලිය පාඨකයන් ඒවාට වැඩිපුර කැමැති වීමට හේතුවයි.

සුමිත්‍රා ප්‍රකාශන අධිපති සුමිත්‍රා රාහුබද්ධ ලේඛිකාවද සිය ප්‍රදර්ශන කවියේදි අපට හමුවූවාය. ඇය පැවසුවේ ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘති අතර තිබූ සිය සිය පත් සිය නවකතාවේ පිටපත් 8000ක් මුද්‍රණය කළ අතර එය අලෙවි වනු ඇතැයි සිතන බවයි. 

පොත් ප්‍රදර්ශන භූමියේ පිහිටි කවිපොත් සල්පිල තරුණ පෙළ අතර ජනප්‍රිය ස්ථානයකි. කවි පොත්වල අලෙවිය අඩුයයි කියන කතාවට අභියෝග කරන කවි පොත් සල්පිලේ දී අපට හමුවූයේ එහි සංවිධාන ශක්තිය කරට ගෙන සිටින කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයි.

මේ පාර කවි පොත් අතරින් වැඩිපුරම අලෙවි වන්නේ ලක්ශාන්තගේ සමහර කමටහන්. ඒකට සම්මාන තුනක් ලැබීමත් ඊට හේතුවක්. රජත පුස්තක, රාජ්‍ය සාහිත්‍ය හා ගොඩගේ සම්මාන. මේ පොත සොයාගෙන පාඨකයන් විශාල පිරිසක් එනවා. රත්නශ්‍රීගේ සුබ උදෑසන සහ වස්සානේ යන පොත්වලටත්, පරාක්‍රම කොඩිතුවක්කුගේ මම වහිනවා අලුත් කවි පොතටත් ඉල්ලුමක් තිබෙනවා. මේ අතර පැරැණි කවි පොතක් වන කේයස්ගේ සුදෝ සුදු පොතට තවමත් ලොකු ඉල්ලුමක් තිබෙනවා.

 කුසුම්සිරි
සේයාරූ | සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00