2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

මෝටර් සයිකල් හා ත්‍රිරෝද දැන් මරුවා සමඟ වාසේ

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 473

බිම්බික පේරාදෙණිය ප්‍රදේශයේ විසූ සිය පවුලේ මෙන්ම යාළු මිත්‍රයන් අතර ද ජනප්‍රිය තරුණයෙකි. ඔහුට ෆේස්බුක් යාළුවෝ රැසක් ද සිටියෝය. බිම්බිකගේ සිහිනය වූයේ මෝටර් බයිසිකලයකි. ඔහු ඒ ගැන ෆේස්බුක්හි විවිධ සටහන් පළ කළේය.

“හොඳ බයික් එකක් අරන්

ගම වටේ රවුමක් දාන්න
පොඩි වීල් පාරක් ගහන්න
ආසාවක් නැත්නම්
ඔහු කොල්ලෙක් නොවෙයි”

බිම්බික සිය මූණු පොතේ ලිව්වේය. ඇත්තටම ඔහු සිය සිහිනය සැබෑකර ගත්තේය. එහෙත් ඔහුට ජීවිත සිහිනයෙන් මිදී ඥාති හිතමිතුරන්ගෙන් සමුගෙන යාමට සිදුවිය. මාරක මෝටර් බයිසිකල් අනතුරකින් මොළයට දරුණු ලෙස හානි වී ඔහු ජීවිතයෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකාවේ රථවාහන අනතුරු නිසා සිදුවන මරණ ගැන ඇසුවොත් ඕනෑම අයකු කම්පාවට පත්වනු ඇත. 2017 වසරේ ජනවාරි 01 සිට ජුලි 31 දක්වා රට තුළ යතුරුපැදි මාරක අනතුරු 586 ක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 768 දෙනකු මරණයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි. 2016 වර්ෂයේ යතුරැපැදි මාරක අනතුරු 1178 ක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1227 කි.

“අපි මාර්ග අනතුරු ගැන සමීක්ෂණයක් කළා. එහිදී අපට හෙළිදරව් වුණේ යතුරුපැදි අනතුරු ඉහළ සංඛ්‍යාවක් පවතින බවයි. යතුරුපැදි මරණවලින් 30% ක් පමණ සිදුවන්නේ බාල හෙල්මට් නිසයි. ඒ නිසාම අපි හෙල්මට් එකට ප්‍රමිතියක් හඳුන්වා දුන්නා. SLS මට්ටමට ගෙනාවා. ලබන ජනවාරි වන විට SLS ප්‍රමිතිය සහිත හෙල්මට් වෙළෙඳපොළේ සුලබව ලබාගත හැකි වේවි. මේ වන විට අපි නිෂ්පාදන ආයතන ඒ ගැන දැනුවත් කරලා තිබෙනවා. මේ නිසා යතුරුපැදිවලින් සිදුවන අනතුරු මරණ 125 ක් පමණ අඩුකර ගැනීමට හැකිවේවි.” 

අපට එලෙස අදහස් දැක්වූයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාය.
යතුරුපැදි මාර්ග අනතුරුවලට එක් හේතුවෙක් පමණි. විවෘත ආර්ථිකයේ මහිමයෙන් මෙරටට 80 දශකයේ බහුලව රීකන්ඩිෂන් මෝටර් බයිසිකල් ජපානයෙන් ගෙන්වූ අතර ඒවායින් වන අනතුරු ද බහුල විය. මේ නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට හොන්ඩා වාට්ටුව යැයි පටබැඳි නමක් ද වැටුණි.

“අපි පසුගිය දවසක දැක්කා හදිසි අනතුරක දී යතුරුපැදිය දෙකට වැඩිලා තිබෙනවා. අපි සොයාගෙන යනවා යතුරුපැදියේ චැසිය එලෙස කැඩෙන්නේ කොහොමද කියලා. ගෙන්වන සමහර යතුරුපැදිවල ටයර් එක හීනියි. උසයි. ඒකෙ සමබරතාවය අඩුයි. දෙපස තිබෙන පැති කණ්නාඩිවලින් හරියට පිටුපස බැලීමත් අපහසුයි. අපි බලනවා යතුරුපැදි අනතුරුවලට හේතුවන තාක්ෂණික අඩුපාඩු මොනවද කියලා. ඒ දුර්වලකම් අඩු කිරීමට යනවා.” වෛද්‍ය කෝදාගොඩ පැවසුවේය.

මේ අනතුරු වළක්වා ගැනීමේ එක් පියවරක් ලෙස මෝටර් බයිසිකල් පදවන්නන් දැනුවත් කිරීමට ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එම ආයතනයේ මෙහෙවර වශයෙන් සඳහන් වන්නේ මාර්ග අනතුරුවලින් තොර සමාජයක් බිහි කිරීමය. රාජ්‍ය අංශවල යතුරුපැදි භාවිත කරන්නන් දිස්ත්‍රික් මට්ටමින් ගෙන්වාගෙන යතුරුපැදි භාවිතය මෙන්ම මනස සකස් කිරීම ද දැනුම්වත් කිරීම් වැඩසටහන්වලදී සිදු කෙරේ. පසුගිය කාලයේ ෆුල්ෆේස් හෙල්මට් තහනම නිසා යතුරුපැදිකරුවන් අතර නොසන්සුන්තාවයක් ඇති විය. “මේකට වෛද්‍යමය පැත්තෙන් කියන්නේ ෆුල්ෆේස් නොවේ. නිකට ආරක්ෂණ (Chin Guard)  කියලා. අපි SLS ප්‍රමිතිය හඳුන්වා දීලා එම ගැටලුවත් විසඳුවා. ලංකාවට ගොඩක් ගෙන්නුවේ රු. 300 – 400කට ගත හැකි ප්‍රමිතියක් නැති හෙල්මට්. අනතුරක දී ඒවා පුපුරලා යනවා. ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ කාර්යය පාරිභෝගික අධිකාරිය පටන් අරන් තිබෙනවා.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2010 – 2020 මාර්ග අනතුරු අවම කිරීමේ දශකය වශයෙන් නම් කර තිබේ. ශ්‍රී ලංකාව ද එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකි. ඒ අතරම ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත්තේ 2020 වන විට මාර්ග අනතුරු 50% කින් අඩුකරගත යුතු බවයි. ඒ සඳහා රාජ්‍ය ආයතන ක්‍රියාකාරී වූවාට විසඳුම් නොලැබේ. රථවාහන පදවන්නන් ද සැලකිලිමත් වීම අවශ්‍ය වේ.

“තරුණ ජවයට අපි වේගයෙන් යනවා. ඒ නිසානෙ අද ඇඳට සීමා වී ඉන්න වෙලා තියෙන්නෙ. පරිස්සමින් යන්න කියලා තමයි කියන්න තියෙන්නෙ.” රෝහල්ගතව ප්‍රතිකාර ලබන යතුරුපැදිකරුවෙක්ගේ අදහසය, ඒ.

මාර්ග සලකුණු සෑම මහා මාර්ගයකම පාහේ ලුමිනස් වර්ණයෙන් සවි කර තිබේ. ඒ සඳහා රජය විශාල වියදමක් ද දරයි. ඒ අතරම තවත් විශාල පිරිවැයක් දරා කහ ඉරි සුදු කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය. එහෙත් සෑම දිනකම රූපවාහිනිය මෙන්ම පුවත්පත්වලද මාරක රිය අනතුරු ගැන ප්‍රවෘත්ති වලින් අඩුවක් නැත.

“ත්‍රීවිල් දෙකම හැපිලා දෙකම පෙරළුණා. මාව එක ත්‍රීවිල් එකකට යටවුණා. දෙන්නෙක් මැරුණා. ත්‍රීවිල් කොහොමත් අස්සෙන් රිංගලා යන්නනෙ බලන්නෙ. ත්‍රීවිල්වල යන එකත් භයානකයි ඇත්තටම. එලෙස පැවසුවේ මාරක අනතුරකින් තුවාල ලැබූ කාන්තාවකි.

අද මහා මාර්ගයේ ත්‍රිරෝද රථ යන්නේ මහපාර ඔවුන්ටම උරුම බව පෙන්වමිනි. බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන්ට මාර්ග නීති නැත. මේ නිසා අනෙක් රථවාහනවලට ද ත්‍රිරෝද රථ හිරිහැරයක් වී ඇති බව පෙනේ. පසුගිය ජූලි දක්වා ත්‍රිරෝද රථවලින් සිදු වූ මාරක අනතුරු ප්‍රමාණය 223 කි. ඉන් මියගිය ගණන 241 කි.

ත්‍රිරෝද රථ අනතුරුවලට බලපාන කරුණක් තමයි වේගයෙන් ගොස් එකතැන හැරවීම නිසා රථය පෙරළීම. එලෙස හැරවීමට පහසු වීමට සුක්කානම සමඟ තිබෙන ලොක් එක රියැදුරන් කඩා දමනවා. ඒ නිසා ලංකාවට ත්‍රීවිල් ගේන සමාගම් හතරටම උපදෙස් දී තිබෙනවා මෙම ලොක් එක කැඩීමට නොහැකි ලෙස මුද්‍රා තබා එවන ලෙස. සුක්කානම වටේ කැරකවීමට නොහැකි ලෙස තරමක් දික් කර තිබෙනවා. ඒ සමඟම ආසන බඳ පටියක් ද ත්‍රීවිල්වලට ඉදිරියේ දී සවි කරනවා. මේ නිසා විසිවීම නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් අඩු වෙනවා.”

ත්‍රිරෝද රථ රියැදුරන්ට සුදු කමිසය සහ කළු කලිසම සහිත නිල ඇඳුමක් ද හඳුන්වා දී තිබේ. එය ඉදිරියේ දී ව්‍යාප්ත කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව බලාපොරොත්තු වේ.

අපේ රියැදුරන් පුහුණු වන්නේ රියැදුරු පුහුණු පාසල් වලිනි. ශ්‍රී ලංගම ඩිපෝ සතුව මෙවැනි පුහුණු පාසල් තිබුණත් බහුතරයක් පෞද්ගලික ආයතනය. එහෙත් ඒවායින් රියැදුරු පුහුණුව ලබන වැඩි පිරිසකට මූලික මාර්ග සංඥා ගැන නිසි දැනුමක්වත් නැත. සමහරුන්ට මාර්ග බලපත්‍රය ලැබුණත් රථයක් පැදවීමට නොහැකිය. මේ නිසා රියැදුරු පුහුණු පාසල් විධිමත්ව සැකසීමට ද පාසල් සිසුන්ට මාර්ග සංඥා පිළිබඳ දැනුමක් ලබාදීමට ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කරමින් පවතී.

රියැදුරු බලපත්‍රය නමට ලබාගත්තාට වැඩක් නැත. රියැදුරු විනයක් ද පැවතිය යුතුය. සමහර පෞද්ගලික බස් රියැදුරන් බස් රථ ධාවනය කරන අතරම කුණුහරුපයෙන් බැණගන්නා අන්දම අපි දකිමු. ඔවුන්ට ජීවිත රැසක් තම දෑතේ තිබෙන වගට හාංකවිසියක්වත් නැත. මේ නිසා රියැදුරෝ මඟමරුවන් වී සිටිති. යතුරුපැදිකරුවන් සිතන්නේ පදික වේදිකාව පවා තම භුක්තියට සවි වී ඇති බවය. යතුරුපැදිවලින් සිදුවන අනතුරුවලින් 90%කට හේතු වී ඇත්තේ ඔවුන්ගේ නොසැලකිල්ලය.

2016 වර්ෂයේ සිදු වූ මාරක රිය අනතුරු ප්‍රමාණය 38952 කි. ඉන් පුද්ගලයන් 2961 ක් මියගිය අතර 8518 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. කොළඹ අවට මහා මාර්ග, කොළඹ හලාවත අනුරාධපුර මාර්ගය, නුවර පාරේ නිට්ටඹුව හා වරකාපොළ අතර දකුණේ හම්බන්තොට මාර්ග අනතුරු බහුලවම සිදුවන ප්‍රදේශ වේ.

අශ්ව කරත්ත යුගයෙන් මෝටර් රථ යුගයට එළැඹුණු පසු මාර්ග අනතුරු ලෝකයේ ප්‍රධාන අවදානමක් බවට පත්විය. හිත්පිත් නැති එන්ජිමක් මගින් ක්‍රියාත්මක වන නූතන රථවාහනවල ආරක්ෂිත උපාංග රාශියක් ක්‍රියාත්මක වුණ ද රියදුරන්ගේ නොහික්මීම නිසා අනතුරු බහුල වී ඇත. ලෝකයේ දිනකට 3000ක් රථවාහන අනතුරු නිසා ජීවිත අහිමි කර ගනී. ආබාධිත වන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 40කි. එය අවම කරගැනීමට ලොව සෑම රටක්ම පාහේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ කනගාටුදායක තත්ත්වය නම් මාර්ග අනතුරු නිසා මියයන සංඛ්‍යාව 70%ක් පමණ අඩු ආදායම් ලබන අය වීමය. මෙලෙස සැපෙන්නන් මියගිය පසු එම පවුල්වලට විශාල සමාජ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. එම පවුල්වල ආර්ථික මට්ටම මෙන්ම මානසික මට්ටම ද නගාසිටුවීම අවශ්‍ය වේ. දැනට මාර්ග අනතුරකින් මරණයට පත්වූ අයකු වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව රුපියල් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන අතර බරපතළ තුවාල ලත් අයකුට රුපියල් ලක්ෂයක වන්දියක් පිරිනමයි.

ඔබත් සැලකිල්ලෙන් රිය පදවන්න. ඒ වගේම සැලකිල්ලෙන් මහ පාරේ පයින් යන්න.

(8 වැනි පිටුවට)
I කුසුම්සිරි විජයවර්ධන

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00