2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඔට්ටු පොළේදී පරදින ක්‍රිකට් තරග

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 329

ශ්‍රී ලංකා ක්‍රිකට්, පෙට්ටියකට දමා අන්තිම ඇණයද දෑත බදා ගැසූ බව විචාරකයන් මෙන්ම ක්‍රිකට්වලට ඇල්ම දක්වන ප්‍රේක්ෂකයන් මේ දවස්වල කියන්නා වූ දෙයකි. ජයග්‍රහණයක් වෙනුවට එන්න එන්නටම දරුණු පරාජයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙස ගමේ පොල්වත්තේ ක්‍රිකට් ගසන කොල්ලේ කුරුට්ටන් දෙස බලනා ආකාරයෙන් බැලීමත් ප්‍රේක්ෂකයන් මේ වනවිට අත්හැර දමා ඇත. මේ නිසාම ප්‍රේක්ෂකයන් අවසානයේ සිය වේදනාව, කෝපය වතුර බෝතල්වලින් පිටකිරීම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පහතට වැටුණි.

එක දිගට ලබන අන්ත පරාජයට ක්‍රිකට් කණ්ඩායමට වඩා විචාරකයන්ගේ චෝදනා එල්ල වී ඇත්තේ ක්‍රිකට් ආයතනය වෙතය. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතරම් පහළට වැටුණු බව ඔවුහු චෝදනා කරති. එහෙත් එම චෝදනාවලට පිළිතුරු සපයමින් නිලධාරීන් පවසන්නේ ඔවුන් නැතිනම් ක්‍රිකට් නැතිවන බවය. එහෙත් ඔවුන්ටද නොදැනෙන යථාර්ථය නම් දැනටමත් ක්‍රිකට් ලංකාව තුළ වඳවී යන ක්‍රීඩාවක් බවට පත්ව ඇත යන්නය.
පරිපාලනය එසේ හතරවරම් කියවන විට, ප්‍රේක්ෂකයා අනාථ වී සිටින විට, ක්‍රිකට් කණ්ඩායම අන්ත අසරණ වී ඇපත් නැති තත්ත්වයකට පත්ව සිටින විට තවත් පිරිසක් සව්දිය පුරමින් මීවිත තොළගාමින් මේ පරාජය දෙස බලා සතුටු වෙති. ජයග්‍රහණය වෙනුවට පරාජයම අපේක්ෂා කරන ඔවුහු දැනටමත් මේ දරුණු පරාජය හරහා කෝටි ගණනින් උපයාගෙන සිටිති.

ඒ වෙනත් කවුරුත් නොව මහා පරිමාණ බුකී කරුවන්ය. මේ බුකී කරැවන්ගේ කෙරැවාව නිසා අද වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවකට වඩා සූදුවක් බවට පත්ව ඇත. මේ කියන්නට යන්නේ ක්‍රීඩාව සූදුවක් කරගනිමින් අදටත් බය නැතුව සල්ලි ගරණ බුකීකරුවන් ගැනය.

 බුකි කරුවන්ගේ කෙරුවාව නිසා අද වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවකට වඩා සූදුවක් 

මෙරට තුළ රේස් බුකී පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ පරම්පරා දෙකක් ඇත. ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ග වී ඇත්තේ තිරිසනුන් සමඟ සිදුකරන මේ ක්‍රීඩාවය. එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ දුවන අශ්වයන් රූපවාහිනී මාර්ගයෙන් මෙරට පෙන්වා එම සතුන්ට ඔට්ටු අල්ලා ගාණ සොයා ගැනීම මොවුන්ගේ ආදායම වී ඇත. එසේම ඔවුන්ට නගා සිටුවීම සඳහා දිනපතා ගොස් ඔට්ටු අල්ලන්නෝද බොහෝ වෙති. කෙසේ වෙතත් මේ සියලු දේ කළ හැක්කේ තුරඟ තරග සඳහා පමණි. ඔවුන්ට නීතිමය අවසරය ලැබී ඇත්තේද ඒ සඳහා පමණකි.

එහෙත් ඔවුහු එම නීතිමය අවසරයෙන් රිංගා යමින් අද වනවිට තිරිසනුන් මෙන් පුද්ගලයන්ටද ඔට්ටු ඇල්ලීම දක්වා ඉදිරියට ගොස් සිටිති. ඒ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවය. එයට හේතු වී ඇත්තේ මෙරට තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශාල ප්‍රේක්ෂකයන් රැසක් සිටීමය. මේ නිසා ඔවුන්ගේ සූදුවට ඉතා රහසිගතව නීතියට පිටින් ගොස් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරගෙන ඇත්තේ කෝටි ගණනින් මුදල් රැස් කිරීම් අරමුණු ඇතිවය.

ඒ අනුව ඔවුන් මෙරට පමණක් නොව පිටරට පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගද යොදාගෙන ඇත. එසේ යොදාගන්නා තරගවලින් ඔට්ටු ඇල්ලීම සඳහා වර්ග කිරීම් 14ක් 16ක් යටතේ සූදුව සකසා ඇත. දිනන කණ්ඩායම, වැඩිම ලකුණු ගන්නා ක්‍රීඩකයා, වැඩිම කඩුලු ගන්නා ක්‍රීඩකයා, වැඩිම ලකුණු අතර සිටින ක්‍රීඩකයා වශයෙන් වර්ග කිහිපයක් යටතේ මෙම ඔට්ටු ඇල්ලීම සිදුකෙරේ.

උදාහරණය ලෙස වැඩිම ලකුණු ලබාගන්නේ කවුද යන්න ඔට්ටුව දැමූ විට ක්‍රීඩකයන් දෙදෙනකුගේ නම් සඳහන් කර ඔවුන් දෙදෙනාගෙන් වැඩිම ලකුණු ලබාගන්නා පුද්ගලයාට ඔට්ටු ඇල්ලීමට අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන් මෙහිදී එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔට්ටුව සඳහා යොදවා ගනී. මේ ආකාරයේ වැඩිම කඩුලු සංඛ්‍යාව සම්බන්ධද ඔට්ටු අල්ලනු ලබයි.

මේ අනුව මෙම ඔට්ටු ඇල්ලීම සාමාන්‍යයෙන් තරගයකට පෙර දිනයේ සිට ආරම්භ වේ. ඔට්ටු දැමීම අවසන් වන්නේ තරගය ආරම්භ කිරීමට පැය දෙකකට පමණ පෙරය. ඒ වනවිටත් ලංකාවේ සතර දිග්බාගයෙන් වැටෙන ඔට්ටු ප්‍රමාණය බුකී හිමිකරුවන් විසින් දැනගෙන අවසන්ය. අවශ්‍ය නම් බුකී හිමිකරුවා බලවත් අයකු නම් එම ඔට්ටුව සම්පූර්ණයෙන් තරගයක් වෙනස් කිරීමේ හැකියාවක් ද ඇත. එහෙත් එවැනි දෙයක් සිදුවී ඇති බව අදටත් හෙළි වී නැත.

කෙසේ වෙතත් මෙම ක්‍රමය 2004 වර්ෂයේ සිට ආරම්භ වී තිබේ. එය මෙරට සූදු පනතට අනුව සම්පූර්ණයෙන් නීති විරෝධීව සිදුවන දෙයකි. ඒ බව දැන දැනත් බුකීකරුවන් නීතිය තඹයකට මායිම් නොකර ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙනම පුවත්පතක් පවා මුද්‍රණය කොට බුකිය තුළ විකුණනු ලබයි. ඇතැම් බුකීකරුවන්ගෙන් රුපියල් විස්සකටත්, තවත් අයගෙන් නොමිලේත් මෙම පුවත්පත ලැබේ. එසේ ලබාදෙනු ලබන්නේ එළිපිටය.

 මේක පොලිසියට නවත්තන්න පුළුවන්. ඒත් පොලිසිය තවමත් ක්‍රියාත්මක වෙලා නෑ 

කෙසේ වෙතත් මෙම තත්ත්වය තව තවත් පුළුල් කරමින් VIP ක්‍රමවේදයකුත් බුකීකරුවන් විසින් සකසන්නේ තව තවත් ඔට්ටුකරුවන් සිය ජාවාරම වෙත ඇදගැනීම සඳහාය. ඒ අනුව VIP පැකේජය රුපියල් 3000ක පමණ වන බව සඳහන් වේ. රුපියල් තුන්දහසක් ලබාදී ඊට ඇතුළු විය හැකි අතර ඒ සඳහා රුපියල් 500ක වටිනාකමින් යුත් ටෝකන් 06ක් බුකියේ කළමනාකරු විසින් නිකුත් කරනු ලබයි. එම ටෝකන් 06 රැගෙන ඇතුළු වූ පසු වෙනම කලාපයක් VIP අය වෙනුවෙන් වෙන්කර ඇති අතර එහිදී ඔවුන්ට විස්කි වීදුරු තුනක් සහ කටගැස්මද ලබාදෙන්නේ සිත් ඇදගන්නා ලෙසිනි. එම විස්කි වීදුරු වලින් සප්පායම් වෙමින් කැමති ආකාරයකින් ඔට්ටු ඇල්ලීමට අවස්ථාව ලබාදී ඇත. මේ නිසා අද වනවිට රේස් බුකි තුළට වයෝවෘද්ධ පුද්ගලයන් පමණක් නොව තරුණයන්ද ඇතුළුවීමට පටන්ගෙන තිබේ.

කෙසේ වෙතත් ලංකාවේ නීතිය අනුව මෙරට ඔට්ටු ඇල්ලිය හැක්කේ තුරඟ තරග සඳහා පමණි. එම තරගද එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පමණක් පවත්වන ඒවාය. එහෙත් අද වනවිට එය අනෙකුත් රටවල්වල පැවැත්වෙන තුරඟ තරගවලට පවා ඔට්ටු අල්ලන තත්ත්වයට පත්වනු ඇත. එපමණක් නොව සුනඛ රේස්, පාපන්දු, බොක්සිං, සයිකල් රේස්, රූප රැජිනි තරගවලට පවා මෙම බුකීකරුවන් විසින් ඔට්ටු ඇල්ලීමේ තැනට පත්ව ඇත.

කෙසේ වෙතත් මෙය නීතියෙන් තහනම්ව තිබියදීත් පොලීසිය එය දැන දැන නිශ්ශබ්දව සිටීම එක් පැත්තකින් විශ්වාස කළ නොහැකිය. තවත් පැත්තකින් පොලිසියේ නීතිය නැවිල්ල ගැන තක්සේරු කළ හැක. අවසරයක් නොමැතිවත් ඇතැම් අවස්ථාවල නිවෙස්වලට පනින පොලිසියට මේ සාක්ෂි තිබියදීත් මඟහැර සිටීම කාගේ උවමනාවක් නිසා සිදුවන්නේදැයි සැකයක් මතුවීම සාධාරණය.

පොලිසියට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔට්ටු අල්ලන්නේ නම් ඒ ගැන සෙවීමට ක්‍රිකට් ආයතනයේද විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ. එහෙත් එම ඒකකයට තවමත් මේ ගැන වාර්තා වී නැති අතර ඔවුන් ඉන්නේ මරනින්දේය. ඇතැම් විට ඔවුන් නිදාගෙන සිටින්නේ ඉහළින් පැමිණි නියෝග නිසාද යන්නත් සැකයක් ඇත. එසේ නම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේද යන්න අපට පමණක් නොව රටේ ජනතාවටද ඇති සැකයකි. එහෙත් ඒවාට කවුරුවත් පිළිතුරු ලබාදෙන්නේ නැත.

කෙසේ වෙතත් ඇතැම් පවුල්වල දේපළක්ව ඇති බුකී ව්‍යාපාරය ප්‍රේක්ෂකයන් පමණක් නොව විචාරකයන් පවා චෝදනා කරන්නේ අද ක්‍රීඩාව සූදුවට පමණක් යොමුකර ඇති බවය. එසේම විචාරකයන් පෙන්වා දෙන්නේ එලෙස පවුලේ අයකුට හෝ සූදු ව්‍යාපාරයක් ඇත්නම් ඔවුන්ට ක්‍රිකට් ආයතනයේ තනතුරැ දැරිය නොහැකි බවය. එහෙත් කරැමය නම් පවුලේ අයට එම ව්‍යාපාර පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවද තිබුණත් ප්‍රශ්න කිරීමක් නැත.

දැනටමත් අන්ත පරාජය හමුවේ මුළු ලොවම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙස බලා සිටින්නේ ඉතාමත් කලකිරුණු ස්වභාවයෙනි. එවන් මොහොතක එළිපිට ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට දැමූ පසු ජාත්‍යන්තරය තව තවත් ලංකාව සම්බන්ධයෙන් සැකයකින් යුතුව බලනු ඇත. එයට හේතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවක් සූදුවටත් සම්බන්ධ අයගේ සබඳතා නිසාය.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට පෙර නරක නාමය පැමිණිය හැකි මෙම සූදුව ප්‍රථමයෙන් නවතා දැමිය යුතුය. එසේ නවතා දමා ක්‍රීඩාවක් සූදුවත් අතර සබඳතාවය බිඳ හෙළිය යුතුය. එසේ නොකරන තෙක් සැමදා ප්‍රේක්ෂකයා සිටින්නේ කණ්ඩායම දෙස සැකයෙනි. ඒ සැකය කෙසේ පිටකරනවාද යන්න අප දන්නේ නැත. කළ යුත්තේ වහාම මේ සූදුව තුළින් ක්‍රීඩාව බේරාගැනීම පමණි.

♦ ගයාන් ගාල්ලගේ

නීති විරෝධී වැඩක්

ලංකාවේ නීතියෙන් අවසරය දීලා තියෙන්නේ තුරඟ තරගවලට පමණයි. එකක් දීලා තියෙන්නේ සජීවීව විකාශය වන තුරඟ තරගවලට ඔට්ටු අල්ලන්න. ඒත් මේ බුකි ව්‍යාපාරිකයින් ඒ නීති තඹයකට මායිම් කරන්නේ නැතුව මේ වැඩ කරනවා. දැන් ක්‍රිකට් ක්‍රීඩාව යොදාගෙන මේ අය ඔට්ටු අල්ලනවා. සම්පූර්ණයෙන් වැරදි වැඩක්. මේක පොලිසියට නවත්තන්න පුළුවන්. ඒත් පොලිසිය තවමත් ක්‍රියාත්මක වෙලා නෑ. මේ දෙයින් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මෙරට විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙනුත් අපකීර්තියට ලක්වීමයි. ඒ නිසා වහාම ක්‍රියාමාර්ග ගන්න ඕන මේ දේවල්වලට එරෙහිව.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00