2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

බත් කන මිනිස්සු

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

පසුගිය දිනෙක කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කැබිනට් මණ්ඩලයේ සිටින්නේ බත් කන මිනිස්සු දැයි ප්‍රශ්නයක් මතුවී තිබුණි. එසේ ප්‍රශ්න කර තිබුණේ එසේ මෙසේ කෙනෙකු නොව දූෂණ විරෝධි පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාය. බත් පමණක් නොව, මහ ජනතාවගේ මුදලින් ස්පැගටි, කෝසස්, නූල්ඩ්ල්ස්, ෆ්‍රයිඩ්රයිස් හා බුරියානි ද කන උදවිය ඔය කියන තැන්වල සිටිනා බව හොඳින්ම දන්නා කෙනෙකු එසේ අසන නිසා ඒ ගැන සෝදිසි කිරීමේ වරදක් ද නැතැයි සිතේ.

සමරසිංහ මහතා මේ බත් කන කතාව කියා ඇත්තේ ගෙවල් කුලී හුටපටයක් සම්බන්ධයෙනි. ගෙට ගෙවදින්නටත් කලින්ම, රුපියල් මිලියන ගණනින් බදු ගෙවීමක් ගැනය. කතාව ඇත්ත නම් මේවා ඔන්ලි ඉන් ශ්‍රී ලංකා ජාතියේ සුපිරි වැඩය.

ස්වාභාවික හෝ අස්වාභාවික විපත් නිසා උන්හිටිතැන් අහිමි වූ මිනිසුන් තවමත් පිළිසරණක් නැතිව සිටියදී පාළු මන්දිරවලට කෝටි ප්‍රකෝටි ගණන් බදු ගෙවීම බත් කන ඇත්තන්ගේ වැඩක් විය හැකිද?

පිදුරු ගහටත් කෙස් පැළෙන නීති තර්ක ගෙන ආ මේ රටේ බත් ගැනත් සිහිබුද්ධියෙන් යුතුව කතා කළ යුතුය. අනික් අතට තුන් වේලටම බත් කා බඩ වියත රැක ගන්නට පුරුදුව සිටි ජනතාව අතර බතට ඇති තැනද අමතක නොකළ යුතුය.

බතට විශේෂණ බොහෝය. දිය බත්, කැඳ බත්, කහ බත්, දුන්තෙල් බත්, උණු බත්, හීල් බත් යනාදී වශයෙනි. ඉඳුල් බත් හා පිළුණු බත් කෑමට බැරි බත්ය. හිඟන්නන්ට උණු බත් නොලැබෙයි. බත් සමඟ ද කන නමුදු බා - බත් නම් බතක් නොව මසක්ය. හැළියේ යට ඉතිරි වන්නේ දංකුඩ බත්ය. එයද හූරා ගෙන ලුණු දිය ඉසගෙන කන්නේ දුගී දුප්පතුන්ය.

බතේ අරුම දැනෙන්නේ හාමතේදීය. බත් නැතිදා තමයි හැම දුක් ඇති වන්නේ යැයි කීවේ අන්දරේය. බතට කන්ඩ බැරි බතලේගල කන්ද යැයි ජන කවියා කීවේ වැඩකට නැති දෙයකටය. සමහරුන්ට බත් ඇතිදා එතෙක් කෑ කොස් තිත්ත වෙයි. එසේම බත් ඇති තැනටමයි කොසුත් කියා කතාවක් ඇත.

අද කාලේ මෙන් ලොකු ලොකු හෝටල්වල තානායම් නැති පෙර කාලේ කාගෙත් හෝ වැඩක් උදව්වක් කරගැනීමට අවශ්‍ය වූ විට රසට ගුණට ලොකු බත් මුලක් බැඳ ගෙන ගොස් දීමද සිරිතක්ව තිබුණි.

බතින් බුලතින් සරු වුණත් නැතත් බත් කටක් කාල යන්න ඉන්නයැයි කීම මේ රටේ ආගන්තුක සත්කාරයේ හැටිය. ඒ අතර වැළමිටෙන් අල්ලා කෑමට අඬගසන මසුරන්ද නැත්තේ නොවේ.

බත් කෑමට නම් සහල් තිබිය යුතුය. සහල් ලැබීමට නම් කුඹුරු හෝ මුදල් අවශ්‍යය. මේ දෙකම නැති අයට ආණ්ඩුවෙන් හාල් පොතක් දුන් යුගයක් ද මෙරට තිබුණි. හාල් පොතට හාල් ලැබුණේ සමූපෙනි. හාල් පොත උකස් කළ අයද ඒ කාලයේ ගම්වල සිටියහ.

ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන කල පළමුවෙනි හාල් හටන හා දෙවෙනි හාල් හටන යනුවෙන් නම් කළ හැකි දෙහටනක් ද දැකගත හැකිය. හාල් හුණ්ඩුවකට ආණ්ඩුවක් පෙරැළී යැයි මේ රටේ ජනතාව නම කැත කර ගත්තේද ඔය හාල් හටන් නිසාය.

1953 දී එවකට ශත 25ට තිබුණු හාල් සේරුව රජය විසින් ශත 70ක් කිරීම පළමු හටනට හේතුව විය. 1962 දී සිරිමාවෝ රජයෙන් හාල් හුණ්ඩු දෙක කැපීම නිසා දෙවෙනි හටන උද්ගත විය. මේ කතා පේළි කියන්නට සිතුණේ අලුත් පරම්පරාවේ උදවියට ඒවා ගැන දැනුමක් තේරැමක් නැති නිසාය.

ආසියානුවෙකු ආසියාවේ කිනම් රටකදැයි නිගමනය කිරීමට ඔහුගේ බත් පතින් පිළිවනැයි කියුමක් ඇත. බත් කන පිළිවෙළ, ප්‍රමාණය, සහල් වර්ගය යනාදි කරුණු ඊට බලපායි. නිදසුනක් වශයෙන් චීන්නු බත් කන්නේ කෝටු දෙකකිනි. ලංකාවේ අපි බත් පමණක් නොව බොහෝ දේ කන්නේ අනාගෙනය.

පැරණි ලංකාවේ තිබූ හීනැටි, සුවඳැල්, මාවී, දික්වී, පච්ච පෙරුමාල් ආදී වී වර්ග හාරසියක් අතුරින් දැන් ඉතිරිව ඇත්තේ කීපයකි. ඒ අතරට අලුතින්ම එක්වී ඇත්තේ පොලිතින් හාල් නොහොත් ප්ලාස්ටික් බාස්මතීය.

සමරසිංහ මහතාගේ කතාවට අනුව ලංකාවේ සමහර දේශපාලනඥයින් අනුභව කරන්නේ ප්ලාස්ටික් බාස්මතී සහලෙන් පිසූ බත්වත් දැයි සැකයක් උපදී. මෙය විසඳාගනු පිණිස පසුගියදා මෙහි සංචාරයකට පැමිණි වාසිබෝලන්තයේ ෆුඩ් පොලිටික්ස් විශේෂඥයෙකු වන ආචාර්ය රයිසන් කරිලෑන්ඩ් මහතා හමුවන්නට තීරණය කර ඔහු නතරව සිටින තාරකා හෝටලයට ගියෙමි. මට සාවධානව සවන් දී සිටි ආචාර්ය රයිසන් මෙරට දේශපාලකයන්ගේ බත් පතකින් සාම්පලයක් ලබා දිය හැකිදැයි ඇසුවේය. එය මා වැනි පුද්ගලයෙකුට අසීරු කාර්යයක් වන නමුදු කැබිනට් ඇමැතිවරයෙකුගේ බත් බැලයෙකු වන අප මිත්‍රයෙකු එය බාර ගත්තේය.

ඇමැති බත් සාම්පලය පරීක්ෂණයට ලක් කළ ආචාර්ය රයිසන් ඉක්මනින්ම වාර්තාව මා වෙත එවීය. ඔහුට අනුව ලංකාවේ දේශපාලනඥයින්ගෙන් වැඩිදෙනා කන්නේ දෙයියන්ගේ හාල්ය.!

එදා තුන්වේලම බඩ පුරා බත් කෑ අපේ මිනිස්සු අද කෑම දකින විට බයවෙති. කොලස්ටරෝල්, දියවැඩියා සහ අධික රැධිර පීඩනයෙන් පෙළෙන ඔව්හු දෙතුන් මසකට වරක් දොස්තරලා හමුවෙමින් කෑවා නොකෑවා සේ ජීවත් වෙති.

මනා ආහාර ප්‍රතිපත්තියෙන් හා යහපත් කල් ක්‍රියාවෙන් යුතුව දිවි ගෙවූ යුවළක් හැත්තෑවිය පසුකොට මිය ගියහ. දෙදෙනාම දෙව්ලොව උපන් අතර ඔවුන් පිළිගැනීමට ප්‍රිය සාදයක් ද පැවැත් වුණි.

කෑම මේසයේ තිබූ මේද අධික පෝෂණීය ආහාර දුටු මහළු යුවළ බියපත් වූහ. 

“අනේ අපිට මේ කොලස්ටරෝල් කෑම අගුණයි... එළවළු ටිකක් තම්බලා ලුණුනැතුව දෙන්න බැරිද?*

ඔව්හු කෝකියාගෙන් විමසූහ.

“මේක දිව්‍ය ලෝකේ කොලෙස්ටරෝල් ප්‍රශ්න මෙහෙ නෑ. ඕන දෙයක් කන්න බොන්න පුළුවන්.*

“ග්‍රීන් ටී එකක්වත් නැද්ද?*

“නෑ. මෙහෙ තියෙන්නෙ වැඩි සීනි බීම. කාටවත් දියවැඩියාව නෑනෙ.*

ඒ ඇසූ බිරිඳ සැමියා දෙස බලා මෙසේ කීවාය.

“අපරාදෙ නේද ඒයි අපි පරක්කු වුණේ. කල්තියාම මෙහෙ ආවනං දොස්තරලට දීපු සල්ලි සේරම ඉතුරැයි.*

 කපිල කුමාර කාලිංග