2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ක්‍රිකට් කඩාවැටිලද?

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 311

අරවින්දගෙන් අහමු

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන කථා කරනවිට අරවින්ද ද සිල්වා ගැන සඳහන් නොවුණ හොත් එය ‘ලුණු මුසුකිරීමට අමතක වූ හොද්දක් වැනිය. අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පුරාවෘත්තයකි. 

ශ්‍රී ලංකාව 1996 වසරේ විල්ස් ලෝක කුසලාන කිරුළ ජයග‍්‍රහණය කිරීමේදී විශාල සේවයක් කළ අරවින්ද අවසන් මහ තරගයේදී සදා අනුස්මරණිය ශතකය රැස්කළ ආකාරය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ගේ මතකයේ තවමත් රැඳී තිබේ.  ලොව මෙතෙක් බිහිවූ හොඳම පිතිකරුවන් පස්දෙනා අතර අරවින්දගේ නමද රැඳී තිබෙයි. අරවින්ද ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ශ්‍රී ලංකා පිලේ වර්තමාන කඩා වැටීමෙන් ගොඩ ඒමට නම් තරුණ ක‍්‍රීඩකයන්ට අඛණ්ඩව ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදී විශ්වාසය ගොඩ නංවා ගැනීමට කාලය ලබා දියයුතු බව අරවින්ද ද සිල්වා මහතා ‘දේශය’ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.  
එම සම්මුඛ සාකච්ඡාවේදී හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මෙසේ අදහස් දැක්වීය.

♦ ශ‍්‍රී ලංකා පිලේ අඛණ්ඩ අසාර්ථකත්වය ඔබ කොහොමද දකින්නේ?

ඔස්ට්‍රේලියාව 3x0 කින් පරාජය කළේත්. ඉන්දියාවට එරෙහිව තරග කළ මෙම කණ්ඩායම තමයි. මේ කණ්ඩායම තරුණ කණ්ඩායමක් මම හිතන්නේ. මේ ක‍්‍රීඩකයන්ට විශ්වාසය ගොඩනගා ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ තේරීම් කමිටුව ක‍්‍රීඩකයෝ ගැන විශ්වාසයක් ඇති කරගත යුතුයි. ක‍්‍රීඩකයන් ගොඩක් මාරු කර කර ක‍්‍රීඩකයන්ට ස්ථාවර වීමට අවස්ථාව දුන්නේ නැත්තන් ඉදිරියටත් වැරදි කරයි. වැරදිවලින් ඒගොල්ලොන්ට ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුයි. 

අපි දන්නවා ඉදිරියේ තිබෙන සංචාර මොනවද කියලා. ඒ නිසා ක‍්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕනේ වැරදි කර කර ඉගෙනගන්න. පිතිකරුවන්ට විශේෂයෙන්ම, ඒ වගේම දඟ පන්දු යවන්නන් නිවැරදිව හඳුනාගෙන රංගන අවසන් කරන විට කවුද එන්නේ කියලා සැලැස්මකට අනුව යන්න ඕනේ. 

අපිට තියෙන තව ප‍්‍රශ්නයක් තමයි පන්දු යවන්නනන් ආබාධයන්ට ලක්වීම. ඒ නිසා සංචිතයක් තියාගෙන වේගපන්දු යවන්නන් සංවිධානය කරගෙන යන්න ඕනේ. මොකද වේගපන්දු යවන්නන් මාරු කර කර ක‍්‍රීඩා කළ යුතුයි. නමුත් පිතිකරුවන්ට සහ දඟපන්දු යවන්නන්ට හැකි තරම් අවස්ථාව දෙන්න ඕනේ. එක කණ්ඩායමක් හැටියට ක‍්‍රීඩා කරලා ක‍්‍රීඩකයන් තමන්ගේ ශක්තියට ක‍්‍රීඩා කරන්න ඉගෙන ගතයුතුයි.

ශ්‍රී ලංකා පිලට පසුගිය කාලේ නවක ක‍්‍රීඩකයන් 40 ක් පමණ හඳුන්වා දුන්නත් සාර්ථක වෙලා නෑ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

සැලසුමක් නැතුව ක‍්‍රීඩකයන් මාරු කරපු එකේ අඩු පාඩුව තමයි මට ‍වෙන්නේ. අපි මෙච්චර කථා කරනවා ඒත් සැලසුමකට අනුව වෙන්නේ නැත්තේ මොකද කියලා හොයලා බලා නිවැරදි කළ යුතුයි. 

ළමයෙක් ගහගෙන එනවා ඉවත් කරනවා. මම වුණත් අසාර්ථක වෙලා තමයි ඉගෙන ගෙන තියෙන්නේ. අපි වුණත් කවදාවත් හැම තරගයේම ලකුණු රැස්කරලා නෑ. කවුරැත් ඒක දැනගන්න  ඕනේ. පරණ ක‍්‍රිකට් ගහපු අයත්, තේරීම් කමිටුවත් ළමයෙක් වරදක් කරනවා නම් අපි ගහපු කාලේ වැරදි කළේ නැද්ද කියලා ඔවුන් හිතන්න ඕනේ. එහෙමවෙලා තමයි අපිත් ඉගෙන ගත්තේ.

♦ ශ්‍රී ලංකාවට දක්‍ෂ ක‍්‍රීඩකයන්ගේ අඩුවක් තියෙනවා කියලා ඇතැමුන් කියනවා. අපිට ක‍්‍රීඩකයො නෑ කියලා ඔබත් හිතනවද?

මම හිතන්නේ අපේ ක‍්‍රීඩකයන්ට ගොඩක් හැකියාව තියෙනවා. දක්‍ෂ ක‍්‍රීඩකයන් ගැන ප‍්‍රශ්නයක් නෑ. මම දැකලා තියෙනවා මොනවගේ ක‍්‍රීඩකයොද ඉන්නේ කියලා. තරුණ ක‍්‍රීඩකයන්ට හරි මග පෙන්නන්න ඕනේ තරුණ වයසේදීමයි.

අඩු වයසේදීම ඒ සංස්කෘතිය හදන්න  ඕනේ. ජාතික කණ්ඩායමට ආවම ගොඩක් දේවල් වෙනස් කරන්න අමාරුයි. හොඳ පුහුණුකරුවන් ඔස්සේ සංස්කෘතිය පහළ සිට හදාගෙන එන්න ඕනේ. සංස්කෘතිය කිව්වේ හැමදේම. ජාතික කණ්ඩායමේ සංස්කෘතියක් තියෙනවා වගේම පහළ මට්ටමටත් ඒක ඇති කරන්න  ඕනේ. ඒකට පන්දු රැකීම, හැසිරීම ඇතුළු සියලු දේ තිබිය යුතුයි. එහෙම කළහොත් ඔවුන් ඉතාමත් ඉක්මනට අනුගත වෙනවා.

ඔබ ලෝකශූර ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල සාමාජිකයෙක්. ඒ කණ්ඩායමේ වැටීම් කළමනාකරණය කළ ආකාරය ආවර්ජනය කළහොත්...?

අපි එකට ගහලා. අපි කණ්ඩායමේ එක එක්කෙනාගේ හැකියාව දැනගෙන හිටියා. ඒ නිසා එක එක්කෙනාව සුදුසු තැන්වලට යෙදෙව්වා. නිශ්චිත කාලයක් තුළදී අපි සනත්ව උඩ බැට් කෙරෙව්වා. පහළ බැට් කෙරෙව්වා. ඊට පසුව හරි තැනට යෙදෙව්වා. සනත් උඩ බැට් කළා. ඒ වගේ හරි තැනට දාන්න ක‍්‍රීඩකයන් හොඳයි කියලා දැනුණම ඒ අයත් එක්ක ගමන යන්න ලෑස්ති වෙන්න ඕනේ. 

♦ මහේල සහ සංගක්කාර ගියා කණ්ඩායම වැටුණා. ඔබ කියනවා රංගන හේරත් යනවිට නවකයන් සූදානම් වෙන්න ඕනේ කියලා. ඒ තරුණ ක‍්‍රීඩකයෝ කවුද?

තරුණ ක‍්‍රීඩකයෝ කීපදෙනෙක්ම ඉන්නවා. දැන් කණ්ඩායමේ ඩිල්රුවන් ඉන්නවා. සඳකැන්, වැන්ඩසේ ගොඩක් හොඳ පන්දු යවන්නෙක්. ඒ වගේම අකිල ධනංජය ඉන්නවා. තරුණ පන්දු යවන්නන් හඳුනාගෙන ඒ ක‍්‍රීඩකයන්ට තරගමාලා කීපයක් ක‍්‍රීඩා කරන්න දෙන්න  ඕනේ. 

මම ක‍්‍රිකට් කමිටුවේ ඉන්න විට (ඒ) කණ්ඩායමට සංචාර හතරක්වත් සූදානම් කරන්න. ඒ වගේම වයස 19න් පහළ පිලට යන්න සහ එන්න සංචාර දෙකක්වත් ඕනේ කියලා කිව්වා. එවිට අඛණ්ඩව සංවර්ධන සංචිතයක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්.

♦ වයස 23 න් පහළ පළාත් තරගාවලියේදී පාසලෙන් පිට වූ ක‍්‍රීඩකයන්ට අවස්ථාව අහිමි කළ බවට චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව ඔබ දැනුවත්ද?

වයස 19 න් පහළ සහ වයස 23 න් පහළ තරගාවලි දෙකක් තියෙනවා. මම හිතන්නේ වයස් සීමාව තුළ ක‍්‍රීඩකයන්ට පළාත් සහ අන්තර් සමාජ තරගාවලිවලදී ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා.

ඔබ කියන අවස්ථාව අහිමිවීම පිළිබඳව මට කියන්න බෑ. පාසලේ කඩුලු 100 ක් දවා ගැනීමත් අන්තර් සමාජ මට්ටමේ කඩුලු 50 ක් දවා ගැනීමත් අතර වෙනසක් තියෙනවා. ඔය චෝදනාව ගැන මට කියන්න අමාරුයි. දක්‍ෂතා තියෙනවා නම් අවස්ථාව ලැබිය යුතුයි. නමුත් මම දැක්කා පසුගිය වයස 23න් පහළ තරගාවලියට 19න් පහළ කීපදෙනකුත් ක‍්‍රීඩා කළා.

එහි ප‍්‍රතිපත්තිය දන්නේ නැතුව මට කියන්න බෑ. නමුත් එහි තේරීම්වලට ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. දක්‍ෂතා තියෙන ක‍්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕනේ. තරුණයන්ට අවස්ථාවදීම තමයි දැන් අනිවාර්ය කාර්යය.

♦ නිරෝෂන් දික්වැල්ල වැනි ක‍්‍රීඩකයන් ටෙස්ට් තරගවලට නුසුදුසු ආකාරයේ කලබලයකින් පන්දුවට පහර දෙන බවට චෝදනා එල්ල වෙනවා?

පිතිකරුවෙක් එතෙන්ට යන්න ඕනේ ලකුණු ගහන්න. පුහුණුවෙලා තමන්ට විශ්වාසය තියෙනවා නම් ඒ පහරවල් ගහන එක කවදාවත් නවත්වන්න හොඳ නෑ. මගේ මතය තමයි පහරක් ගහලා දැවී යන එක හොඳයි තට්ටුවක් අල්ලලා දැවී යනවාට වඩා. 

මම ක‍්‍රිකට් ගැහුවෙත් ඒ වගේ තමයි. සමහර වෙලාවට මිනිස්සු බනින්න ඇති මෝඩ පහරක් ගහලා දැවී ගියා කියලා. ඒ මෝඩ පහරවල් ගහන්නේ නැතුව ලකුණු එන්නෙත් නෑ. මගේ කාර්යය තමයි කෙසේ හෝ පන්දු යවන්නන් අපහසුතාවට පත් කරලා ලකුණු රැස්කිරීම. සෙමින් ලකුණු රැස්කරන අයට වඩා පහරක් ගහලා තමයි දැවී යන්නේ. ඒක මගේ ආකාරය, මම කවදාවත් ඒක වෙනස් කරන්නේ නෑ කියලා හිතාගත්තා. මොකද මට හැකියාව තිබුණේ එහෙම ගහන්න. 

එහෙම ගහන්න හැකියාව තියෙන අය ඒක දිගටම කරන්න ඕනේ. සමහර අය ඉන්නවා එහෙම නැති අය දැනගන්න ඕනේ තමන්ට තිබෙන ශක්තිය මත වැඩ කරන්න.

♦ අපේ වේගපන්දු යවන්නන් පමණක් නොවෙයි පිතිකරුවන්ද දිගින් දිගටම ආබාධයන්ට ලක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ?

මම කිව්වේ එක දෙයයි. ඒ අය විශ්වාසය තියාගන්න ඕනෙ. අසාර්ථක වෙනවට බය වෙන්න එපා. කණ්ඩායමේ ස්ථානය අහිමිවෙනවට, අසාර්ථක වෙනවට සහ තේරීම්වලට බයවෙලා

ක‍්‍රීඩා කළහොත් කවදාවත් ඉදිරියට යන්න බෑ. ඇතුළට ගිහිල්ලා හැකියාව පෙන්නන්න. කැපුවොත් කපන්න ඇරලා. ඒක තේරීම් කමිටුවේ වැඩක්. කැපුවොත් තමන් තමන්ට කියාගන්න ඕනේ මම තේරීම් කමිටුවට පාඩමක් උගන්වනවා කියලා. එහෙම තමයි මම ක‍්‍රීඩා කළේ. බැට් එක තමයි කතා කරන්න ඕනේ. වෙන මුකුත් නෙවෙයි. ආත්මවිශ්වාසය තියාගෙන බය නැතුව මුහුණ දෙන්න කියලා තමයි මම උපදෙස් දුන්නේ.

මොකද හැම කෙනාටම බයේ හිටියොත්... පරිපාලනයටයි හැම එකටමයි. කථා කරන්නේ නැතුව තමන්ට තියෙන දේ බය නැතුව කියන්න බය නම් ප‍්‍රතිවාදීන්ට එරෙහිව ක‍්‍රීඩා කරන්නෙත් බයේම තමයි. ඒ බය නැති කෙනා තමයි ප‍්‍රතිවාදීන්ටත් කවදාවත් බය නොවෙන්නේ.

♦ රුමේෂ් රත්නායක මහතා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්වීම පිළිබඳව හිතන්නේ මොකක්ද?

රුමේෂ් රත්නායක ගොඩක් වේගපන්දු යවන්නන්ව පුහුණු කළා. මම හිතන්නේ ඔහු එන එක ලොකු දෙයක්.

 මෙම ඉන්දීය සංචාරයේ දැවැන්ත කඩා වැටීමට හේතුව ලෙස ඔබ දකින්නේ මොකක්ද?

මම හිතන්නේ මේ කණ්ඩායම ආත්මවිශ්වාසය සහ සැළැස්මක් ඇතිව ක‍්‍රීඩා කළා නම් මීට වඩා තරගකාරි වෙනවා. අවාසනාවකට කාසියේ වාසියත් අහිමි වුණා.

මෙවැනි තරගවල පළමුවෙන්ම පන්දුවට පහරදීමට ලැබීම ලොකු වාසියක්. අපේ පන්දු යැවීම ගොඩක් දුර්වල වුණා. ඒ නිසා ඉන්දියාව තරග දෙකේදීම 600 බැගින් ගැහුවා. මම හිතන්නේ තේරීම් මීට වඩා සැලසුම් කරලා තණතීරුවලට ගැලපෙන ආකාරයට තේරීම් කළ යුතුයි. ක‍්‍රීඩකයන්ට විශ්වාසය ඇති කරලා දෙන්න  ඕනේ අසාර්ථක වුණත් කමක් නෑ අවස්ථාව ලැබෙනවා කියලා. ක‍්‍රීඩාවට මුහුණ දෙන්න පරිසරය සකස් කිරීම ප‍්‍රධාන අවශ්‍යතාවයයි.

♦ සංවාද සටහන: යොහාන් භාසුර
සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00