2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

නිරෝගී දරුවකු හදාගන්න ආසයිද?

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 3678

නියමිත කාලය සම්පූර්ණ කළ නිරෝගී, බුද්ධිමත්, පැහැපත් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින මවත් පියාත් බොහෝවිට ආයුර්වේදයේ සඳහන් සම්පූර්ණ කළ යුතු කාරණා තිබේ. ආයුර්වේදයේ සඳහන් වන්නේ අවශ්‍යම අවස්ථාවක දරුවකු ලබාගැනීම ඉතා වැදගත් බවය. 

වැඩිවියට පැමිණීමට පෙර සිටම ගැහැනු දරුවකු පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතු අන්දම ගැන පසුගිය දේශය “අපේ වෙදකම” ඔස්සේ අපි කතා කළෙමු. දරුවකු බලාපොරොත්තුවේ ඉන්න කෙනෙක් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් සම්පූර්ණ කළ යුතු වේ. 

 නිතර නිදිමත දැනෙන පිරිමින්ගේ හෝමෝනවල ප්‍රශ්නයක් 

දරුවකු බලාපොරොත්තු වන පුරුෂයා සහ කාන්තාවගේ නීරෝගිකම ඉතා වැදගත්වේ. බොහෝ පවුල්වලට දරුවන් නොමැතිවීමේදී චෝදනාව ලබන්නේ කාන්තාවන් පමණි. ඔවුහු සමාජයේ වඳ ගැහැනුන් ලෙස හංවඩු ගැසෙති. නමුත් ඔබ ඇතැම්විට නොදැන සිටියාට අද වෙද්දී වඳ පිරිමිද ලොව පුරා වෙසෙති. නොයෙකුත් කරුණු නිසා ඔවුන්ට දරුවකු බිහිකිරීමට උදව්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම ඊට හේතුවය. 

පිරිමියෙකු දැනගත යුතු දේ :-

පිරිමියාගේ නියමිත නිවැරදි ගුණාත්මක තත්ත්වයෙන් යුත් ශුක්‍රාණු තිබිය යුතුය. නිතර කේන්ති යන කුකුල් කේන්තිකාරයකු වී අලසකම, නිදිමත ගතිය නිතර ඇති බොහෝ පුරුෂයන්ගේ යම් හෝ අඩුපාඩුවක් හෝමෝනවල තිබිය හැක. එය පරික්ෂා කිරීම ඉතා වැදගත්වේ.

අද ඇතැම් පිරිමි සිගරට් හා මත්පැන් භාවිතය මගින් සමාජයේ කැපී පෙනීමට උත්සාහ ගනිති. නමුත් එයින් ඔහුගේ නූගත්කම, හීනමානය ගම්‍ය වේ. අනිවාර්යයෙන්ම සිගරට් හා මත්පැන් භාවිතය ශරීරයට අහිත කරයි. ශුක්‍රාණු අඩු වීමක් විතරක් නොව පිළිකා තත්ත්වයන් ඇතිවීමටද බොහෝ ඉඩකඩ ඇත.

 කුකුල් කේන්තිකාරයන්ට දරුඵල අහිමිවිය හැකියි 

දරුවකු බලාපොරොත්තු වන පිරියකුගේ ඉහළ මට්ටමේ ශුක්‍රාණු නිපදවීම පැය 48ක කාලයේදී සම්පූර්ණ වේ. මාස ගණනාවක් ශුක්‍රාණු නිපදවීමට කාලය ගත වන නමුත් නිපදවන ශුක්‍රාණුවල ගුණාත්මකභාවය තීරණය වන්නේ ශුක්‍රාණු පිට වීමෙන් පසුවය. දරුවකු බලාපොරොත්තුවෙන් නැවත එකතු වන්නේ නම් එය පැය 48කට පසුව සිදුකිරීම සාර්ථක වන්නේ එබැවිනි. දිනපතා සම්බන්ධවීමේදී ශුක්‍රාණුවල ගුණාත්මකතාවය යම් අඩුවීමක් ඇතිවේ. 

පුරුෂයාගේ හෝමෝනවල ස්වභාවය, ලේ වල ස්වභාවය පරික්ෂා කිරීම ඉතා වැදගත් වේ.

කාන්තාවන් දැනගත යුතු දේ:-

කාන්තාවන් යනු වචනය පරිසමාර්ථ අර්ථයෙන්ම බොහෝ ආකර්ෂණීය තැනැත්තියකි. නමුත් තමන්ට තමන්ගේ සිරුරවත් පාලනය කරගත නොහැකි බැරල් වැනි ශරීරයකට හිමිකම් කියනා කාන්තාවන් අප සමාජයේ ඕනෑතරම්ය. මේ නිසා දරුවකු බලාපොරොත්තුවන කාන්තාවන් විශේෂයෙන් කෑම පාලනය, ශරීර පාලනය ඉතා වැදගත් කොට සැලකීම අවශ්‍යය.

දරුවකු නොමැති කාන්තාවන්ට මූලික ලේ පරික්ෂා සිදුකොට හෝමෝනවල තත්ත්වය පිළිබඳව තීරණයක් ගත හැක. වැඩිවීමට පැමිණීමත් සමඟ ස්වභාවයෙන්ම කාන්තාවන්ගේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය හරි හැටි සිදුවන්නේ නම් ඇයට උසට සරිලන බරක් හා ආකර්ෂණීය සිරුරක් හිමිවේ. කාන්තාවගේ හෝමෝනවල විවිධ වෙනස්කම් ඇතිවීමට මූලික හේතුව ආතතිය වේ.

 දිනපතා ලිංගිකව එක්වුණොත් ශ්‍රකාණුවල ගුණාත්මකභාවය අඩුවෙයි 

ඔසප්වීමේ යම් යම් වෙනස්කම් ඇත්නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා ඒ සඳහා ප්‍රථිකාර ලබාගන්නට වගබලා ගැනීම අවශ්‍යය. 

දරුවකු බලාපොරොත්තුවෙන් යුවළක් සම්පුර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 04කි. 
01. සෘතු
02. ක්ෂේත්‍ර
03. අම්ල
04. බීජ

සෘතු :- 

සෘතු කාලය ලෙසින් හඳුන්වන්නේ කෙනකුගේ සරු කාලයයි. කාන්තාවන් ඔසප් වීමක් වි දරුවකු බලාපොරොත්තුවෙන් සරු ඩිම්බයක් මුදා හරිනු ලබන කාලය මෙම සෘතු කාලය ලෙස හැඳින්වේ. එනම් දින 28කට වරක් ඔසප්වීමක් වන කාන්තාවක්නම් ඇයගේ සරු කාලය ලෙස හැඳින්වන්නේ ඔසප් වීමේ පළමු දිනයෙන් පසුව එළඹෙන 14 වැනි දිනයි. නමුත් ඔසප් වීමේදී දින වෙනස්වන කාන්තාවකගේ මෙය වෙනස් වේ. එවැනි කාන්තාවක් තමන්ගේ අවසාන ඔසප්වීමේ සිට දින සිට දාහතරක් ඉදිරියට ගණනය කරන්න. එවිට සරු කාලය තීරණය කරගත හැක.

එවැනි සරු කාලයේදී නිවැරදිව ඩිම්බයක් මුදාහල විට එයට ශුක්‍රාණුවක් එක් වී නොමැතිනම් අනිවාර්යයෙන්ම ඇයට ඔසප්වීම් සිදුවේ. සරු ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වුණිනම් අනිවාර්යයෙන්ම දරුවකු බලාපොරොත්තු විය හැක.
සෘතු කාලය ඕනෑම කාන්තාවකගෙන් පිළිඹිඹු වේ. එවැනි කාලයේදී වෙනදාට වඩා පිරිමින්ගේ ආකර්ෂණය වැඩිවේ. ඇය ප්‍රබෝධමත්ව සිටී. කාන්තාවගේ හැටහතර මායම් ඒ කාලයේදී වැඩි වශයෙන් දැකගත හැක. එය ස්වභාවිකවම ප්‍රජාවක් සෑදීමට කෙරෙන උපක්‍රමයකි. ඩිම්බයක් මුදාහරිනු ලබන මෙම සමයේදී පිරිමින්ගේ ආකර්ෂණය වැඩිබව කීවත් අද වෙද්දී කාන්තාවන් සෑම පස් දෙනකුගෙන්ම එක් අයෙක් සරු බීජ මුදාහැරීමේ විවිධාකාර ගැටලුවලට මුහුණ පායි. විශේෂයෙන් යෝනි මාර්ගය ආශ්‍රිතව තෙත් වීම, ලිංගිකව එක්වීමට ඇති හැකියාව, වැනි තත්ත්වයන් සරු කාලය තුළදී කාන්තාවගේ ලක්ෂණ වේ. බොහේ අයට යෝනි මාර්ගය අවට වියළි ස්වභාවයක් පැවැතීම නිසා එක්වීමට නොහැකි තත්ත්වයක් උදා වෙයි. එවැනි තත්ත්වයක් ඇති වන්නේ නිසරු බීජ හේතුවෙනි. 

ක්ෂේත්‍ර :-

මෙම තත්ත්වයට කාන්තාවගේ සුදයාමා දිලීර වර්ග ආසාදනය වැනි තත්ත්වයක් ප්‍රබල ලෙස හේතුවේ. අද බොහෝ කාන්තාවෝ පොදු වැසිකිළි භාවිතා කරති. මේ හේතුවෙන් බැක්ටීරියා හා දිලීර ආසාදන යෝනි මාර්ගයට ඇතුළු වීම සිදුවිය හැකිය. කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය විසබීජ ඇතුළුවීමට පහසු ලෙසින් සැකසී ඇත. යෝනි මාර්ගය අභ්‍යන්තරයට නෙරා තිබීමත් ගර්භාෂය, පැලෝපිය නාළය ඩිම්බ කෝෂ ඒ අසලින් පිහිටා තිබීමත් මුත්‍රාශයට බොහෝම සමීපව යෝනි මාර්ගය හා ගුද මාර්ගය පිහිටා තිබීමත් නිසා මේ තත්ත්වය ඇති වේ. යම් හෙයකින් ගුද මාර්ගයේ පණු රෝග ඇතිනම් යෝනි මාර්ගයටද එය පැතිරීයාමේ අවදානම වැඩිය. 

 කාන්තාවන්ට බැරල් වැනි ශරීර සුදුසු නැහැ 

එමෙන්ම ගර්භාෂයේ ගෙඩි, ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝග වැනි තත්ත්වයන්ද මෙයට හේතු වේ. ගර්භාෂය ස්වරූපය සාමාන්‍යයෙන් අපගේ මිට මෙලවූ අතකට සමානයි. නමුත් මෙහි යම් ගෙඩි හටගන්තොත් එහි ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එවිට කළලයකට රැඳිය නොහැක. රුඳුණද මාස තුනක් ඇතුළත ගබ්සාවකින් කෙළවර වේ.

පුරුෂයාගේද අණ්ඩකෝෂ සහ ශික්ෂණය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. කුඩාකලදී යම් දෙයක් තදින් වැදීම, කම්මුල් ගාය වැනි තත්ත්වයන් නිසා අණ්ඩකෝෂ විශාල වූ අයටද අණ්ඩකෝෂ කුඩා අයටද දරුවකු ලබාගැනීම දුෂ්කර විය හැක. එවැනි තත්ත්වයක් ඉතා ඉක්මණින් වෛද්‍ය පරික්ෂාවලට යොමුකළ යුතුය. එමෙන්ම විවාහයට පෙර වෙනත් අය හා ලිංගිකව එක්වීමද වෙනත් වෙනත් රෝග සඳහා අතවැනීමකි. 

අම්ල :-

අම්ල ලෙසින් හඳුන්වන්නේ හෝමෝනවල සමතුලිතතාවයයි. ඒ සඳහා කාන්තාවන්ට හා පිරිමින්ට වෙන වෙනම පරික්ෂා කෙරේ. ඔසප් වීම සිදුවූ පළවැනි දිනය සිට 5 වැනි දිනය අතර (1-5 අතර) කරනු ලබන රුධිර පරික්ෂාව FSH / LH, Prolactin ලෙසින් හැඳින්වේ. එමෙන්ම හරියාකාරව දින 21න් Serum Progesterone පරික්ෂා කළ යුතුවේ. මේ පරීක්ෂාවලින් කාන්තාවගේ නිරෝගිකම පිළිබඳව හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය තත්ත්වයන් තීරණය කළ හැක. 
එමෙන්ම පිරිමින් සඳහා SFA (Semnig Fluid Anolysig) නම් ශුක්‍රාණු පරික්ෂා කළ යුතුවේ. 
ඊට අමතරව කාන්තාවන් දරුවකු බලාපොරොත්තු වන්නේනම් RH සාධකය පරික්ෂා කළ යුතුය.

බීජ :- 

හෝමෝන සරු නම් අනිවාර්යයෙන්ම බීජද සරුසාර මෙම සරු බීජ නිරෝගි දරුවකු සඳහා අවශ්‍ය වේ. නිරෝගි ගැහැනු බීජයත්, නීරෝගි පිරිමි බීජයත් නිරෝගි මනසකින් එක්වීමෙන් නිරෝගි දරුවෙක් බිහිවෙයි. 

කාන්තා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන


♦ දිශානි ජයමාලි කරැණාරත්න