2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

නිවේදනවලින් බස්සන්න හදන බඩුමිල

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

රටේ ආර්ථිකයට බලපාන තීන්දු තීරණ කිහිපයක් පසුගියදා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයන සහල්, මාළු සහ තිරිඟුපිටි, තිරිඟු ඇට සහ බඩඉරිඟු මිල මෙම මස 1දා සිට පහළ දැමීමට තීරණය කර තිබේ. ආනයනික නාඩු සහල් කිලෝව රුපියල් 75කට, සුදු කැකුළු සහල් කිලෝව රුපියල් 60කට හා පොන්නි සම්බා රුපියල් 76කට විකිණීමට මිල නියම කළ අතර, සහල් සඳහා මෙතෙක් පැවැති කිලෝවකට රුපියල් 5ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා පහළ දමා තිබේ.

ආනයනික තලපත් සහ කොප්පරා මාළු කිලෝවකට පැවැති රුපියල් 75ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25 දක්වා අඩුකර තිබේ. ඒ හැර තිරිඟු පිටි කිලෝවකට අයකළ රුපියල් 25ක් වූ සෙස් බද්දද රු.10කින් අඩුකර ඇත. තිරිඟු ඇට සඳහා පැවැති කිලෝවකට රුපියල් 9ක් වූ සෙස් බද්ද රුපියල් 6 දක්වා අඩුකර ඇති අතර කුකුළු කෑම නිෂ්පාදනයට පාවිච්චි කරන බඩඉරිඟු කිලෝවක් සඳහා වූ රුපියල් 70 බද්ද මුළුමනින්ම ඉවත්කර රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට ජීවන වියදම් කමිටුව ගත් තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

ආණ්ඩුව නිවේදනය කරන්නේ රටපුරා පවතින වියළි කාලගුණය නිසා ඇතිවිය හැකි සහල් හිඟයට පිළියමක් ලෙස ආනයනික සහල් සහ තිරිඟු පිටි බදු පහළ දැමූ බවය. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න පවසන්නේ ප්‍රකාශයට පත්කළ මිල ගණන්වලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඔහු එසේ පැවසුවද පසුගිය දිනවල අත්දැකීම් අනුව පෙනෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය භාණ්ඩවලට පනවන පාලන මිල තුට්ටුවකටවත් මායිම් නොකරන වෙළෙඳුන් භාණ්ඩ මිල වැඩිකර අලෙවි කරන අයුරුයි. පසුගියදා සහල්වලට හා අත්‍යවශ්‍ය භාණ්ඩවලට පැනවූ උපරිම මිල ගැසට්ටුවට පමණක් සීමා වූ අතර වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වය හමුවේ උකටලීව බලා සිටීමට බලධරයන්ට සිදුවී තිබේ. වෙළෙඳුන් පවසනුයේ අධිකාරියේ මිල මට්ටම් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අපහසු බවයි. ඒ නිසා අපට පෙනී යන්නේ මිල පාලනය කිරීමෙන් විසඳුමක් දීමට ගන්නා උත්සාහය පුස්සක් බවය.

තිරිඟු පිටි මිල පහළ දැමූවද තම විකුණුම් මිල පහළ දැමීමට නොහැකි බව පිටිවල වෙළෙඳ අධිකාරිය පවත්වාගෙන යන ප්‍රීමා සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. එයට හේතු ලෙස ඔහු දැක්වූයේ ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ යාම මෙන්ම රුපියල අවප්‍රමාණ වීමය. තවදුරටත් ඔහු පැවසුවේ තමා ළඟ ඇත්තේ මෙයට පෙර වැඩි බද්දක් ගෙවා ආනයනය කළ තොග නිසා ඒවා අවසන් වනතුරු තීරණයක් ගත නොහැකි බවයි.

යම් භාණ්ඩයක මිල වැඩිකළ ඇසිල්ලේම මිල ඉහළ දමන ව්‍යාපාරිකයන් මිල අඩුකළ විට එම ප්‍රතිලාභ ජනතාවට ලබා නොදී නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අද පමණක් සිදුකරන දෙයක් නොවේ. හැමදාම ඔවුන් පුරැදු වී ඇත්තේ මිල පහළ දැමීමට කල්මරා අයුතු ලාභ ඉපයීමටය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසන්නේ ආණ්ඩුව ආනයන පිටි කිලෝවක සෙස් බදු යම් ප්‍රමාණයකට අඩුකළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩුකළ නොහැකි බවයි. බේකරි නිෂ්පාදන සඳහා සියයට 99ක්ම පිටි ලබාගන්නේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම්වලිනි. සංගමය තිරිඟු පිටි ආනයනය කිරීමක් නොකරයි. ඒ නිසා එම සමාගම් මිල අඩුකළහොත් එයට සමානුපාතිකව තම නිෂ්පාදනවල මිල අඩුකිරීමක් පිළිබඳ සලකා බැලීමට ඔහු පොරොන්දු වෙයි. ඒත් ඔහු කියන්නේ පිටි මිලටත් වඩා බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය යීස්ට්, මාගරින්, සීනි ආදී බොහෝ දේවල හා ශ්‍රමයේ මිල මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. ඒ නිසා බේකරි නිෂ්පාදකයන් අපහසුතාවට පත්ව ඇති අතර ඉහළ යන නිෂ්පාදන මිලට සාපේක්ෂව පාන් ඇතුළු නිෂ්පාදනවල මිල ඉහළ නොදමා ඇත්තේ පාරිභෝගිකයන් ඉල්ලුම අඩුකරනු ඇති නිසාය. ඒ නිසා අවම ලාභයක් තබාගෙන විකිණීමට සිදුව ඇත.

පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. ජයසිරි:
“ආණ්ඩුව ආනයන මාළු මිල අඩුකිරීමට උත්සාහ ගැනීම හොඳයි. මේ වනවිට එහි බලපෑම එතරම් අපේ මිලට ලැබිලා නැහැ. මුලදී කොප්පරා කිලෝව රුපියල් 850ට තිබුණා. දැන් රුපියල් 25ක් විතර අඩුවෙලා තියෙනවා. කිලෝව රුපියල් 650ට තිබුණු තලපත් කිලෝවද රුපියල් 25ක් පමණ අඩුවෙලා. එහෙත් මේ තොග මිලයි. සිල්ලර මිල කිලෝව රුපියල් 900-950 විතර වෙනවා. එම මිලට බලපෑමක් ඇතිවෙලා නැහැ. රටින් ගෙන්වන මාළු ව්‍යාපාරිකයන් “කූල් රූම්”වල තියාගෙන වෙළෙඳ පොළේ මිල අනුව ටිකින් ටික තමා නිකුත් කරන්නේ. දේශීය මසුන් වැඩියෙන් ලැබිලා මිල පහළ ගියහොත් ඒ අය මාළු නිකුත් නොකර තබා ගන්නවා. වැඩි වුණොත් තමා ටිකක් හෝ නිකුත් කරන්නේ. අපේ දේශීය මත්ස්‍ය නිෂ්පාදන නිසා තමා මිල වෙනසක් ඇති වුණොත් ඇතිවෙන්නේ.”

සභාපතිවරයා පවසන්නේ මේ තත්ත්වය පාලනය නොකර ආනයන මත්ස්‍ය බදු අඩුකළත් එය පාරිභෝගිකයාට නොලැබෙන බවයි. එබැවින් රජය කළයුතුව ඇත්තේ වෙළෙඳ පොළ තත්ත්වය පාලනය කිරීමයි. එසේ සිදුනොවුණොත් මිල අඩුකිරීමේ වාසිය ව්‍යාපාරිකයන් ලබාගන්නා බව ඔහු කියයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ පවතින තත්ත්වය වෙනස් කර බදු අඩු කිරීමේ සහනය ජනතාවට දියයුතු බවට තම ආයතනය මුදල් අමාත්‍යංශයට සහ පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතනවලට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් මේතාක් කිසිදු සහනයක් ලැබී නොමැති බවයි. මේ වනවිට මෙම අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ව්‍යාපාරය ස්වකීය නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සභාපතිවරයා පවසයි.

“ආණ්ඩුව තිරිඟු පිටි සහ ඇටවල බදු අඩුකළේ එමගින් එම ද්‍රව්‍යවල මිල අඩුවේය යන බලාපොරොත්තුවෙන්. එහෙත් දැන් එම සහනය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන් විසින්. විජාතික ව්‍යාපාරිකයන් ලාභය උපරිම කර ගැනීම සඳහා ඇතැම් අය මැදිහත් වුවාද යන්න පිළිබඳවද සැකයක් ඇතිවෙනවා. මුලදී ඔවුන් කළයුතුව තිබුණේ එම සහනය ජනතාවට ගලා යන ක්‍රමයක් නිර්මාණය කර බදු පහත හෙළීමයි. එය නව මුදල් ඇමැතිගේ අවධානයට මුලින්ම ලක්විය යුතුව තිබුණා. එහෙත් සිදුව ඇත්තේ බදු අඩුකර ආණ්ඩුවේ ආදායම හීන කර ගනිමින් එම මුදල් පෞද්ගලික මුදලාලිගේ සාක්කුවලට දැමීමයි. අනිත් සෑම දෙයකින්ම වගේ මෙයින්ද තැලෙන්නේ අසරණ පාරිභෝගිකයායි.”

පාරිභෝගික සේවා අධිකාරිය යළිත් වරක් ආනයනික සහල්වල උපරිම විකුණුම් මිල ගැසට් කිරීමත් එවැනි විහිලුවක් බව සභාපතිවරයා කියයි.

එසේම පාරිභෝගික සේවා අධිකාරිය මේ වනවිට ඉතාම අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සභාපතිවරයා කියයි. දේශපාලන බලපෑම් සහ වෙනත් ඇඟිලිගැසීම් නිසා මේ වනවිට අධිකාරිය රාජපක්ෂ ජනාධිපති යුගයේ තිබූ තත්ත්වයටත් වඩා පහළට වැටී ඇති බවත් බෙලහීනව ඇති එම ආයතනය මුලින්ම ගොඩගෙන නගා සිටුවිය යුතු බවත් ඔහු කියයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු:

ආණ්ඩුව තිරිඟු පිටි මිල පාලනය කිරීමට හේතුව ජාත්‍යන්තර වශයෙන් මිල ඉහළ යාමයි. සෙස් බදු අඩුකිරීමට පෙර තිරිඟු පිටි කිලෝව රුපියල් 98ක් වූ අතර අඩුකළ නිසා දැන් එය රුපියල් 96ක් වී තිබෙනවා. මෙම මිල අඩු කිරීම එතරම් පාරිභෝගිකයාට බලපාන්නේ නැහැ. තිරිඟු පිටි මිල ඒවා නිෂ්පාදන කරන රුසියාව, අමෙරිකාව සහ යුරෝපීය රටවල අස්වැන්න නෙලන කාලයේදී අඩුවූ විට මහා පරිමාණ සමාගම් වැඩිපුර මිලට ගෙන ගබඩාකර තබාගන්නවා. මෙහිදී ආණ්ඩුව ඉස්තාලය වැහුවේ අශ්වයා පැනලා ගියාට පසුවයි කියලා කියන්න පුළුවන්. මේ නිසා සංශෝධිත තීරුබදු මිල යටතේ තිරිඟු පිටි ගෙනාවත් ඒ තරම් මිල අඩුවෙන්නේ නැහැ. ඒ නිසා මෙම මිල අඩුකිරීම නිසා විශාල සහනයක් ලැබෙන්නේ නැති බව කිව යුතුයි.

“සහල්වල තත්ත්වයත් මෙයට දෙවැනි වන්නේ නැහැ. පාරිභෝගික සේවා අධිකාරිය පාලන මිලක් ප්‍රකාශයට පත් කළා යැයි මිල වෙනස් වන්නේ නැහැ. අද තොග මිල වන්නේ සම්බා රුපියල් 73/50යි. නාඩු රුපියල් 71යි. සුදු කැකුළු රුපියල් 60 ආදී වශයෙන්. සහල් අලෙවියේ සත්‍ය තත්ත්වය වන්නේ සිල්ලර මිල හා තොග මිල අතර පරතරය ඉතාම අඩුවීමයි මෝල් හිමියන් ලොරිවලින් රටපුරා සහල් බෙදා හරිනවා. මෙහිදී පාලන මිලටයි බිල් දමන්නේ. විකුණන මිල හා පාලන මිල අතර වෙනස මුදල්වලින් අයකරනවා පාලන මිලට දැමූ බිල්වල මුදල බොහෝ අවස්ථාවල සිල්ලර වෙළෙඳුන් ඉදිරි දින දැමූ චෙක්පත්වලින් ගෙවන අතර පරතරය එවෙලේම මුදලින් ගෙවනවා. මේ ව්‍යාපාරයේ සත්‍ය තත්ත්වය එයයි. එය පාරිභෝගික සේවා අධිකාරිය පවා දන්නා දෙයක්.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ:

“2016-2017 වසර දෙක මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව අමතක නොවන වර්ෂ වන්නේ පිට පිට කන්න තුනක වී වගාව පාළු වීමයි. ඊළඟ කන්නයද පාළු වුණොත් සිදුවෙන්නේ කුමක්ද යන්න සිතා ගන්නටත් අමාරුයි. මෙම තත්ත්වය පිළිබඳ උපකල්පනය කර තමා රජය සහල් ආනයනයට පහසුකම් සලසා ඇත්තේ.

අපේ රටේ පාරිභෝගිකයන්ට මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් අවශ්‍ය වෙනවා. දැනට රටේ ඇති වී තොග ඉදිරි මාස දෙක-තුනකට පමණක් සෑහෙන නිසයි ආණ්ඩුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීමට කටයුතු කර ඇත්තේ. එසේම පෞද්ගලික අංශයට මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට පහසුකම් සලසා තිබේ. මෙතෙක් පැවැති ආනයන බදු ඉවත් කිරීමෙන් එය සිදුව ඇත. ඉන්දියාව, පාකිස්තානය ආදී රටවලින් විශාල වශයෙන් සහල් ආනයනය කරනවා. මෙලෙස සහල් ආනයනය කර හෝ ගැටලුවට විසඳුමක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීම සතුටට කරුණක්.”

මහාචාර්යවරයා පවසන්නේ පසුගිය කන්නවලදී මෙන්ම ඉදිරියේදීද වර්ෂාව අඩුවෙන බව දැනගන්නට ලැබී ඇති බවයි. ජලය ලැබීමේ සම්භාවිතාව සහ වර්ෂාව පැතිරීමේ ප්‍රවණතාව අවම නිසා ජලය ඉතා සුරක්ෂිතව පාවිච්චි කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. මෙහිදී රජය මෙන්ම ගොවියන්ද එක හා සමානව වගකිව යුතු වෙයි. මේ කන්නයේදීද අපේක්ෂිත අස්වැන්නෙන් සියයට 50ක් පමණක් ලැබී තිබේ. ලබන ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වනවිට මෙම තත්ත්වය දිගටම පැවතුණොත් සහල් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අදහසය.

♦ යසවර්ධන රැද්රිගු