2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ලේබලේ තියන දේ කෑම බීමවල තියෙනවද?

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 318

“දැනුම්වත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකි” යන්න ප්‍රකට කියමනක් වුවද අප රටේ පාරිභෝගිකයා නිසි ලෙස දැනුම්වත්ද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ඕනෑම රටක සමස්ත ජනගහනයම සමන්විත වන්නේ පාරිභෝගිකයන්ගෙන්ය. එම නිසා පාරිභෝගිකයාට ඉතා වටිනා තත්ත්වයක් රටක් තුළ නිර්මාණය වී තිබේ. එම වටිනාකම නිසාම පාරිභෝගිකයන්ගෙන් විශාල අයිතිවාසිකම් රැසකට හිමිකම් කියති. එසේ වුවද රාජ්‍ය හා පෞද්ගලික යන යෑම ක්ෂේත්‍රයකම තීරණවලින් පීඩාවට පත්වන්නේද සමස්ත පාරිභෝගිකයන්මය.

යම් කිසි ආහාරයක හෝ භාණ්ඩයක හෝ ලේබලයේ තිබෙනා අමුද්‍රව්‍ය එම ආහාර හෝ භාණ්ඩ තුළ සැබෑ ලෙසම අඩංගු වී තිබේද යන්න සියලු පාරිභෝගිකයන්ට ඇති ගැටලුවකි.

සියලුම නිෂ්පාදන ලේබල් කිරීම පාරිභෝගිකයන්ට වැදගත්වන මාතෘකාවකි. 1980 අංක 26 දරන ආහාර පනත, 1990 ආහාර පනත හා 1993 ආහාර ලේබල් කිරීම සම්බන්ධ රෙගුලාසි යන පනත් මෙරට පාරිභෝගිකයා වෙනුවෙන් හඳුන්වා දී ඇත්තේ එබැවිනි.

මෙලෙස යම් කිසි භාණ්ඩයක් ලේබල් කිරීමේ පරමාර්ථද කිහිපයක්ද ඇත.

භාණ්ඩය පහසුවෙන් හඳුනාගැනීම

♦ භාණ්ඩය පාවිච්චි කිරීමේ උපදෙස් ලබාදීම
♦ නීතිමය අවශ්‍යතා සැපිරීම
♦ නිෂ්පාදකයාගේ නම හා ලිපිනය දැක්වීම
♦ භාණ්ඩයේ අලවි ප්‍රවර්ධනය
♦ ඇසුරුමෙහි නිමවුම් ද්‍රව්‍යය

යන කාරණා පිළිබඳව පාරිභෝගිකයාහට දැනුම ලබා දීමටය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය තේ හැඳි 01කි. සීනි තේ හැඳි 06 සහ මේදය හැඳි 01කි. එහෙත් දේශීය වෙළෙඳපොළේ තිබෙන ක්ෂණික නූඩ්ල්ස් වර්ග, ඩෙවල් වර්ග, මුරුක්කු, සුප්කැට ඇතුළු ආහාර ද්‍රව්‍ය 14කින් සහ තවත් ආහාර මගින් නියමිත ප්‍රමාණයට වඩා ලුණු, සීනි සහ මේදය මිනිස් සිරුරට ඇතුළුවන බව පරීක්ෂණවලදී හෙළි වි ඇත. එබැවින් ලේබලයේ ඇති අමු ද්‍රව්‍යය එම නිෂ්පාදන තුළ තිබේද යන්න පිළිබඳව පාරිභෝගිකයන් අනිවාර්යයෙන්ම දැන සිටීම අවශ්‍යය.

භාවිතයට ගන්නා ආහාර ද්‍රව්‍යය පිළිබඳ පමණක් නොව රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳවද පාරිභෝගිකයන් සුපරික්ෂාකාරී විය යුතුය. එලෙස අමුද්‍රව්‍ය නිවැරදි ලෙස නොයෙදූ රූපලාවන්‍යය නිෂ්පාදන ගැල්වීම් මගින් මෙරට ජීවිත බිලිගත් අවස්ථා ගණනාවක්ම පසුගිය කාලය තුළ සිදුවිය. පාරිභෝගිකයන් ලෙස ආහාර වර්ග මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍යවල දවටන පරික්ෂා කිරීමට අමතක නොකළ යුතු වන්නේ එබැවිනි.

පසුගිය කාලයේ පාරිභෝගික සේවා අධිකාරිය සිදුකළ පරීක්ෂණයකදී මනුෂ්‍ය ශරීරයට සුදුසු ප්‍රමාණයට වඩා ලුණු, සීනි, මේදය, ඇති ක්ෂණික ආහාර වර්ග හා බීම වර්ග 50කට අධික සංඛ්‍යාවක් හඳුනාගැනීමට හැකිව තිබේ.

ලේබලයේ හා දවටනයක සඳහන් කර තිබෙන අමුද්‍රව්‍ය නිෂ්පාදිත භාණ්ඩයේ එලෙසම තිබේදැයි සම්බන්ධව විවිධ පාර්ශව කිහිපයකින් විමසීමක් කළෙමු.

පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන්තා කරුණාරත්න

ඕනෑම පාරිභෝගිකයකුට තොරතුරු දැනගැනීමේ අයිතියක් තියනවා. එය පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකමක්. ඒ කියන්නේ අපි මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක් අපි පරිභෝජනයට ගන්න කලින් ඒවායේ අඩංගු වන අමුද්‍රව්‍ය පිළිබඳ දැනගන්න මිල පිළිබඳ දැනගන්න වගේම කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ දැනගන්න පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා. මේ අයිතිවාසිකම පාරිභෝගික අධිකාරි පනත යටතේ නීතියක් බවට තහවුරුවෙලා තියෙනවා. ඒ වගේම 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරි පනත යටතේ අපි අනිවාර්ය කරලා තියෙනවා. ඒ ආහාර වර්ග විකිණීම සඳහා ඉදිරිපත් කරද්දී අනිවාර්යයෙන්ම මිල, කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය බර සහ අමුද්‍රව්‍ය සටහන් වෙන්න ඕන කියලා. ඒ වගේම මේ පනතට තවත් වගන්තියක් තියනවා 30 සහ 31 කියලා ඒ වගෙන් කියන්නේ පාරිභෝගිකයා නොමගයවන ආකාරයේ වෙළෙඳාම් නිරතවෙන්න බැහැ කියලා. එතනදි ලේබලයේ දාලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක් තියනවා කියලා යම් අමුද්‍රව්‍ය ඉක්මවලා භාණ්ඩය තුළ තියනවානම් එහෙම සැකයක් තියනවානම් පාරිභෝගිකයාට පුළුවන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න. ඊට පස්සේ අපි ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වලා මිනිස් සිරුරට අහිතරක දේ තියනවා නම් මේ භාණ්ඩ වෙළෙඳපොළක් ඉවත් කරන්න අවශ්‍යය පියවර ගන්න මේ පනත යටතේ කරන්න පුළුවන්.

පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ

අපේ රටේ නීතියක් විදියටත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයාට දැනගැනීම සඳහාත් භාණ්ඩයක අන්තර්ගතය එහි සඳහන් කරන්න ඕන. වෙනත් රටවල්වල නිසි ආකාරයෙන් ඒක වෙනවා. නමුත් අපේ රටේ බොහෝ දුරට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන ආයතන විධිමත්ව මේ පිළිබඳව සොයා නොබැලීම. ඒ වගේම තමයි ආහාරවල විතරක් නෙවෙයි සුවඳ විලවුන් වගේ ද්‍රව්‍ය ගත්තත් මේ වෙන කොට විශේෂයෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මේවා භාවිතය තුළින් ඒ නිසා ඉතාම ඉක්මණින් මේ සඳහා අවශ්‍යය නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ඒ වගේම තමයි මේවා පිළිබඳව ව්‍යාපාරිකයන් සාමාන්‍යයෙන් වෙළෙඳ ආයතන දැනුම්වත් කරන්න ඕන මේ සඳහා නීතියක් තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ වගේම තමයි පාරිභෝගිකයන් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී එහි තිබෙන අන්තර්ගතය ගැන දැනුම්වත් යුතුයි. 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණි ධර්මවර්ධන

කිසියම් භාණ්ඩයකට අපි SLS සහතිකය ලබාදෙන්නේ කොන්දේසි කිහිපයක් මත. මේ සහතිකය යම් ආයතනයකට අපි ලබාදෙන්නේ නීති රීති ගණනාවකට එකඟ වුණාට පස්සේ. ඒ වගේම තමයි අපි මේ SLS සහතිකය ලබා දුන්නට පස්සේ ඒ ඒ කර්මාන්ත ශාලාවලට ගොස් පරීක්ෂාකරලා බලනවා. යම් භාණ්ඩයක නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වීමේ දිනය, යොදන අමුද්‍රව්‍ය ගැන ඒ භාණ්ඩයේ ඇසුරුම්වල එහෙම නැත්නම් ලේබල්වල සඳහන් වෙලා තියන්න ඕන. ඒ වගේම තමයි එහෙම තියන දේවල් නිෂ්පාදිත භාණ්ඩයේ අඩංගු විය යුතුයි. ඒ පිළිබඳව යම් පාරිභෝගිකයකු පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරලා යම් නිෂ්පාදනයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් අපි අපගේ ඒ සහතිකය එම සමාගමෙන් අවලංගු කිරීමක් සිදුකරනවා.

♦ හසිත් අංජන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00