2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සීනි කොම්පැණියට පවරාදුන් රජමහා විහාර නින්දගම

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

මොණරාගල සිට කි.මී.35ක් පමණ දුරින් පිහිටි ඇත්මලේ වත්තේගම ප්‍රදේශයේ ඝන වනාන්තර සමඟ ඔට්ටු අල්ලමින් ජීවත්වන අහිංසක ජනතාවක් සිටින ප්‍රදේශයකි. හේන් වගාකරමින්, කුඹුරු අස්වද්දමින් ඒ අතර නියඟයෙන් ද බැටකමින් දුෂ්කර ජීවිතයක් ගත කරන ඔවුන්ට පසුගියදා තවත් හෙනහුරෙක් කඩා පාත් වුණේය. ඒ බහු ජාතික බූවල්ලෙකුගේ අඬු විහිදාගත් සීනි කොම්පැණියකි. කොරියානු සමාගමක් සමඟ සම්බන්ධව පිහිටුවා තිබෙන සීනි සමාගමක් ඔවුන් යැපුණු ඉඩම් හිමිකරගෙන ඇත.

සීනි සමාගම සහ වත්තේගම රජමහා විහාරයේ නින්දගම් ඉඩම් අක්කර 2000ක් බදු පදනම මත පවරා තිබේ. හේන් සහ බඩඉරිඟු වගාවට යොදා තිබූ මේ ඉඩම්වලින් යැපුණු පවුල් සංඛ්‍යාව 450කි. එම පවුල් විහාර ඉඩම් භුක්තිවිඳීම වෙනුවෙන් විහාරයට වාර්ෂික බදු දීමනාවක් ද ගෙවූහ. පසුගිය වර්ෂයේ එම ඉඩම් කොම්පැණියට ලබා දීම නිසා දැන් ගොවි පවුල්වලට සිදුව ඇත්තේ අවට ගම්වල දවස් කුලියට කුලී වැඩට යාමටය. සමාගම පවරා ගත් ඉඩම් වටා විදුලි වැටක් ද ඉදිකර තිබේ.

පසුගියදා පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් වත්තේගමට ගියේ එම ඉඩම්වල මහා පුරාවස්තු සංහාරයක් වන බවට කරුණු ආරංචි වීමෙන් පසුවයි. මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක නටඹුන් රාශියක් තිබුණ ද ඒවා පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

“මිනිස්සු කියන විදිහට වත්තේගම රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් අක්කර 5000ක් පමණ තිබෙනවා. ඒ ඉඩම්වලින් තමයි මේ බදු දීලා තියෙන්නේ. මේ දිනවල ඒ ඉඩම්වල වනාන්තර ඉවත් කරලා උක් වගාවට අවශ්‍ය විදිහට භූමිය සකස් කරනවා. එහි මෝර පොකුණ කියන ස්ථානයේ තමයි නටඹුන් පැතිරිලා තිබෙන්නෙ. මෙම ඉඩම් තුළ පුරාවිද්‍යාත්මක ස්ථාන 25ක් පමණ තිබෙනවා. නමුත් ඒවායේ තිබූ ගල් කණු, සඳකඩ පහණ, පඩිපෙළවල්, ගොඩනැගිලි පාදම් සියල්ල පෙරළා දමමින් ඉවත් කරන බවයි පේන්නෙ. මේවා තැන්තැන්වලින් මතු වී පේනවා. මෙම නටඹුන් ඉක්මණින් විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පේනවා. අද බලලා හෙට වනවිට ඒ තැන්වලින් නටඹුන් අතුරුදහන් වෙලා.

අක්කර 25ක් පමණ විශාල ස්ථානයක තිබෙනවා ශෛලමය ගොඩනැගිලි රාශියක්, ගල් පුවරු, ගල් ආසන, මුරගල්, ගල් පඩි ආදිය එහි තිබෙනවා. මෙම ගල් පුවරු ඉතා සිනිඳුව ඔපමට්ටම් කළ ඒවා. එතැනට නුදුරින් පිහිටි කුඩා කඳු ගැටයක් නටඹුන් සහිතයි. කන්ද පාමුල පැරණි වැවක් තිබෙනවා. ඒ වැවත් විනාශ වෙලා.”

අනුරාධපුර යුගයට අයත් බෞද්ධ ආරාම සංකීර්ණ මෙලෙස විනාශවීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් බව කිවයුතු නොවේ. මෙවැනි මහා පරිමාණ ව්‍යාපාරයක් සිදුවන විට පරිසර ඇගයීම් වාර්තා සහ පුරාවිද්‍යා වාර්තා ද ලබා ගැනීම අවශ්‍යය. එහෙත් නිසි ක්‍රමවේදයකට අනුව එම වාර්තා ලබාගෙන ඇති බවක් නොපෙනෙන බව ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි. “දුර්වල පරිසර ඇගැයීම් වාර්තාවක් මෙයට ලබාගෙන තිබෙන්නේ. පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තා ලබාගත් බවක් පේන්න නැහැ. ගොවි පවුල් 2000ක් පමණ කුඹුරු වගාකරන කොටියාගල වැවේ ඉහත්තෑවේ තමයි මේ උක් වගාව පටන් ගන්න යන්නේ. ඒ වගේම මී හරක් හා හරක් ගාල් විශාල ප්‍රමාණයක් මේ වනාන්තර ඉඩම්වල තිබුණා. ඒ ගොවි පවුල් දැන් අසරණ වෙලා.” ඔහු වැඩිදුරටත් කීවේය.

සමාගමේ ඉඩම වටා වැටක් ඉදිකිරීමෙන් අවට ගම්මානවල අලි කරදරය උත්සන්න වන බවත් ගැමියෝ පවසති. එම ප්‍රදේශවල සැරිසරණ අලි ගම්මානවලට සංක්‍රමණය වීම සිදුවන හෙයිනි.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී (එ.ජ.නි.ස) පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ද පසුගියදා මේ ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අතර ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තුවලට කර තිබෙන හානිය ඔහුට දැක ගැනීමට ලැබුණි. පුරාවිද්‍යා ගවේෂණයක් කර අනුමැතිය දියයුතු වූවත් මෙවැන්නකට කෙසේ අනුමැතිය දුන්නාදැයි ප්‍රශ්නයක් බව ඔහු පවසයි. ඓතිහාසික සාධක සහිත මෙවැනි ප්‍රදේශයක මෙවැනි ව්‍යාපෘතියකට ඉඩදිය නොහැකි නමුත් වත්මන් රජය හා අදාළ ආයතන ඊට අනුමැතිය දී තිබීම පුදුමයට කරුණක් බව ද ඔහු සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඔහු ලිපියක් යොමුකර ඇති අතර, එහි පිටපත් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාල දිස්ත්‍රික්කය වන මොණරාගල භූමි ප්‍රමාණය වර්ග කි.මී.5636කි. අප රටේ වැඩිම වනාන්තර ප්‍රමාණයක් පැතිර පවතින දිස්ත්‍රික්කයක් වශයෙන් ද මොණරාගල වැදගත්ය. බහුජාතික  සමාගම්වලට වැඩිම ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ද එහිය. 90 දශකයේ සිට අද දක්වාම එය සිදුවෙමින් පවතී. රජයේ අරමුණ වසර 2020 වනවිට රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් 50%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමය. දැනට රටේ පවතින සීනි කර්මාන්තශාලා 4න් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 56000ක් නිෂ්පාදනය කෙරේ.  එහෙත් ඒ සඳහා රටේ වනජීවී උරුමය සහිත හා පුරාවිද්‍යා වටිනාකම් සහිත භූමි ප්‍රදේශ බිලිදීම නම් කිසිවකුත් අනුමත නොකරනු ඇත. දැන් කළ යුත්තේ වහාම මේ ඉඩම්වල පවතින පුරාවිද්‍යා ස්මාරක ගැන නිසි අධ්‍යයනයක් කර ඒවා සංරක්ෂණයට කටයුතු කිරීමය. 
එසේ නැතහොත් උක් වගාව ආරම්භයත් සමාගම එම නටඹුන් ද අතුරැදන්වී ගල් කරපු වෙනත් ගොඩනැගිලිවලට යටවීමට ඉඩ ඇත. 

♦ කුසුම්සිරි
සේයාරූ අනුග්‍රහය - එල්ලාවල මේධානන්ද හිමි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00