2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

පොරොන්දම් විස්සම ගැලපුනත් කසාදෙ හබක්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 704

තම ඉදිරි විවාහය කෙසේ ගතකරනවාද යන තොරතුරු උපදින විටම මෙලොවට රැගෙන එන දායාදයකි. පෙර භවයන්හිදී සිදුකළ විවාහ කඩාකප්පල් කිරීමේ අකුසලමය වරදට දඬුවම් විඳීමට නියමිත ජීවීන් එකී දඬුවමට යටත්වීම වළකාලීම අති දුෂ්කර කටයුත්තකි. පොරොන්දම් විස්සක් පමණක් බලා තීරණ ගැනීම විවාහයට සෑහෙන්නේ නැත. ජන්ම පත්‍රයේ පවතින උත්පත්ති පිහිටීම් මත විවාහ ජීවිතය කෙසේ ගතවේද යන්න තෝරා බේරාගත යුතුයි. විවාහ කඩාකප්පල් වන යෝග රාශියක් පවතී.

1965.02.23 දින අනුර නැකතේ දෙවන පාදයෙන් උපත ලබා වර්ෂ 12 මාස 05 දින 17ක් ඉදිරියට සෙනසුරු ග්‍රහයාගේ දශාව පැවතින.

යම් ස්ථානයක අධිපතියෙකු නාශාංශක ගතවීනම් එකී ස්ථානථල විනාශකර දමයි. කිසියම් ග්‍රහයෙකු මේෂ - මිථුන - සිංහ - තුලා - ධනු - කුම්භ යන රාශියක 07 නවාංශකයේ වී නම් මෙම ග්‍රහයා නාශාංශක ගතවූවා වන්නේය.

එමෙන්ම යම් ග්‍රහයෙකු :- වෘෂභ - කටක - කන්‍යා - වෘශ්චික - මකර - මීන යන රාශියක 03 වෙනි නවාංශකයේ වී නම් එම ග්‍රහයා නාශාංශක ගත වූවා වන්නේය. නාශාංශක දෝෂයට හත අධිපතියා ලක්වූයේ නම් කොතරම් උත්සාහ කළත් එම ජන්මියාට විවාහයෙන් නියම කාම සම්පත් විඳගැනීම අසීරු වෙනවා ඇත.

උදාහරණ ජන්ම පත්‍රයේ හත්වැන්නාධිපතියා වූ සඳු ග්‍රහයා ලග්න කුණ්ඩලියේ වෘශ්චික රාශියේද නවාංශක කුණ්ඩලියේ කන්‍යා නවාංශකයේද බැවින් එකී ග්‍රහයා නාශාංශක දෝෂයට හසුවී ඇත.

මූල ග්‍රන්ථවල පවතින හත අධිපතියා නාශාංශක ගතවූවත් ඔහු රවි හෝ සඳු නම් නාශාංශක දෝෂය බලනොපාන බවකි. නමුත් මෙම ජන්මියාට එකී නාශාංශක දෝෂ පීඩාව කුමන ප්‍රමාණයකින් හෝ ලැබී ඇති බවක් පෙනේ.

ඇය විවාහ වී ඇත්තේ 1993 ජූලි මාසයේදීය. ඇයගේ සතුට 1996 සිට පලා යන්නට පටන්ගෙන ඇත. අමිහිරි විවාහ දිවියට ආයුබෝවන් කියමින් 2002 දී ඇය දික්කසාද වී ඇත.

ජන්මියාගේ හත්වැන්නාධිපතියා නාශාංශක නම් විසි පොරොන්දම් ගැලපීම් තිබුණත් විවාහය නීරසවන බව ජන්මියාට වටහා දීම ජ්‍යොතිෂර්වේදීයාගේ යුතුකම වන්නේය.

ජන්ම පත්‍රයේ අටවැන්නාධිපතියා හත්වැන්නාධිපතියා සමඟ කුමන හෝ සම්බන්ධයක් ඇතිව උපදින ජන්මියා තම විවාහය දෙදරවා ගන්නේය. සංසාරගත සතුරෙක් ජන්මියාට විවාහය සඳහා මුණගැසෙනු ඇත.

උදාහරණ ජන්ම පත්‍රයේ අටවැන්න සිංහයයි. එහි අධිපතියා දෙවැන්නේ සතුරු රාශියේ තැන්පත්ව ඇත. ඔහු තම දසවන දෘෂ්ටියේ 7 වැනියා වන චන්ද්‍රයාව දකී. ජන්මියාගේ විවාහය දෙදරා යාමට මෙම යෝගය බලපා ඇති බව පෙනේ.

යම් ජන්ම පත්‍රයක රවි සමඟ ශනි ග්‍රහයා සම්බන්ධ වූ විට විවාහය කඩාකප්පල් වී යනු ඇත. උදාහරණ ජන්ම පත්‍රයේ විවාහයෙන් පසු ජීවිතය කියාපාන්නාවූ මංගල යහන වන දෙවැන්නේ ශනි ස්වක්ෂේත්‍ර බලයෙන් සිටී. රවි සතුරු - ග්‍රහයා වී සිට ජන්මියාගේ විවාහය දෙදරවා හැරියේය.

ජන්ම පත්‍රයේ ලග්නයෙහි සිකුරු තැන්පත් වෙයි. එකී සිකුරු හත්වැන්නාට දෘෂ්ටි දෙයි. මේ නිසා බැලූ බැල්මට රූමත් මෙකී ජන්මියාට යහපත් යුග දිවියක් ගතකළ හැකි වනු ඇත.

එසේ වෙතත් තවදුරටත් පරීක්ෂා කරන විට පෙනීයන්නේ එකී සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ 64 වන විෂ නවාංශකාධිපතියා බව බවය. ඒනිසා 64 වන නවාංශකාධිපතිගේ සප්තම දෘෂ්ටිය හේතුකොට ගෙන විවාහය දෙදරවා දැමූ බව පෙනේ.

මානසික අසමතුලිතතා යෝග නිසා විවාහය දෙදරයි

ජන්ම පත්‍රයක චිත්ත කාරකයා වන චන්ද්‍රයා දුර්වල වීම නිසා ජන්මියා මානසික රෝගියෙක් වීමට පසුබිම සැළසෙයි.
මෙම ජන්ම පත්‍රයේ එකී චන්ද්‍රයා නීච රාශියේ තැන්පත්ව සිටී. එවිට කේතු ග්‍රහයාද එහි තැන්පත්වී තවදුරටත් චන්ද්‍රයා දුර්වල කරයි. එමෙන්ම ශනිගේ දහවන දෘෂ්ටිය නිසා තවදුරටත් චන්ද්‍රයා දුර්වල වෙයි.

ශනි හතපති දැකීම නිසා ද විවාහය ප්‍රමාද කරයි. ජන්මියාගේ විවාහය සිදුවන්නේද වයස අවුරුදු 25 දීය. එකී චිත්තකාරක චන්ද්‍රයා හතපතීයාද නිසා මානසික රෝග හටගන්නේ විවාහය මුල් කරගෙනය.

රාහුගේ සප්තම දෘෂ්ටිය ද චන්ද්‍රයාට එල්ල වන නිසා සෙනසුරු කෙරෙහි සැකය මතු කෙරේ.

චන්ද්‍රයා ගමන් කර තිබුණේ ශනි නිසා අනුර නැකතේය. එයද ජන්මියා මානසික රෝගියෙකු කරන පිහිටීමකි. මෙකී චන්ද්‍රයා 7 පතියා වීම නිසා විවාහය දෙදරා ගියේය.

2 – 4 – 7 – 8 – 12 පීඩා වූවොත් විවාහයට අනේකවිධ බාධා ගෙනේ

මෙම ජන්ම පත්‍රයේ 12 අධිපතියා වන ගුරු ග්‍රහයා සිව්වැන්නේ සතුරු රාශිගතව පාපී ශනි - කුජ - රවිගෙන් දෘෂ්ටි ලබයි.
හතපති චන්ද්‍රයා දුර්වලව සිටිමින් 7 වැන්න 64 වන නාවාංශකාධිපතිගෙන් දෘෂ්ටි ලබයි. අට වැන්නාධිපතියා වන රවි ග්‍රහයා දෙවැන්ගේ සතුරු රාශිගතව තැන්පත්ව ශනි සමඟ යෝගව පීඩාවී සිටී. දොළොස්වැන්නට කුජගේ දෘෂ්ටිය එල්ල වෙයි. මේවායේ ප්‍රතිඵල වූයේ විවාහය කඩාකප්පල් වී යාමය. 

මේ නිසා විසි පොරොන්දම් පමණක් බලා විවාහ වන්න එපා. ඔබේ පුද්ගලික ජ්‍යෙතිර්ෂවේදියා අමතා විවාහය සම්බන්ධයෙන් බලපාන සියලු ග්‍රහ යෝග පරීක්ෂා කරගන්න.

අපල දුරුවීමට ජ්‍යොතිෂ උපදේශමය පිළිවෙත් සමඟ “දසදිසා පිරිත” භාවිත කරන්න.

“ජ්‍යොතිෂ නන්දන” 
“විශ්වකිර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී”
ගාල්ලේ තලගහ, අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන