2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

නියඟය රටෙන් තුනෙන් එකක් ගිලියි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 06:01 1805

අද වනවිට දිස්ත්‍රික්ක ගණනාවක පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, තන්තිරිමලය, රඹනව, මිහින්තය, මහවිලච්චිය, නොච්චියාගම, ගලෙන්බිඳුණු වැව, කැබැතිගොල්ලෑව, එප්පාවල, කලාවැව ඇතුළු ගොවිජනපද රැසක ජනතාව දැඩි දුෂ්කරතාව මැද දිවි ගෙවති. මෙම ප්‍රදේශයේ බොහෝ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනය. මේ හේතුවෙන් තම ගොවිතැන් හා වගාවන් කරගැනීමට නොහැකිකමින් ගොවීහු දැඩි පීඩාවකට පත්වී සිටිති.

වැසි ලැබේවීයැයි විශ්වාස කරමින් තම බෝග වගාවන් ආරම්භ කළ බොහෝ ගොවීන් වගා හානිවීමත් සමඟ බොහෝ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇත.

රජරට පිහිටි ජලාශවල හා වැව් ගංගා පිරීයාමට තරම් අවශ්‍ය තරමට වර්ෂාව මාස ගණනාවකින් ලැබී නැත. මේ වනවිට ප්‍රදේශයේ බොහෝ ළිං හිඳී ගොස් පවතී.

මේ කාලයේ දිස්ත්‍රික් ගණනාවකට දැඩි ලෙස බලපා ඇති නියං තත්ත්වය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යාංශයේ ආචාර්ය නිෂාන් සකලසූරිය මහතාගෙන්  විමසීමක් කළෙමු.

මෙම වියළි දේශගුණික තත්ත්වය අද වෙද්දී බහුලව දකින්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයක්, අන්තර් මැද දේශගුණික කලාප දෙක අතරේයි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 20%ක් තෙත් කලාපයට අයත් වෙනවා. එමෙන්ම වියළි කලාපය 60%ක්ද අන්තර් මැද දේශගුණික තත්ත්වය 20%ක්ද අඩංගු වෙනවා. මේ හේතුව නිසා මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රදේශයෙන් 80%ක්ම මෙම නියඟය බලපාලා තියෙනවා. මේ අතර අද වෙද්දී දිස්ත්‍රික්ක 15 – 20 අතර මේ නියඟය ව්‍යාප්ත වී තියෙනවා.

නියඟය ව්‍යාප්තිය අනුව මේ කාලය නිරිතදිග මෝසම් කාලය ලෙස හැඳින්විය හැක. දේශගුණික තත්ත්වය හමුවේ නිරිත දිග මෝසම් කාලයට සරිලන වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවට නොලැබිණි. පසුගිය දිනවල නිරිත දිග කලාපයේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව ලැබුණද එය ප්‍රමාණවත් ලෙස ලැබුණු වර්ෂාවක් ලෙස හැඳින්විය නොහැක.

පසුගිය කාලයේදී තෙත් කලාපයේ කොළඹ වැනි ඇතැම් ප්‍රදේශවල ඉතා තදින් ඉතා කෙටි කාලයක් තුළ වර්ෂාවක් ඇද වැටුණි. එයින් ක්ෂණික ගංවතුරක් ඇතිවුණි. ඇතැමුන් මෙය දෙවියන් කෝප වීම වැනි මිත්‍යා මත ඉදිරිපත් කළද මෙය ලංකාවේ දේශගුණික තත්ත්වයේ සාමාන්‍ය සිදුවීමකි.

මේ වෙද්දී වියළි කලාපයේ තිබිය යුතු වන්නේද වියළි දේශගුණික තත්ත්වයකි. සාමාන්‍යයෙන් මේ කාලවලදී වර්ෂාව වර්තා නොවේ. අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මන්නාරම වැනි බොහෝ ප්‍රදේශවලට මේ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ. මේ තත්ත්වයට බලපාන හේතුව වන්නේ ශ්‍රී ලංකාව මේ වෙද්දී නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ මෙම වියළි කලාපය හා අන්තර් මැද දේශගුණික කලාප කඳු මුවාවී පවතින භූමියක පිහිටා තිබීමය. මේ නිසා නිරිත දිග තැනිතලාවට වර්ෂාව ලැබීමේදී බාධාවක් ඇති වේ. නිරිත දිග මෝසමත් සමඟ ඇතිවන ජල වාෂ්ප පදනම් කරගෙන වර්ෂාපතනය සිදුවෙයි.

මාර්තු මස සිට නොවැම්බර් වනතුරු මස අටක් වියළි කලාපයට වර්ෂාපතනය ලැබීමත් සිදුවන්නේ නැත. වියළි කලාපයේ වැව් ශිෂ්ටාචාරය ආරම්භ වන්නේද එතැනිනි.

ඒ කාලයේදී රජවරු රජරට යැයි නම්කර මෙම වැව් ඇතිකළේ මේ ජල ප්‍රශ්නය නිසායි. පසුකාලයේදී එයට තෙත් කලාපයේ ජල චක්‍රය සම්බන්ධ කළ විශේෂයෙන් මහසෙන් රජු, පරාක්‍රමබාහු රජු වැනි රජවරුන් තෙත් කලාපයේද වැටෙන අධික වර්ෂාපතනය නිසා ගලාගෙන යන ගංගා හරස්කොට වියළි කලාපය දෙසට ජලය හරවා ගත්තා. එම ජලයෙන් වැව් පිරීගියා. යෝධ ඇළ වැනි ඇළවල් එයට හොඳ නිදසුන්. තෙත් කලාපයට වැටුණු අධික වර්ෂාපතනය වියළි කලාපයට හරවා වියළි කලාපයේ වතුර නැති මාස අට පුරාවට යලකන්නයේ වගා කිරීමට මෙම ජලය ප්‍රයෝජනයට ගත්තා.

නිෂාන් සකලසූරිය මහතා සඳහන් කරයි. 

මෙම ක්‍රියාවලිය පසුකාලයේදී තවත් ශක්තිමත් විය. වනාන්තර ආශ්‍රිතව ඩොනමෝර් ආණ්ඩුක්‍රම සංක්‍රමණයෙන් පසුව ලංකාවේ ගොවිජන ව්‍යාපාරය ඇතිකර එම ප්‍රදේශ දියුණු කර සංවර්ධන කිරීම ආරම්භ විය. මේ අනුව ගොවිජන ව්‍යාපාර ආරම්භ විය. ගල්ඔයෙන් බහු කාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ විය. ගංගා නිම්න සංවර්ධනයද ඇතිවී ඒ හරහා මුළු භූමි ප්‍රදේශයේ 39%ක් මහවැලි සංවර්ධන ව්‍යාපාරය හරහා යල කන්නයට ජලය ලබාදී නියඟයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනු ලැබීය. එහි ආරම්භයේ 1976 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය පොල්ගොල්ල වේල්ල බැඳ ගඟ හරස් කොට එම ජලය වර්තමානයේදී හඳුන්වන මහවැලි එච් කලාපයට ලබාදීම ආරම්භ කළේය. එයින් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ආරම්භය විය.

අද වෙද්දී පවතින මෙම තත්ත්වය නියඟයක් ලෙස දකින්නේ කාලයක් තිස්සේ මෙම ගොවීන් මෙම ජලයට හුරුවී සිටීම නිසාය. මෙම වාරි ජලයට හුරුවීම නිසා එම වාරි ජලය පදනම් වූ ජීවන රටාවක් ඔවුහු අනුගමනය කළෝය. මෙම වාරි ජලය අඛණ්ඩව සම්පාදනය වීම තුළින් වසරක් පාසා පවතින මෙම නියං කාලය පිළිබඳව වැඩි අවබෝධයක් මේ පළාත්වල ජනතාව අතර නොතිබුණි.

පසුගිය කාලයේදී ලංකාවට ඊසාන දිග මෝසං කාලය නිසි පරිදි ඇති නොවිණ. 2016 නොවැම්බර් මස සිට 2017 පෙබරවාරි දක්වා වැසි ඇද වැටීමක් බලාපොරොත්තු වූවද (ඊසාන දිග මෝසං කාලයට අනුව) එවැනි වර්ෂාපතනයක් ලංකාවට ලැබුණේ නැත. එවැනි වර්ෂාපතනයක් ලැබුණේ නම් වැව් යම්තාක් දුරකට පිරීයාමක් ඇතිවේ. එම ජලයෙන් කුඹුරු වගාකොට වැව්වල තවත් ජල ප්‍රමාණයක් ද ඉතිරි කොට මේ මෙම ඉතිරි වන ජලය වියළි කලාපයේ ප්‍රයෝජනයට ගැනීමද කළ හැක.

නමුත් ඊසාන දිග මෝසං මාසයේදී නිසි වර්ෂාව නොලැබී යාම හේතුවෙන් වියළි කලාපයේ නියඟය ආරම්භ විය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ පෙර සඳහන් කළ ඊසාන මෝසම නිසි පරිදි සක්‍රීය නොවීමයි. මෙයට ගෝලීය වශයෙන් සිදුවන දේශගුණ විපර්යාසයන්ද බලපායි. 

ඉන්දියාවේ බොහෝ පිරිසක් වියළි දේශගුණික තත්ත්වයෙන් අනාථ වුණා. නමුත් අප රටේ තෙත් කලාපයේ ජලය තියෙනවා. එකවරම මුළු ඉන්දියාවටම වතුර නැතිවුණේ ලංකාවට එහෙම වෙන්නේ නෑ. ලංකාවේ තෙත් කලාපයේ ඇති ජලය කළමනාකරණය කිරීමට හැකියාව තියෙනවා. ඇතැම් ප්‍රදේශයේ වෙල් යායවල්වල කොටසක් වගාකොට තවත් කොටසක් අතුරු බෝග වගාවවත් කළහැකියි. මේ අනුව මේ නියඟයේ ප්‍රධාන හේතුව වන්නේ ඊසාන දිග මෝසමත් ලැබෙන්නට තිබූ වර්ෂික වර්ෂාපතනය එම කාලය තුළදී අපිට තෙත් කලාපයෙන් ලැබෙන වර්ෂාපතනයක් නැහැ. ඒ නිසා ගංගාවල ගලායන අතිරික්ත ජල ප්‍රමාණය හරහා වැව් පුරවන්නට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ආචාර්ය නිෂාන් සකලසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ නියඟය හේතුවෙන් සහල් ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. නියඟයට මුහුණ පා ඇති බොහෝ ප්‍රදේශවල ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවයන් සපිරූ ළිං සියල්ල අද වෙද්දී සිඳීගොසිනි. ප්‍රදේශවල ජනතාවට මෙන්ම කැලෑවල ජිවත්වෙන අලීන් ඇතුළු සතා සිව්පාවෝද බීමට ජලය නොමැතිකමින් මහත් ගැටලු රැසකට මුහුණ දී සිටිති. ප්‍රදේශයේ පිහිටා ඇති ජල උල්පත්ද අද වෙද්දී සිඳීගොස් ඇත.

මේ වෙද්දී බලාපොරොත්තු වර්ෂාපතනයෙන් 50%ක්වත් වර්ෂවක් ඇදවැටී නැත. මේ නිසා තෙත් කලාපයේ ජලය වියළි කලාපයේ වැව් පිරවීමට යොදාගත නොහැකි වී ඇත.

ජලය කළමනාකරණය කිරීමට ජලය අපට ලැබිය යුතුය. අහසින් පොළොවට ලැබෙන ජලය කළමනාකරණය කිරීම වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ රජයෙත් වගකීමය. නමුත් මෙවර ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ප්‍රමාණවත් ජලයක් පොළවට පතිත නොවීමයි. ඒ නොමැති වීමට සමස්ත මානව ප්‍රජාවම වගකිව යුතුය. ඉතිහාසයේදීද මෙවැනි තත්ත්වයන්ට ලංකාව මුහුණ පා තිබූ බවට වාර්තා වේ.

මෙම නියං තත්ත්වය රටෙන් තුනෙන් එකකට ආසන්න මිනිසුන්ගේ ජීවනෝපායට බලපා තිබේ. ආර්ථිකයට බලපා තිබේ. ලංකාවම බොහෝවිට වර්ෂාව බලාපොරොත්තු විය හැක්කේ නිරිත දිග මෝසම සක්‍රීය වන නොවැම්බර් මාසයේය. නමුත් අගෝස්තු මාසයේ කඳන් පුපුරන වැස්ස ලෙස වර්ෂාව වියළි කලාපයේ දැකිය හැක. විශාල මෝසම් සුළං නොමැතිකම නිසා වායු ඉහළට ගොස් විශාල වළාකළු අඩි හතළිස්දාහකට පමණ ඉහළින් වර්ධනය වී අකුණු ගසමින් සවස් කාලයේදී වැසි ලැබිය හැක. මෙය වියළි කලාපයට පමණක් නොව ලංකාවටම දැකිය හැකි තත්ත්වයක් වේ.

 

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00