2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තේ Ekho Lake House හෝටලේ

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 277

ශ්‍රී ලංකාවේ දෙවැනි රාජධානිය වන පොළොන්නරුව කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක්. මේ නිසාම පොළොන්නරුව කරා ඇදී එන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාවත් අති විශාලයි. විජයබාහු රජු තමන්ගේ අගනුවර වශයෙන් තෝරාගත් පොළොන්නරුව, ලංකාවේ හොඳම වාස්තු විද්‍යා නිර්මාණ සහිත නටබුන් නගරය ලෙසත් සැලකෙනවා. 

පොළොන්නරු පරාක්‍රම සමූද්‍රයේ එක් ඉවුරක පිහිටා තිබුණු පොළොන්නරුව රෙස්ට් හවුස් හෝටලය වර්තමානයේදී EKHO Lake House නමින් නව මුහුණුවරකින් ඉදිරිපත් කොට තිබෙනවා. එහි හිමිකාරිත්වය පවතින්නේ සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් වෙතයි. 

බ්‍රිතාන්‍ය ජාතික රජයේ නිලධාරීන්ගේ නිවස්නයක් ලෙස 1870දී ඉදිවුණු වර්තමාන හෝටල් ගොඩනැගිල්ල 1954දී ලංකා සංචාරක මණ්ඩලය යටතට ගනු ලැබුවා. ඉන් අනතුරුව පොළොන්නරුව රෙස්ට් හවුස් නමින් එය දිගටම භාවිත වූයේ සංචාරක නිකේතනයක් ලෙසයි. 

1954දී වත්මන් බ්‍රිතාන්‍ය මහ රැජන සිය ආසියානු සංචාරය අතරතුර ලංකාවට පැමිණි අවස්ථාවේදී නවාතැන් ගත් එක් ස්ථානයක් ලෙසත් මේ හෝටලය හඳුන්වන්න පුළුවන්. කාලයත් සමඟ සුවිශේෂී බුටික් හෝටලයක් ලෙස දියුණුවට පත් මෙම හෝටලය අද වනවිට 21 වැනි සියවසේ හැඩහුරුකම් සියල්ලෙන් අනූන නවීන හෝටලයක් බවට පත්ව තිබෙනවා. 

සුඛෝපභෝගී කාමර 14කින් වගේම පරාක්‍රම සමුද්‍රය දෙසට හැරුණු දැකුම්කලු පිහිනුම් තටාකයක්, රසවත් ආහාර පිරිනැමෙන අවන්හලක් සහිත EKHO Lake House හෝටලය ඉහළ සුවපහසුව සමඟ සැබෑම ආගන්තුක සත්කාරයක් පිරිනමන නවාතැනක්. 

එහි කාමර අතුරින් 9ක් සුපීරියර් කාමරයි. ඉන් පහක් පරාක්‍රම සමූද්‍රය දෙසටත් හතරක් නටබුන් නගරය දෙසටත් මුහුණලා තිබෙනවා. ඩියුලක්ස් කාමර හතරම පරාක්‍රම සමූද්‍රය දෙසට විවෘතයි. මෙහි Royal’s Suite නමින් ඇති විශේෂිත කාමරය රැජන ලංකාවට පැමිණි අවස්ථාවේදී නවාතැන් ගත් කාමරයයි. එහි එළිමහන් ජැකූසි තටාකයක් වගේම පෞද්ගලික ටෙරසයක් සහ පෞද්ගලික ආහාරගැනීමේ වේදිකාවකුත් පවතිනවා. 

මේ සියලු කාමර වායුසමීකරණය කර තිබෙනවා. ඊට අමතරව මිනි බාර්, සේප්පු, තේ සහ කෝපි පිළියෙල කරගැනීම පහසුකම්, කේබල් ටීවී, නවීන නාන කාමර වැනි බොහෝ දෑ මේ කාමරවල අන්තර්ගතයි. 

හෝටලයේ පිරිනැමෙන ආහාර අතරින් වැව්මාළු වලට හිමිවන්නේ විශේෂ තැනක්. පරාක්‍රම සමූද්‍රයෙන්ම අල්ලා ගන්නා නැවුම් මාළු සහ මිරිදිය පොකිරිස්සන් ආහාරයට ගන්න එහිදී පුළුවන්. ඒ සමඟ සැබෑම ශ්‍රී ලාංකික ගැමි රසයට කෑම බීම ලබාගන්න පුළුවන් වගේම වෙනත් රටවල ආහාර වර්ගත් කැමැත්ත පරිදි ලබාගත හැකියි. 

යුනෙස්කෝ කෞතුකාගාරය හා පොළොන්නරුවේ ඓතිහාසික නටබුන් නරඹන්න වගේම මෙහි සිට මිනිත්තු 15කදී මින්නේරිය, කවුඩුල්ල, හුරුළු වැව ආදී වන රක්ෂිත කරාත් ළඟාවෙන්න හැකියාව තිබෙනවා. විල්පත්තුව ඇත්තේ තවත් පැයක දුරින්. 

-සනත් වීරසූරිය
-සේයා රූ - ශාන් බන්දු වීරසිංහ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00