2017 ජුලි 29 වන සෙනසුරාදා

නාවලපිටියේ දොළ අයිනේ බංගලාව Spittel Bungalow

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

නාවලපිටිය කියන්නේ ලංකාවේ තියෙන වෙනත් කිසිම තැනකට නොදෙවැනි තරම් ලස්සන ප්‍රදේශයක්. මහවැලි ගං ඉවුරේ පිහිටා ඇති නාවලපිටිය යටත් විජිත සමයේදී ලංකාවෙ කුළුබඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් විදිහටත් කාර්යබහුලව පැවැතුණා.

නාවලපිටියේ ඇති තවත් සුවිශේෂී ස්ථානයක් විදිහට වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල්ගේ බංගලාව හෙවත් හෙරන්ඩේල් වතු බංගලාව හඳුන්වන්න පුළුවන්. නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර 3ක් දුරින් නාගස්තැන්න ප්‍රදේශයේ තමයි මේ බංගලාව පිහිටා තිබෙන්නේ. අද එය සංචාරක නිකේතනයක්. 

කොහොම නමුත් ස්පිට්ල් බංගලාව කරා දිවෙන ගමන් මාර්ගය නම් අතිශය දුෂ්කරයි. ජීප් රියකින් මිස වෙන වාහනයකින් ඒ කරා යා නොහැකි තරම්. 

හෙරන්ඩේල් වතුයාය කියන්නේ ලංකාවේ මුලින්ම කෝපි වගා කළ වතු කිහිපය අතුරින් එකක්. පසුකාලීනව කෝපි වගාවට වැළැඳුණු රෝගයෙන් පස්සේ හෙරන්ඩේල් වත්තේ කෝපි වගාවත් අත්හැර දැමුණා. මේ වතුයායේ අක්කර 25ක භූමියක පිහිටලා තියෙන මේ බංගලාව වෛද්‍ය ස්පිට්ල් මහතා විසින්ම ඉදිකරනු ලැබූවක්. 

යුගල කාමර හතරක්, එක් පවුලේ කාමරයක් සහ තනි කාමරයක් මේ බංගලාවේ නවාතැන් ගැනීමට එන සංචාරකයන් සඳහා විවෘතයි. ඒ වගේම තවත් නවීන පහසුකම් බොහෝමයක් එහි අන්තර්ගතයි. 

මෙහි පැමිණෙන සංචාරකයන්ට හිමිවෙන තවත් සුවිශේෂී අත්දැකීමක් තමයි ස්වාභාවික දොළ පාර. පිහිනුම් තටාකයක කාලය ගෙවනවාට වඩා සොබාදහමට සමීපව කල් ගෙවීමට එහිදී අවකාශ හිමිවෙනවා. 

ස්පිට්ල් මහතා හා බැඳුණු ඉතිහාසය වගේම සොබාදහමේ අපූර්වත්වයත් විඳගැනීමට මෙහිදී ඉඩ ලැබෙන නිසා ස්පිට්ල් බංගලාවේ ගත කරන නිවාඩුව අතිශය විශේෂයි. ඒ වගේම අසල තිබෙන වතුයායේ සුන්දරත්වය වගේම හබරගල වැනි අවට කඳු පන්තීන්හි සංචාරය කරන්නත් ශාක හා සත්ත්ව විශේෂ දැකබලාගන්නත් හැකියාව තිබෙනවා.

 සනත් වීරසූරිය
සේයාරූ | ප්‍රියංක සමරවීර