2017 ජුලි 22 වන සෙනසුරාදා

කළුතර කළු වැඩ යමරෙට..

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 604

උදෑසන හිරු රශ්මියත් එක්කම කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 40ක් පමණ ගාලු පාර ඔස්සේ අපි කළුතර නගරයට සේන්දු වූයෙමු. කළුගඟ ගලාගෙන යන කළුතර නගරයට පිවිසෙන්නටත් පෙර ඈතින් සුදිලෙන කළුතර චෛත්‍යරාජයා දැකගන්නට ලැබෙයි. කළුතර අර්ධනාගරික මධ්‍යම සාක්ෂරතාවකින් යුතු නගරයකි. එකොළොස් වැනි ශත වර්ෂයේ දී දකුණු ඉන්දීය කුමාරයාගේ අණ පරිදි මෙම නගරය තාවකාලික අගනුවර බවට පත්වූවත් කළුතර නගරය පොල් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ බවත් ඉතිහාසය අපට කියාදෙයි. පෘතුගීසින්, ඉංග්‍රීසීන්, ලන්දේසීන් ආදීහු මෙහි වරින්වර පාලන කටයුතු සඳහා බලකොටු සාදාගෙන සිටියහ.

කළුතර නගරයේ කළුතර බෝධිය අසලින් දිවයින කළුගං මෝය අසල මීටර් 38ක් දිග කළුතර පාලම ඉදිවී තිබේ. එය ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු කොන්ක්‍රීට් පාලම වශයෙන් ඉතිහාසයට එක්ව තිබේ. 

කළුතර සංචාරක ආකර්ෂණය දිනාගත් නගරයකි. මේ දිනවල වැඩි වශයෙන් ඵලදාව ලැබෙන මැංගුස් සහ රඹුටන් වෙළෙන්දෝ කළුතර නගරයේ මේ දිනවල හැමතැනම දක්නට සිටිති. කළුතර නගරය පෙම්වතුන්ගේ රජදහනකි. විශේෂයෙන් පෙම්වතුන් අතර මාර්ග සලකුණු ලෙස හැඳින්වෙන ස්ථාන කිහිපයක් කළුතර නගරයේ දී අපට දකින්නට ලැබුණි. ඒ අතර කළුතර බෝධිය, කළුතර ඔරලෝසු කණුව හා කළුතර අරලිය ගස සුවිශේෂී වේ.

කළුතර බෝධිය දෙස් විදෙස් සංචාරකයන් අතර වන්දනාමානයට සතුවන ලංකාවේ සුවිශේෂී සිද්ධස්ථානයකි. වර්ෂ 2320කටත් වඩා ඉපැරණි මෙම බෝධින්වහන්සේ ලෝකයේ පැරැණිතම ලේඛනගත වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දෙවැනි අංකුර පෙළට අයත් වේ. කළුතර බෝධි පරිශ්‍රයේ උඩමළුවේ වැඩසිටිනුයේ එම දෙතිස්ඵලරුක බෝධීන් වහන්සේයි. 

“බෝධීන් වහන්සේ වැදපුදාගන්න විවිධ මිනිස්සු මෙතනට එනවා. ඒ අතරේ සමහර කොල්ලො කෙල්ලො හැසිරෙනවා අන්තිමයි. කිසිම චාරයක් නෑ. අපි මේ මලක්, පහනක් අලෙවි කරලා ජීවත් වෙන මිනිස්සු. සමහර මිනිස්සු මෙතනට ඇවිල්ල මල්වලටත් කේවල් කරනවා. අපේ දුප්පත්කම වෙනයි. ඒත් අපි එහෙම අසාධාරණ විදියට ජීවත් වෙන්නේ නෑ. සමහර කාලෙට මල් කඩන්න යන්න බෑ එකදිගට වැස්ස. වැව්වල වතුර පිරිලා. සමහර කාලෙට වැව් හිඳිලා. වැව්වල වතුර නෑ. ඉතින් කොහේද මල්, බුදුන්ට මල් පූජා කරන්න දහදුක් විඳලා ජීවත් වෙන අපෙන් එහෙම මල්වලට කේවල් කරන එක පව්...”

කළුතර බෝ සමිඳු අසල ඕලු, නෙළුම් මල් විකුණන හැරියට් පෙරේරා දේශයට එසේ අදහස් දැක්වූවාය. මල් ලස්සන වූවාට ඔවුන්ගේ ජීවිත ඒතරම්ම සුන්දර නැත.

මේ දිනවල මුළු රට තුළම ඩෙංගු රෝගය වසංගතයක් ලෙසින් පැතිර යමින් පවතී. කළුතර දිස්ත්‍රික්කය තුළ ප්‍රතිකාර ගන්නා ඩෙංගු රෝගීන් සිටිති.  කළුතර රෝහලේ ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින අතර ඇතැම් වාට්ටුවල එක ඇඳක රෝගීන් දෙදෙනකු පවා නතර කර ප්‍රතිකාරගන්නා තරමට ඩෙංගු රෝගය කළුතර නගරයට ද ව්‍යාප්ත වී තිබේ.  කළුතර නගරයේ ඩෙංගු රෝගීන් බොහෝමයක් දෙනා කොළඹ රාජකාරිවල නිරත වෙන සේවකයන් වීමද විශේෂත්වයකි.
කළුතර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිතා පුෂ්පනාම මහත්මිය මේ සම්බන්ධව අදහස් දැක්වූවාය.

“ඩෙංගු රෝගීන්ගෙන් ඇතැමුන් කොළඹ රාජකාරිවල නිරතවන්නන්. ඒ වගේම වැඩකරන අයත් ඉන්නවා. මේ සඳහා අපි බොහෝ වැඩසටහන් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ග්‍රාම නිලධාරි වසමට ප්‍රදේශයේ ජනතාව එකතුකර ගමට එකතුවී ගමේ වැසියන් පිරිසිදු කරන වැඩසටහනක් ද අපි දියත් කරලා තියෙනවා. පාසල් දරුවන් දැනුවත් කරන වැඩසටහන් ද පවත්වා පාසැල් මට්ටමින් පිරිසිදු කිරීම් ද මේ වනවිටත් අපි කරගෙන යනවා. මේ සඳහා පළාත් පාලන ආයතන ද ගොඩාක් උදව් කරනවා. ප්ලාස්ටික්, පොලිතීන් එකතුවීම අවම කිරීම සඳහා ජනතාව දැනුවත් වීමක් ද මේ තුළින් අපි සිදුකරනවා...”

මේ සඳහා ත්‍රිවිධ හමුදාව, ග්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝමයක් සහයෝගය ලබාදෙන බව වෛද්‍යවරිය වැඩිදුරටත් දේශයට පැවසුවාය.

මේ දිනවල රබර් වතුවල බොහෝමයක් රබර් කිරි කැපෙන්නේ නැත. එබැවින් රබර් ගස්වල කිරි එක්රැස්වන්නට සවිකර ඇති පොල්කටුවට ජලය එකතු වී තිබීමෙන් එම පොල්කටු ඩෙංගු මදුරුවාට හොඳ තෝතැන්නක් වී තිබේ. ඒ ගැන පළාත් වාසීන්ගේ අවධාන‍ය යොමු කිරීම අවශ්‍යය.

කළුතර විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් නගරයකි. මේ නිසා බොහෝමයක් අඩු වයස් තරුණයෝ රැකියාවක් වශයෙන් විදේශිකයින්ට නගරය පෙන්වීමේ “ගයිඩ්‘‘ලා වෙන්නට උත්සාහ දරති.

 ඉස්කෝලෙන් කට්ටි පැනලා ගයිඩ්ලා වෙන ළමයි ඉන්නවා 

“අපේ දරුවෝ විනාශ කරන්නේ ඔය සුද්දෝ තමයි. උන් ඇවිත් කොල්ලෝ ටික විනාශ කරනවා. සිගරට් එකක් නොබීපු අපේ කොල්ලෝ දැන් ගංජාවලට පුරුදු වෙලා. සමහර සුද්දෝ සිගරට් එක බාගෙට බීලා ඉතිරි ටික මේ නොදරුවන්ට දෙනවා. නිකං ලැබෙන දේනෙ. උන් ඒවාට ඇබ්බැහි වෙනවා. අපරාදේ අපේ දරුවෝ”

කළුතර නගරයේදී බඩු මල්ලක් ගෙන අමාරුවෙන් ඇවිදිමින් යද්දී අපිට මුණගැසුණු හේමා වීරසිංහ මහත්මිය අපිට කිව්වාය.

කළුතර සිල්ලර හා සාමාන්‍ය හෝටල් කිහිපයක සිදුකෙරෙන අයහපත් සිදුවීමක් ද මේ අතර අපට දැනගන්නට ලැබිණි. මෙවැනි කටයුතු සඳහා හෝටල් කිහිපයක ඉහළ මාලයේ වෙනම කොටසක් ද වෙන්කර තිබුණි. ඇතුළුවෙද්දී දකින්නට ලැබුණේ මේස පුටු කිහිපයක් ඇති විදුලිපංකා සහිත බොහෝම කුඩාකාමර කෑල්ලකි. තැන තැන හිස් බීම බෝතල්ය. මේසවල කිහිපයකම අළු වී ගිය සිගරට් කොට සහිත ඈෂ් ට්‍රේ කිහිපයකි.

ඔබ විශ්වාස කරනවාද... මේ තරුණ ජීවිත මත්රකුසාට බිලිගන්නා ස්ථාන බව? කාටවත්ම පෙනෙන්නට නොහැකි තැනක හිඳගන්නා තරුණයෝ හිත්සේ සිගරට් බොති. ගංජා බොති. පහළ හෝටලයෙන් ඒ සඳහා හොර රහසේ  සිගරට්, ගංජා විතරක්ම නොවේ සිසිල් පැන් ද ලැබේ. ඉහළ මාලයේ මේ බිස්නස් එක කරගෙන යාමට හෝටල්වලට ඇතැම් ව්‍යාපාරික තැරුව්කරුවන්ගෙන් ආධාර උපකාර ද ලැබේ. එක දිනක් එතැනට පැමිණෙන සමහර තරුණයන් ඊළඟට එන්නේ තම යහළුවන් ද කැටුවය.

“හෙරොයින්, ගංජා මත්ද්‍රව්‍ය වැටලීම්වලදී බොහෝදුරට නීතියට හසුවන්නේ තරුණ ළමයි. මේ විදේශිකයන්ගේ පැමිණීමත් එක්ක එච්.අයි.වී. ආසාදනය සහිත තරුණයන් ද දකින්නට පුළුවන්. පසුගිය කාලයේදී බාලිකාවක දරුවකුට මේ ආසාදනය ඇතිවුණා. හොයාගෙන යද්දී මේ දරුවාගේ අම්මා තාත්තා රට. හැදුනේ ආච්චි ළඟ. පාසැල් වයසේ යන දරුවන් ගැන මව්පියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. පසුගිය කාලේ ගුරුවරුන් අතින් අහිංසක දරුවන් කෙලෙසුණු අවස්ථාත් තිබුණා. සමහර ගුරුවරුන්ගේ බිරියන් පවා මේවාට උදව්දී තිබුණා. ඉහළ මාලයේ දරුවන් එක්ක ටී.වී. බලන ගෑනු අය පහළ මාලයේ තම සැමියාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොදරුවන්ව බිලිගන්වන්න පහසුකම් සපයනවා. ඒවා ඇත්තටම මේ නගරයේ විතරක් තිබෙන ප්‍රශ්නයක් නොවේ. මේ රටම විනාශ කරන්නට මේ කාරණා හේතු වියහැකියි. මිනිස්සු සත්තු වෙලා. ඇත්තටම අද සමාජයේ ඇතැමුන් ගැන ඇත්තටම කණගාටුයි. අද පොඩ්ඩක් ඉගෙනගත්ත ගමන් මේ පළාතේ ඇතැම් පිරිමි ළමයි ඉස්කෝලෙන් කට්ටි පනිනවා. ඉස්කෝලෙ ගමනට ආයුබෝවන් කියලා එක්කෝ ගයිඩ් කෙනෙක් වෙලා විදේශිකයන් පස්සෙ යනවා. එහෙම නැත්නම් ත්‍රීවිල් එකක් අරගෙන අතපය කඩාගන්නවා. අද රථවාහන අනතුරු බොහෝමයකට මුල්වන්නේ තරුණයන්ගේ හැසිරීම්”

මෙලෙස අදහස් දැක්වූයේ කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතායි.

“අපෝ දැන් මෙහෙට එන සමහර සුද්දෝ අපිට වඩා හිඟන්නෝ. උන් ත්‍රීවිල් එකට අතදාලා මුලින්ම අහන්නෙ meter ?ද කියලයි. නැග්ගට පස්සෙත් කන්න වගේ මීටරේ දිහා බලාගෙන ඉන්නවා. ත්‍රීවිල් එකේ මීටරේට වඩා සුද්දන්ගේ හාට් එකේ මීටරේ දුවනවා. බැහැලා ඉවරවෙලා ගාණට තමයි සල්ලි දෙන්නෙ. සමහර වෙලාව‍ට ඔය රුපියල් විස්සක් තිහක් ඉතිරි වුණොත් අපිත් එක්ක වටේ ගිහින් අපිට කෑමත් අරගෙන දීලා හවසට ත්‍රීවිල් එකෙන් බහින්නේ හොඳ ටිප් එකකුත් දීලා.”

අවුරුදු විස්සක් විසිපහක් පමණ වයසැති මේ ත්‍රීවිල් තරුණයා දේශයට එසේ අදහස් දැක්වූවත් ඔහු තම නමගම නම් සඳහන් කරන්න මැලිවිය. ඔහු මෙසේ දිගටම අදහස් දැක්වීය.

‘‘මෙහෙමයි ඔය සුද්දන්ට වඩා හිටපු ගමන් අපේ ගොඩ සුද්දන්ගෙන් හොඳ ටිප් එකක් අපිට ලැබෙන වෙලාවලුත් තියෙනවා. සමහර කපල් අතදාලා අපේ ත්‍රීවිල්එකට නගිනවා. ටික දුරක් යද්දී පිටිපස්සෙ ඉඳන් මට ළංවෙලා කොල්ලා ඉතින් මට මොනවහරි කියනවා කියලා හිතන්නකො. ඉතින් ඔය කැලිඩෝ වෙරළෙ පාළු තැනක් ළඟ නතර කරාම මට කීයක් හරි දීලා “මල්ලී පැයකින් විතර එනවද?” කියලා අහනවා. මට මොකෝ මාත් ත්‍රීවිල් එක තියලා යතුර අරගෙන ගිහින් එනවා. දෙයියනේ කියලා එදාටනම් හොඳ ගාණක් මගෙ අතේ.”

කළුතර නගරයේ එවැනි සිදුවීම් බහුලය. එමටය. තැන තැන “rooms” යනුවෙන් බෝඩ් සහිත කුඩා නිවාස කළුතර වෙරළ ආශ්‍රිතව ඕනතරම් අපිට දැකගත හැකිවිය. මුදලට වහල් වී මෙවැනි තානායම් කරා රිංගන කාන්තාවන් මෙන්ම සල්ලාලකමෙන් අනුන්ගේ බිරිඳකගේ පහස සොයන කාමාතුරයන් ද කළුතර නගර වෙරළ ආශ්‍රිතව අපට මුණගැසුණි. අපගේ කැමරාව දුටුමනින් පාරේ යන ත්‍රීවිල්වලට ඉවක් බවක් නොදැන දිවගොස් ගොඩවී ගිය ජෝඩුද, මෝටර් බයිසිකලය ඈතින් තිබියදී හෙල්මටය පැළඳ පාරේ ඉක්මණින් ගමන් ගත් පිරිස් ද එයට සාක්ෂි දරති.

අපගේ ඊළඟ උත්සාහය වූයේ කළුතර නගරයේ ජීවත්වන කාන්තාවන් හා ළමුන් පිළිබඳ තොරතුරු සොයාගැනීමය. 
ඒ සඳහා අපට උදව් වූයේ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාලයේ ස්ථානාධිපතිනි මල්කා තුෂාරි මහත්මියයි.
ඇයගේ කාර්යාලයට අප ගොඩවැදෙද්දී අසල අසුනක වාඩිවී සිටි තැනැත්තාත් ඔහුගේ උකුලේ වාඩිවී සිටි අවුරුදු තුනක හතරක පුංචි දරුවාත් අපගේ නෙත ගැටුණි.

“දරුවා ගැන හිතලා දෙන්නා කථාකරලා තීරණයක් ගන්න.” ස්ථානාධිපතිනිය එම තැනැත්තාට කීවේය.

“බෑ මැඩම්... මේක උසාවි දාන්න. මට වෙන්වෙන්න ඕනෙ.” ඔහුගේ පිළිතුර එසේ විය.

මව්පියන්ගේ වරදින් තවත් අහිංසක දරුපැටවකු ළමා නිවාසයකට යොමුවන ලකුණු දිස්විය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ගැටලුවක් වන්නේ විදේශිකයන් පැමිණීම නිසා පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමුන් පවා විදේශිකයන්ට ගයිඩ්කම කිරීමය. ඊට අමතරව තැන තැන ඉදිවෙන හෝටල් හේතුවෙන් අඩුවයස් දරුවන් ලිංගික අපචාරයන්ට යොමුවීම ද සිදුවෙමින් පවතී. පසුගිය කාලයේදී කළුතර නගරයේ එක්තරා ගුරුවරයකු තම බිරිඳගේ අනුදැනුම ඇතිව පාසැලේ ශිෂ්‍යාවක් වරින්වර පාසල් අධ්‍යාපනය ලබන අතරතුර තානායම් කරා රැගෙන යාම ඊට කදිම උදාහරණයකි. මල්වැනි පුංචි දරුවන් කෙළෙසන එවැනි ගුරුවරුන් සැබැවින්ම දෙවියන්සේ සලකන ගුරුවෘත්තියට නිගාවකි. උදෑසන පාසලට වාර්තා කරන එවැනි ගුරුවරු පාසල් කාලසීමාව අතරතුරේදී කළුතර ලැගුම්හලක වෙනම කාර්යයක නිරත වෙති.

“දරුවන් පිළිබඳ මව්පියන් මීට වඩා සැලකිලිමත් වියයුතුයි. අද අම්මලා වැඩිපුරම ඉන්නේ ඉන්ටර්නෙට් එකේ. ඒකෙන් අම්මත් වෙන සම්බන්ධකමක් ඇතිකර ගන්නවා. දරුවන් ගැන සොයන කාලයත් අඩුවෙලා යනවා. ඉස්සර එහෙම නෑ. අඩුමගානේ රෑකෑම වේලවත් එකටගන්න පුරුදුවෙන්න. ඒ වෙලාවට දරුවත් එක්ක එදිනෙදා වුණ දේවල් කතා කරන්න. පසුගියදාක කළුතර පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා අලුත් විදියට කොණ්ඩෙ කපලා මට අහුවුණා. මේවා මුලින්ම දකින්න ඕන මව්පියෝ.” ස්ථානාධිපතිනිය දේශයට පැවසුවාය.

 අපේ දරුවො විනාශ කරන්නෙ සුද්දො තමයි 

වර්තමානයේ දී ගුරුගෝල සම්බන්ධකම් ද අඩුය. ගුරුවරු දරුවකුට තරවටු කරන්නට මැලිකමක් දක්වති. එයට ප්‍රධානතම හේතුව වන්නේ පසුගිය දිනවල වාර්තාවූ ඇතැම් සිදුවීම්ය. ගුරුවරයකු තරවටු කිරීම හේතුවෙන් උරණ වූ ඇතැම් දරුවන්ගේ මව්පියෝ ගුරුවරයාට විරුද්ධව නීතිය හමුවට ගියහ. ඇතැම් ගුරුවරුන් දරුවන්ට තදින් පහරදීම හේතුවෙන් එම දරුවන් රෝහල් ගතකිරීමට සිදුවිය. මේ කාරණා හේතුවෙන් ගුරුගෝල සබඳකම ඈත්විය.
කළුතර වෙරළ තීරය ඉතා සුන්දර වෙරළ තීරයකි. කළුතර බොහෝ අය ධීවර කර්මාන්තයේ නිරත වූවෝ වෙති. නමුත් පසුගිය දිනවල කළුතර දැඩි ලෙස පාංශුඛාදනයක් සිදුවිය. කැලිඩෝ බීච් පාරෙන් වෙරළට ගොඩවැදුණු අපිට මෙම පාංශුඛාදනය දැකගත හැකිවිය. වැටකෙයියා ගස් මුළුමනින්ම උදුරාදමා තිබේ. එදා වෙරළ අද බොහෝ පිටුපසට ගසාගෙන ගොසිනි. මේ හේතුවෙන් පසුගියදා දිනෙක කළුතර මෝය කට ඇරීමට ද සිදුවිය.

වෙරළේ වාඩිවී ඈත දියඹ දෙස බලාගෙන ඉන්නා පුද්ගලයකු අපගේ නෙත ගැටුණි. ඔහු බර කල්පනාවකය.
“මේ දවස්වල මුහුදු යන්න බෑ. මොනවා කරන්න ද කියලා හිතාගන්නත් බෑ.”

අනිල් නැමැති ඔහු ධීවරයෙකි. නමුත් මේ දිනවල මුහුද සැර වැඩිය. ඒ තියා ඔවුන් මුහුදු යන්නේද නැත. ධීවර කර්මාන්තයෙන් ජීවත් වූ අනිල්ලා කළුතර තවත් ඕනෑතරම්ය. සිරිපාල ද ඒ අතර සිටි කෙනෙකි.

“මේ දවස්වල මුහුද මාරවිදියට සැරවැඩියි. මේ ගංවතුරෙන් පස්සේ මේ මුහුද හාරන්න ගත්තා. මෙතෙන මෝය ළඟයිනේ. ඒ නිසා මේ වෙරළ හාරනවා. (පාංශුඛාදනය) නැත්නම් මේ මුහුද තිබ්බේ ගොඩාක් එහායින්.” දැන් ඉතින් අපිට මුහුදු යන්නත් බෑ. ඒ නිසා ඔය තියෙන දෙයක් කරගෙන මේ දවස්වල ජීවත්වෙනවා මොනව කරන්නද...”
සිරිපාල සමඟ වෙරළේ අපිට මුණගැසුණු ඔහුගේ මිතුරා පත්මසිරිය.

 සමහර සුද්දෝ අපට වඩා හිඟන්නෝ 

“අපි දෙන්නම එකට තමයි මුහුදු යන්නේ. දැන් යන්නේ නෑ. ඒ නිසා මම වඩුවැඩ කරනවා. සමහරදාට අපි දෙන්නා අත්උදව් වැඩවලටත් යනවා. හැබැයි ඉතින් දන්න කියන මුහුදු රස්සාව තරම් වෙන රස්සාවල් අපිට ගැලපෙන්නේ නෑ. දවස් ගාණක් මුහුදු මැද ගිහින් හිටියත් මේ මහ මුහුද අපිව රකිනවා... ඔය මෝය කැඩුවේ නැත්නම් මේ මුළු පළාතම යටවෙනවා...”

මේ අතර සිරිපාලත් පත්මසිරිත් අපිව මෝය කට කැඩූ තැනටද කැඳවාගෙන ගියාහ. වැටකෙයියා පඳුරු අස්සෙන් බෝහෝම අමාරුවෙන් ගිය ගමන දුෂ්කරය. ඉඳහිට ගහන රැල්ලෙන් කීප වතාවක්ම අපගේ සිරුරුද තෙමීගියේය. ඒ අතර කිසිවකුටත් නොපෙනෙන්නට වැටකෙයියා ගස් අතර සිටි පෙම්වතුන් කීපපළක්ම අපගේ පැමිණීමත් සමඟ සීසීකඩ විසිර යනු දැකගත හැකිවිය.

 මල්වලට කේවල් කරන මිනිස්සු මෙහෙට එනවා 

ජගත්, වෙරළේදී අපට මුණගැසුණ තවත් කළුතර ගම්වැසියෙකි.

“ඔය මුහුද මෙහෙට ආවා කියලා කිසිම දෙයක් කරලා නෑ. රේල් පාර අයින දිගේ ගල්දාල තියෙනව විතරයි. ඒ රළ ගහන නිසා. මම කළුතර කෙනෙක්. මම මුහුදේ යනවා. ඒත් මේ වාරකන් කාලෙනේ. ඒ නිසා මේ කාලේ මුහුදේ යන්නේ නෑ. එතකන් ඉතින් රස්සාවක් නැතිකමට කුලී වැඩකරනවා. හම්බ කරගත්තොත් අපිට තමයි. අදත් මේ වත්තක් උදලු ගාලා එන ගමන්.”

ජල සම්පත් මණ්ඩලය මගින් කළුතර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන පානීය ජලයට කරදිය මුසු වී තිබීමේ ගැටලුව සෑහෙන කාලෙක සිට පවතින එකකි.

වැලි ලබා ගැනීම සඳහා දිගින් දිගටම කළු ගඟ හෑරීම නිසා මුහුදු මට්ටමට වඩා කළු ගඟේ ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් මම තත්ත්වය ඇතිවී තිබේ. නියං සමයේදී කළුතර තුළ ජලයට කරදිය මුසුවන සෑම අවස්ථාවකදීම විවිධ විසඳුම් ඉදිරිපත් වුවද ඒවා වචනවලට පමණක් සීමා වූ ඒවා විය.

මීට ස්ථීර විසඳුමක් ලෙස කළු ගඟේ ලවණ බාධකයක් ඉදිකිරීමට දීර්ඝ කාලයක සිට පැවැති යෝජනාවක් විය. ඒ සම්බන්ධයෙන් අප සමඟ කතාබහට එක්වූ කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.සී.සී. ජයලාල් මහතා මෙසේ කීය.

“නළ ජලයට කරදිය ඒම නිසා විකල්පයක් වශයෙන් කුඩා ගඟේ ජලය කෙන්හේන ජල පවිත්‍රාගාරය තෙක් ගෙනවිත් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව කළු ගඟ හරහා ලවණ බාධකයක් ඉදිවෙන්නේ නැහැ. මතුගම, දොඩංගොඩ, කළුතර, බේරුවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට මින් සේවය ලැබෙනවා.”

 මෝය කැඩුවේ නැත්නම් මේ මුළු පළාතම යටවෙනවා 

කළුතර බොහෝ අය ධීවරයෝ වෙති. මේ දිනවල කළුතර මුහුදේ බෝට්ටුවක් දකින්නට නැත. බොහෝ බෝට්ටු වෙරළේ ගාල්කර තිබේ. කළුතර ඈත මුහුදේ ඉර හැංගී ගියේය. රතට රතේ අවපස හිරු රැස් දහරත් මුහුදේ සලකුණු වී එයට නොපෙනී ගියේය. හෙමි හෙමීට කළුවර මුළු කළුතරම වෙලාගනිද්දී කළුතර බෝධියට වැඳ නමස්කාර කොට අපි නැවත කොළඹ බලා ආවෙමු.

අතුරු මාර්ගවල රූට බස් නෑ 

කළුතර නගරයේ ප්‍රධාන මාර්ගයේ ඕනෑ තරම් බස්රථ ගමන් කරයි. නමුත් අතුරු මාර්ගවල රාත්‍රී 8.00 පසුව බස්රථ ධාවනය වන්නේ නැති තරම්ය. මෙය එම ප්‍රදේශවල මහජනතාවට මහත් ගැටලුවකි. මතුගම, හොරණ ප්‍රධාන මාර්ගයේ සිට කළුතර දක්වා ධාවනය වන බස්රථ මෙන්ම අලුත්ගම සිට කළුතරට එන බස්රථ රාත්‍රී අටෙන් පසුව ධාවනය වන්නේ ඉතාමත් අඩුවෙනි. 

මේ හේතුවෙන් රාජකාරි කටයුතු හමාර කර නිවෙස් කරා යන බොහෝ සේවක සේවිකාවන්ට කළුතර අතුරු මාර්ග ඔස්සේ නිවෙස් කරා ගමන් කරගන්නට සිදුව ඇත්තේ පා ගමනිනි. නැතිනම් ත්‍රීරෝද රථවලිනි. 

ඇතැම් විට කීපදෙනකු එකතු වී එක ත්‍රීරෝද රථයක ගමන්කොට එම මුදල බෙදාගෙන රියදුරාට ගාස්තු ලබාදෙන අවස්ථාද එමටය. මේ අතර කොළඹ අමතර පන්තිවලට ගොස් නිවෙසට එන එසේත් නැත්නම් රාජකාරියට ගිය තරුණ දියණිය නිවෙසට එනතුරු ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමකට වී බලා සිටීම ඇතැම් මව්පියන්ගේ දිනචර්යාවේ කොටසක් වී තිබේ.

කම්කරු හිඟයෙන් වගාවන් අනතුෙර් 

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වගා වන තේ, රබර් වගාවන්ට මේ වනවිට සේවක ප්‍රශ්න උග්‍ර ලෙස බලපාමින් තිබේ. අද බොහෝ පිරිමි හෝටල්වල සේවය කිරීමත් ඇතැමුන් සැලුන්වල සේවය කිරීමත් තම වෘත්තීය වශයෙන් තෝරාගෙන සිටීම නිසා තේ, රබර් ගස වල්වැදී තේ සමාගම් සහ රබර් හිමිකරැවන් විශාල ගැටලුවකට මුහුණ දී සිටී. නගරයේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙසින් මැදපෙරදිග යාම හේතුවෙන් අද තේ දලු නෙළීමට කාන්තාවන්ගේ සහභාගීත්වය අඩු වී තිබේ. බොහෝ දුරට කළුතර දකින්නට ඇත්තේ බහුදින යාත්‍රා මඟින් මුහුදු යාම ජීවන වෘත්තිය කරගත් පිරිස්ය. මාදැල් කර්මාන්තය එදා කළුතර ප්‍රසිද්ධ වූවත් අද මාදැල් අඳින කාලයේදී ඒවායේ කටයුතු කරගැනීමට වතුවලින් ලයින් සේවකයින්  ගෙන ඒමට සිදුවී ඇතැයි කියති.

(කළුතර සංචාරයකින් පසු)

♦ කතාව හා සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර / දිශානි ලක්මාලි කරැණාරත්න
පසුබිම් වාර්තා - සුනිල් එස්. තන්ත්‍රිආරච්චි