2017 ජුලි 22 වන සෙනසුරාදා

සුද්දා හඳට යනකොට මම එහේ!

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 387

“සුද්දා හඳට යනකොට මම අමෙරිකාවේ. එදා 1969 - ජූලි 21. ඒ කාලේ තිබ්බේ කේබල් ටී.වී. ගුවන් විදුලිය තමා ප්‍රධාන. මං එතකොට බෝයිං එකේ. ඔය චන්ද්‍ර යානයේ කොටස් එහෙත් හැදුවා. ඉතින්, අපි හැමෝම කෑමක් බීමක් නැතිව හාවක් හූවක් නැතිව තැති ගැන්නිලා බලා උන්නා. ඔන්න ජනාධිපති නික්සන් ආවා. “හලෝ, මම ජනාධිපති නික්සන් කතා කරන්නේ” කියලා දුර ඇමතුමට කියනවා. ඔන්න එකයි. දෙකයි. තුනයි.... තත්ත්පර අටයි. හරියටම තත්ත්පර අටකින් උත්තරේ එනවා. “හලෝ! හූස්ටන් මම නීල් ආම්ස්ට්‍රෝන්ග්” කියලා. මුළු අමෙරිකාව වගේම ලෝකයේ රටවල් ගණනක එකතැන ගල්වෙලා බලා හිටපු මිනිස්සු එකපාර මහා ඝෝෂාවක් කළා.”

 අපේ බෝයිං ඉංජිනේරුවාගේ දශක අටක මතක 

“හඳ ගමනට අමෙරිකාවේම සමහරු කැමැති වුණේ නෑ. නමුත්, වැඩේ සාර්ථක වුණාම හැමෝම එකා වගේ සතුටු වුණා. ඔය ”69 අවුරුද්ද කියන්නේ ලෝකෙට තීරණාත්මක අවුරුද්දක්. ආම්ස්ට්‍රෝන්ග් කිව්වා වගේ එදා තිබ්බේ තනි මිනිහෙක්ගේ පියවරක් නෙමේ. මිනිස් වර්ගයාම ජයග්‍රහණය කරා ගෙනයන යෝධ පියවරක්. එතකොටත් අමෙරිකාව තාක්ෂණය අතින් දියුණු වෙලා තිබුණේ. නාසා ආයතනය අභ්‍යවකාශ වැඩ කටයුතු කඩිනම් කරලා තිබුණේ. නික්සන්ට ඕනෑ වුණා අංක එක වෙන්න. ඉතින් එහෙම වුණා. අමෙරිකාවේ තාක්ෂණ පෙරැළි ගොඩක් ඇතිවුණා. සඳ ගමනින් පස්සේ විද්‍යාව ඉක්මණින් දියුණු වුණා. ලෝකේ පුරා තාක්ෂණය පැතිරැණා. සමහරු සැක පහළ කරනවා, තාමත් හඳට ගිය කතාව බොරුවක්ය, නාසා ආයතනයේ රඟපෑමක්ය කියලා. නමුත් මම එදා එහේ හිටියා!”

 චන්ද්‍ර රොකට් යානය තනන්නත් එක්වුණා 

ලෝකය පුරා 1969 අවුරුද්දේ සිට ඔහු රට රටවලට ගිය ගමන්වාර දුර ප්‍රමාණය සැලකුවහොත් එය සැතපුම් දස ලක්ෂයකට වැඩි මිස අඩු නොවේ. ඒ කියන්නේ තේරෙන බාසාවෙන් කීවොත් පෘතුවියේ සමකය වටා මේ අපූරු මිනිසා හතළිස් වාරයක් ගමන් කළාක් බඳු දුරකි. ඔහු ඒ අතර අමෙරිකාවේ සිට ලංකාව වෙත පමණක් 108 වරක් පැමිණ තිබේ. එහි පුරවැසිකමද හිමි මේ ශ්‍රී ලාංකික බෞද්ධයා, ලෝකයේ අමුතු තැන් බලන්නට අමුතු ගමන් ගිය අපූරු හාදයෙකි. 
ලෝකයේ උසම තැන පිහිටා ඇති පුරාණ නටබුන් බලන්නට පේරු රටේ කූස්කෝ බලා ගිය ඔහු ඒ ගැන කියන්නේ පිදුරුතලාගල උඩ සිරීපාදේ තැබුවාක් වැනි උසකින් පිහිටි හුස්ම හිරකරන තැනක් ලෙසටය. මේ ගමනින් හැරී එන ඔහු ඊළඟට ඊජිප්තුවේ පිරමීඩ අසලය. තවත් දිනෙක ලෝකයේ උතුරු කෙළවර ඇස්කිමෝවරුන්ගේ ඉග්ලූ නිවෙසක් තුළය. “ඔහේලාට හඳට ගිහින් එන්න පුළුවන් නම් මට රුසියාවට යන්න බැරි මොකදැයි” සීතල යුද්ධය පැවැති සමයේ සුද්දාට අභියෝග කරමින් ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය ඔස්සේ එක දිගට රුසියාවේ නැගෙනහිර කෙළවරටම ගියේය. ජර්මනිය, ජපානය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, නිකරගුවා මෙන්ම ස්කැන්ඩිනේවියාව ඇතුළු රටවල් ගණනාවක් ඔස්සේ සැතැපුම් දස ලක්ෂයකට වැඩි දිගු දුර ගමනක යෙදුණු පසු දැන් ජීවන ගමනේ අටවැනි දශකයට ළඟාවී සතුටින්, සාමයෙන් සහ උපේක්ෂාවෙන් යුතුව තවමත් සමාජයට අධ්‍යාපනය ලබන දරුවන්ට සවි ශක්තියක් බවට පත්ව සිටියි. සුද්දා හඳට යන කාලයේ ඒ ගමනටද දායක වූ ලෝක ප්‍රකට බෝයිං ආයතනයේ පියසර පරීක්ෂණ ඉංජිනේරුවකු ලෙස ඔහු ලෝකයේ ගුවන් තාක්ෂණයට මහත් සේවාවක් කළේය. අමෙරිකාවේ කැලිපොර්නියාවල අධ්‍යාපනය ලබා ලෝකයේ ලොකුම දුරදක්නය භාවිතාකර විශ්වයේ කෙළවරටම ගමන් යන තාරකා භෞතික විද්‍යාඥවරියක් වන දියණියක ලෝකයට තිළිණ කළේය. දැන් බෞද්ධ දර්ශනයට අනුව සියල්ලේ අනියත බව අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂකොට නිස්සරණාධ්‍යාශයෙන් යුතුව තමන් උගත් දැනුම බෙදා දෙන්නේය. ඔහු දයා ඩී. සිල්වා නමැති නිහතමානී, කවට ප්‍රිය සංවාදයට බර සොඳුරු මිනිසෙකි.

ඒ කාලෙත් මිනිස්සු සමහරු විශ්වාස කළේ නෑ හඳට ගියා කියලා. නමුත් ඔය ඇපලෝ 11 නීල් ආම්ස්ට්‍රෝන්ග්, බස් අල්ඩ්‍රින්, මයිකල් කොලින්ස් ගිය ගමනින් පස්සේ තව ගමන් කීයක් ගියාද? නොවැම්බර් 19 වෙනකොට ඇපලෝ 12 යානයේ පීට් කොන්රාඩ්, ඇලන් බීන් දෙන්නා හඳට ගොඩබැස්සා. හඳේ ඇවිද්දා. ඒ කාලෙම තමා අඟහරු බලා යන්න කටයුතු කළෙත්. අගෝස්තු මාසේ 5 වැනිදා මැරිනර් 7 අඟහරුට කිට්ටු කළා. ඒ කාලේ අමෙරිකාවට තාක්ෂණය තිබ්බා. බෝයිං සමාගමේ 747 ජෙට් එක මංගල ගමන ගියේ ඔය කාලේ. මුලින් ගියේ ජනමාධ්‍ය පත්තර වාර්තාකරුවෝ ඡායාරූප ශිල්පියෝ තමා. එකසිය අසූ එක් දෙනෙක් සියැටල් ඉඳලා නිව්යෝර්ක් ගියා මගේ හිතේ. තවත් අය අදත් කියනවා පිටසක්වල ජීවීන්ගේ ආධාර ගත්තාය කියලා. ඒක මහ විකාර අදහසක්. අපේ ආයතනයේ තමයි චන්ද්‍රයානය ගෙන ගිය සැටර්න් 5 රොකට්ටුවේ මුල්කොටස හැදුවේ.

දයා ඩී සිල්වා මහතා කියන 1969 වර්ෂයේ ඔය යුගයේ අමෙරිකාව තුළ පෙරළිකාර සිදුවීම් රැසක්ද සිදුවිය. එතෙක් සිටි ලින්ඩන් බී ජොන්සන් දක්ෂිනාංශික ජනාධිපතිවරයා වසර මුලදී ඉවත්වී නව අදහස් දරන රිචඩ් නික්සන් බලයට ආවේය. සඳ ගමනට ඇති නික්සන්ගේ උනන්දුව දැඩි විවේචනයට ලක්කළ හිටපු ජනාධිපති අයිසර් හවර් සඳ ගමනට පෙර මිය ගියේය. වියට්නාමය සමග එතෙක් පැවැති යුද්ධය අහවර කරමින් අමෙරිකා හමුදා නැවත කැඳවන්නට නික්සන් තීන්දුකළා පමණක් නොව ජූනි 8 වැනිදා 25,000ක් හමුදා භටයින් මුලින් ඉවත් කර ගන්නා බවට සඳ ගමනට පෙර පොරොන්දුවක් දුන්නේය. මරණයට එරෙහි පාද යාත්‍රාව හැටියට ඉතිහාසගත යුද විරෝධී ජනරුල්ල වොෂින්ටනය වැටලුවේය. නොවැම්බරයේ රුසියාව සමග හෙල්සින්ක් නුවරදී සීතල යුද්ධය නිමා කිරීමේ එකඟතාවකට එමින් දෙපාර්ශ්වයේම උපාය මාර්ගික අවි සීමාවකට කටයුතු සැලසුණේය.

 පිටසක්වල ජීවීන් උදව් කළා කියන කතාව බොරු 

මේ අතර අමෙරිකාවේ මුල්ම ටෙලර් යන්ත්‍රයද පිහිටැවූ අතර මුල්ම ඒඩ්ස් රෝගියා ගැන වාර්තා වූයේද ඔය කියන දෛවෝපගත 1969 වසරේදීය. ඒ වනවිට අමෙරිකාව අද අපට දකින්නට අසන්නට ලැබෙන රූපවාහිනී, කුඩා පරිගණක, න්‍යෂ්ටික සබ්මැරීන, කෘත්‍රිම හදවත, ලේසර් තාක්ෂණය, සී ඩී පට, ට්‍රාන්ස්සිස්ටර්, ක්‍රෙඩිට් කාඩ්, පණිවුඩ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු බොහෝ තාක්ෂණික පිමි පැන තිබුණි. අපේ කතානායකයා ජීවත්වන්නට යන්නේ එවන් පරිසරයකය.

 සඳ ගමනට අදට අවුරුදු 48 යි 

මීටියාගොඩ ප්‍රාථමික පාසලින් මූලික අධ්‍යයනය ලබා පසුව අම්බලන්ගොඩ ධර්මාශෝකයටත්, ඊළඟට ගාල්ල මහින්දයටත් එන දයා ඩී සිල්වා කොළඹ ආනන්දයට එන්නේ ඉහළ පන්තිවලටය. ඒ කාලයේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය වෙත යාමේ වරම ඔහුට හිමිවන්නේ ශිෂ්‍යත්වලාභියකු ලෙසය. බෝයිං වෙත යාමේ මුල් පියවර ඇරැඹෙන්නේ මේ විශ්වවිද්‍යාල ගමනින් පසුවය. ගගණ පියසර පරීක්ෂක ඉංජිනේරු ශිල්පියකු ලෙස බෝයිං වෙත බැඳෙන ඔහුට ගුවන් නාවිකයකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍රයද ලැබෙන්නේය. ලෝකයේ ඈත දුර ස්ථාන සොයා යන ගමන ඇරැඹෙන්නේ ඒ හා සමගය. නමුත් අද ඔහු තමන්ගේ ජීවිතයේ සාර්ථකම ජයග්‍රහණය ලෙස දකින්නේ ඒ එකක්වත් නොවේ.

අධ්‍යාපනයට ලැදි ඒ සඳහා පහසුකම් අහිමි දරුවන් හට උපකාර කර ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන් ඇතුළු ජීවිතය දිනාගත් සාර්ථක පුරවැසියන් බවට පත් කිරීමෙන් ලබන නිරාමිස ප්‍රීතියයි. තවමත් ඔහු සිය කාලය කැප කරන්නේ ඒ සඳහායි. තමන් සතු දැනුම නොමිලයේ බෙදා දෙන්නටය. ඒ අතර බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය පිරිසිඳ දකින්නටය. ඉංජිනේරුවකු ලෙස ලද ගණිත විද්‍යා දැනුම බුදු දහමේ යථාර්ථය මනාව පැහැදිල කර ගන්නට උපකාරී වූ බව ඔහු කියන්නේ සතුටිනි.

මිනිසා හඳට ගියාලු!

මීට වසර 48කට පෙර අමෙරිකාව හඳට ගියාලු!  එදත් සමහරැ එය විශ්වාස කළේ නැත. අදත් එසේමය. 
තාමත් රාත්තල් 100756ක් බර යානයක් සඳ වෙත යැවූ බව NASA ආයතනය එදා 1969 ජූනි 21 ප්‍රකාශ කළේය. ලෝකයම නීල් ආම්ස්ට්‍රොන්ග් සඳ මත ඇවිදින අයුරු දුටුවේය. නමුත් සමහරු එය විශ්වාස කළේ නැත. 

අමෙරිකාව හඳට යාමට දැක්වූ තදියම ගැන ඒ කාලයේම එරට තුළ විරෝධතා බොහෝ මතුවිය. NASA ආයතනය ගොඩනගන්න කටයුතු කළ හිටපු ජනාධිපති අයිසන් හවර් ද ඒ අතර විය. NASA ඔලුව ඉදිමී කටයුතු කරන බවත් නික්සන්ට චන්ද්‍ර ඔල්මාදය හැදී ඇති බවත් ඔහු කීවේ මෙය සල්ලි පොලියට ගෙන යන විනෝද ගමනක් ලෙස විවේචනය කරමිනි.

දක්ෂිණාංෂිකයකු වන බැරි ගෝල්ඩ් වෝටර් කීවේ අමෙරිකානුවන් හඳ දෙස බලා සිටියදී ඔවුන්ට මහ පොළොව අහිමිව යන බවය. තැත්නම් පොළොව යට වැළලෙන්නට වන බවය. සඳට යන එක හොඳදැයි ඒ කාලයේ අමෙරිකාවේ මිනිසුන් අතර සිදුකළ සමීක්ෂණයකදී ඇසුවේය. සියයට 61ක්ම එය අනවශ්‍ය වැඩක් බව කියා තිබුණි. මේ නිසා සඳට යාම ගැන ජනමත විචාරණයක් කලින් තැබුවා නම් මේ ඓතිහාසික සඳ ගමන කිසිදා සිදුනොවන්නට තිබුණි. එසේ වූවානම් ලෝකය තුළ අද දක්නට ඇති විද්‍යා තාක්ෂණික දියුණුව ළඟාවන්නට තව ශතවර්ෂයක් පමණ ගතවන්නටත් තිබුණි. ඒත් මිනිසා සඳට ගියේය. අපේ කතානායකයා එය දකින්නට එදා එහි උන්නේය. විද්‍යා තාක්ෂණික යෝධ පිම්මක් ලෝකය පැන්නේය.

එදා ඇත්තටම හඳට ගියාදැයි සැකකළ අයත් හඳට යන්න ඕනෑ නෑ කී අයත් සැවොම සඳ ගෙමිදුලට බැස චන්ද්‍ර ධූවිලි පාගා ගල් කැට සාක්කුවේ දමාගෙන ආ නීල් ආම්ස්ට්‍රොන්ග් බස් අල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් වටකර එකා මෙන් හුරේ! දැම්මෝය. පසුව මෑත කාලීනව සිදුකළ ජනමත සමීක්ෂණයකදී සඳ ගමන යා යුතුවම තිබූ එකක් බව සියයට 77ක්ම පිළිගෙන තිබුණි. ලෝකයේ හැටි එසේය. 

දැන් නික්සන් නැත. අයිසන් හවර් සඳ ගමන දැක්කේ නැත. ආම්ස්ට්‍රොන්ග් ඇතුළු පිරිසද නැත. නමුත් සඳ තවම තිබේ. මිනිසා සඳ අතහැර අඟහරු අල්ලන්නට සැරැසෙයි. එතැනින් නොනැවතී විශ්වය පුරා සරන්නට පිඹුරුපත් සකසයි. කෙලවරක් නැත. අපේ කතානායකයා කියන්නාක් මෙන් අන්තිමේදී මේ සියල්ලම අනිත්‍යයය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00