2017 ජුලි 22 වන සෙනසුරාදා

මළ සිරුරු ගොඩ අරං පිල්ලි යවන්න පුළුවන්!

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2816

තොටගමුවේ සිරි රහල් හිමිගේ ජීවිතය හා බැදුණු රසකතා රැසක් ජනප්‍රවාදයේ එයි. රාහුල හිමිගේ අසමසම ප්‍රඥා මහිමය පමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් මෙන්ම ඖෂධ බලයෙන් කළ හාස්කම් පිළිබඳවද ඒ ජනප්‍රවාද තුළින් කියැවෙයි. සරස්වතී තෛලය, සිද්ධාලෝක රසය වැනි මහා බලගතු තෙල් වර්ගද රාහුල හිමි සකස් කළ බව පැවසෙයි. ගුප්ත විද්‍යාව පිළිබඳව හසල දැනුමක් තිබූ උන්වහන්සේ යකුන් දපනය කොටගෙන වැඩගත් බවත් කියැවෙයි.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි වැනි යති පරපුරකින් පැවත එන හිමි නමක් අපට ගිරිබාව, වන්නිකුඩාවැව, කොහොඹන්කුලම සිරිසඟබෝ බෞද්ධ මධ්‍යස්ථානයේ දී හමුවිය. කොහොඹන්කුලමේ සිරිරතන හිමි නම් වූ මේ භික්ෂුන් වහන්සේද ගුප්ත විද්‍යාව යොදගෙන යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, සෙත් ශාන්ති, අණවින, කොඩිවින, ඉවත් කිරීම, බලගතු තෙල් බෙහෙත් වර්ග නිපදවීම, ඒවා ජීවම් කිරීම, සුවකළ නොහැකි හෝ අසිරු රෝගාබාධයක් සුවකිරීම ආදියෙහි අදටත් නිරත වී සිටිති. 

“ගමේ ඇත්තන්ගේ රසකතා” මණ්ඩපයට අද මා වැඩමවා ගෙන පැමිණියේ කොහොඹන්කුලමේ සිරිරතන නම් වූ ඒ වෙද හාමුදුරුවෝය.

“මේ සාස්තරේ ඔබ වහන්සේට ලැබුණු අයුරු ගැන අපි මුලින්ම කතා කරමු”යි මම සිරිරතන හිමිට යෝජනා කළෙමි.
මේ සාස්තරේ මට ලැබුණේ අපේ පරම්පරාවෙන් පාරම්පරිකව පැවත එන ගුප්ත විද්‍යාව තමයි මම කරන්නේ. අපේ වෙද පරම්පරාවේ අනූනව වැනි පරපුර නියෝජනය කරන්නේ මම. පරපුරෙන් ලැබුණත් මම මේ ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණය කළා. හරි දෙයක්ද කියලා ගවේෂණය කළා. අත්හදාබැලීම් කළා. ගුප්ත විද්‍යාව හොඳ වටිනා සාස්තරයක් බව දැන ගත්තා.

ගුප්ත විද්‍යාව නරක පැත්තට මෙන්ම හොඳ පැත්තටත් පාවිච්චි කරන්න පුළුවන්. ගුප්ත විද්‍යාවේ තියෙනවා අෂ්ට කර්මයක්. ඔය අෂ්ට කර්මයේ යම කාලය කියලා නැකතක් එක්ක කරන ගුරුකම් තමයි දරුණුම ඒවා. මනුස්සයෙක් මරන්න වුණත් පුළුවන්. එක එක පුද්ගලයාට වෙන් වූ පක්ෂියෙක් ඉන්නවා. ඒ පක්ෂියාට මර අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව බලලා ගුරුකම කළාම හරියටම හරි. තව ඉතිං පිල්ලි යැවීම, අංගම් පිඹිම වාගේ දේවලුත් නරක පැත්තට කරන්න පුළුවන්.

ඒ වගේම ගුප්ත විද්‍යාව යහපත් දේවල් සඳහා භාවිතා කරන්න පුළුවන්. ග්‍රහ අපල දුරු කිරීම, භූමි පාළු ඉවත් කිරීම, අණවින, කොඩිවින ඉවත් කිරීම, සෙත් ශාන්ති කර්මවලට යොදා ගැනීම, ලෙඩදුක් නැති කිරීම වගේ දේ සඳහා යොදා ගන්ඩ පුළුවන්. ගුප්ත විද්‍යාවේ හොඳ පැත්ත වැඩියි.

පිල්ලි යැවීම කියලා ගුරුකමක් ගැන ඔබවහන්සේ කීවා. මොකක්ද ඒ පිල්ලි යැවීම කියන්නේ?

පිල්ලි වර්ග රාශියක් තියෙනවා. මළ පිල්ලි, කුකුළු පිල්ලිය, සුනඛ පිල්ලිය, කෝලි පිල්ලිය, නාග පිල්ලිය ආදි වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. මළ පිල්ලිය යැවීමේදී කරන්නේ කුණු නොවුණු මළ මිනියක් සොහොන් පිටියකින් ගොඩ අරන් ඒක ජීවම් කරනවා. එතකොට මිනියට යක්ෂයෙක් ආරූඪ වෙනවා. ඊට පස්සේ තමන්ට අවශ්‍ය කෙනා ළඟට පිල්ලිය යවනවා. කට්ටඩියා කියන ඕනෑම දෙයක් මළ පිල්ලිය කරනවා. පුද්ගලයකු විනාශ කරන්න තමයි මේ පිල්ලි යොදා ගන්නේ.

මළ පිල්ලියක් යවා පුද්ගලයකු විනාශ කරන්න උත්සහ කරපු කතාවක් අපේ බෞද්ධ සාහිත්‍යයේත් තියෙනවා. එක සිටුවරයෙකුට ලස්සන බිරිඳක් හිටියා. මේ කාන්තාව පිළිබඳව ඇමැතිවරයකුට සිත් ගියා. ඇය තමන් සන්තක කරගැනීමට ඇමැතිවරයාට ඕන වුණා. ඒකට බාධාව සිටුවරයා. අන්තිමේ ඇමැතිවරයා රටේ හිටපු දක්ෂම කට්ටඩියා සොයා ගිහින් මළ පිල්ලියක් යවා සිටුවරයා විනාශ කරන්න සැලසුම් කළා. 

හැබැයි මේ වනවිට ඒ සිටුවරයා විදේශ රටකට වෙළෙඳාමේ ගිහින්. ඊට පස්සේ නැවෙන් බැහැලා එනකොට සිටුවරයා මරන්න කටයුතු සැලසුම් කළා. සිටුවරයා මව් රටට එන්ඩ නැවෙන් බැහැලා එනකොට මළ මිනියක් ජීවන් කරලා කඩුවකුත් අතට දීලා ඉස්සරහට යවලා තියෙනවා. මේ සිටුවරයා පන්සිල් රකින හොඳ බෞද්ධයෙක්. ධර්මිෂ්ඨව ජීවත්වන කෙනෙක්. පිල්ලිය යැවුවාට වැඩක් වෙලා නෑ. ඔහු මරන්න බැරි වෙලා තියෙනවා. පිල්ලිය ආපහු කැරකුණා කට්ටඩියා වෙතට. කට්ටඩියා මැරිලා තියෙනවා.

වදමල්වලට එනවා කළුපාට කුරැමිණියෙක්. ඔය කුරුමිණියා අල්ලාගෙන ඌව ජීවම් කරලත් පිල්ලි යවන්න පුළුවන්. ජීවම් කරපු කුරුමිණියා අවශ්‍ය පුද්ගලයා වෙත යැව්වාම ඌ ඒ පුද්ගලයා වටේ කැරකෙනවා. එතකොට ඒ පුද්ගලයා නාහෙන් කටින් ලේ දාගෙන එතැනම වැටෙනවා. රබ්බොඩ පුවක් ගෙඩියටත් ජීවම් කරලා පිල්ලි යවන්න පුළුවන්. ඒ වාගේම තමයි කිනිතුල්ලා ජීවම් කරලා පිල්ලියක් වශයෙන් යවන්න පුළුවන්.

සමහර පිල්ලි රූපවලින් හදලා යවන්නත් පුළුවන්. ඖෂධ වර්ගවල කුඩු වලින්, මී ඉටි, බඹර ඉටි වාගේ ඉටි වර්ගවලින් මේ රූප හදනවා. නාග පිල්ලිය යැවීමේදිත් මේ ක්‍රමය අනුගමනය කරනවා. නාගයකුගේ රූපයක් හදලා ඒක ජීවම් කරලා යවන්න පුළුවන්.

මේ ගුප්ත විද්‍යාව විස්මිත ශාස්ත්‍රයක් මහත්තයෝ. අංගම් පිඹින්ඩත්, අංගම් පොර සාත්තරයටත් යොදා ගන්නේ ගුප්ත විද්‍යාව. ඒ වගේම අණවින, කොඩිවින කරන්ඩත් ඒවා ඉවත් කරන්ඩත්, ලෙඩදුක්, ග්‍රහ අපල දුරුකරන්ටත් භූමි දෝෂ ඉවත් කරන්ඩත් මේ සාස්තරේ යොදාගන්ඩ පුළුවන්.

ඔය නරක පැත්තට කරපු දේවල්වල අත්දැකීම් ඔබවහන්සේටත් ඇති නේද?

මෙහෙමයි මම මේ ශාස්ත්‍රය නරක පැත්තට යොදා ගන්නෙ නැහැ. පෞද්ගලික වෛර තරහ පිරිමහගන්න මේක යොදා ගන්ඩ නරකයි. “රාවණ ඔඩ්ඩිෂ තන්ත්‍රය” කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙනවා මේ ශාස්ත්‍රය ලබා දිය යුත්තේ කාටද කියලා. දියයුතු නොදිය යුතු පුද්ගලයින් ඒකේ විග්‍රහ කරලා තියෙනවා. ඒ වාගේම සමාජයට අහිතකර පුද්ගලයන්ට දඬුවම් කිරීමට සාස්තරය යොදා ගත්තාට වරදක් නෑ, ඒක තමයි පැරණි සෘෂිවරුන්ගේ නිර්දේශය.
ඔය ආනමඩුව පැත්තේ ගමක හිටියා ඒ වාගේ සමාජයට හිරිහැර කරන මනුස්සයෙක්. එයා මහ හොරෙක්. මට ඔය ගැන ගමේ අය කීවා. සහනයක් ඉල්ලුවා. මම හරන්කහ ලීයක් අරන් ඒ සිදුරු කරලා අංගමක් පිම්බා. ඒ වෙලාවේ අර මිනිහ නහයෙන් කටින් ලේ දාහෙන වැටුණා. මේ ගුරුකම් හරියට කළාම එහෙම වෙනවා. පැයක් ඇතුළත මනුස්සයා මැරෙනවා. මම මිනිහට මැරෙන්න ඉඩ හැරියේ නෑ. නැවත ගුරුකමක් කරලා මුලින් කරපු ගුරුකම අයින් කළා. ඒක පැයක් ඇතුළත කළා.

මේ ගුප්ත විද්‍යාවේ කාලන් පිඹිම කියලා ගුරුකමක් තියෙනවා. ඒකෙදි කරන්නේ මිනියක් පුච්චපු තැනකින් අළු අරන් ඒවා ජීවම් කරනවා. එහෙම ජීවම් කරන කොට අහසේ නැගෙනහිර පැත්තේ ඊතලයක් යනවා වගේ පෙනෙනවා. තමන්ට යමක් කරන්න ඕන පුද්ගලයාගේ නම සිහිකරලා ඊතලයට පිඹිනවා. දුර පළාතක ඉන්නවා නම් සුළඟ ගමන් කරන පැත්තට ඊතලය මුදා හරිනවා. මේකෙන් ඒ පුද්ගලයාට මහා විනාශක් සිද්ධ වෙනවා.

තව යම කාලයේ ගුරුකමක් තියෙනවා. පස්තෙල් ජීවම් කරගෙන ඒ තෙල්වල පන්දමක් පොඟවා යම දේවතා සිටින දිසාව බලා ගම් සීමා කෙළවරට පන්දම පත්තු කරගෙන යනවා. ඒ ගිහින් ආපසු වම් පැත්තට හැරිලා අවශ්‍ය කෙනාගේ නම මතක් කරලා පන්දම නිවා දමා ආපසු එනවා. දවස් නමයක් ගත වෙන කොට තමන්ට හතුරුකම් කළ කෙනා මැරෙනවා. එයා විතරක් නෙමෙයි ඒ පවුලේ කෙනෙක් දවස් නවයෙන් නවයට මැරෙනවා. 

නරපුර ඉන්දුම කියලා මන්තරයක් තියෙනවා. මේක මතුරලා කෙනෙක් දිහා තරහින් රවලා බැලුවොත් අර පුද්ගලයාගේ පණ ඉතිරි වෙන්නෙ නෑ. හැබැයි පරලොව ගැන දන්න අය මේවා කරන්නේ නෑ. සාස්තරය තිබුණ පලියට අයහපත් පැත්තට යොදා ගන්නෙ නෑ.

මේ ගුරුකම්වල බලගතු බව ගැන ඔබ වහන්සේ කියනවා. ඒවාට සාක්ෂි තියෙනවාද?

මොකද නැත්තේ. අතීතයේ සිටම තියෙනවා. දුටුගැමුණු රජුට නාග කන්‍යාවක් පිල්ලියක් යැව්වා. එතුමා දැඩිලෙස රෝගාතුර වුණා. පස්සේ සුව කරගත්තා. පෙතන්ගොඩ උයනේදි සීතාවක රාජසිංහ රජතුමාගේ යටි පතුලේ උණ කටුවක් ඇනුණා. ඒකෙන්ම රජතුමා මැරුණා. ඒ විෂ බැඳලා. ඒ විතරක් නෙමෙයි මෑත කාලයේ හිටපු ඇමැතිවරුන් කීපදෙනෙකු අකාලයේ මිය ගියෙත් කොඩිවිණ කරලා බවට කටකතා ගියානේ. ඒවා බොරු වෙන්ඩ බෑ. රත්තරන්වලින් රූප හදලා නම්ගම් ලියලා රත්තරන් කටුවලින් ඒ රූපයට ගහලා ජීම් කරලා සොහොන්වල, තුංමමසලවල වළ දාලා ගුරුකම් කළාම ඒවාගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. 

(ලබන සතියට)
කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර