2017 ජුලි 22 වන සෙනසුරාදා

පොලිතීන් තහනමේ හොඳ නරක

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 537

පොලිතීන් තහනම් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරාවටම කතාබහට ලක්විය. පසුගියදා අපට දැනගන්නට ලැබුණේ ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට ආහාර දවටන (ලන්ච් ෂීට්), රෙජිෆෝම් ආහාර දවටන පෙට්ටි හා ෂොපින් බෑග් පාවිච්චිය තහනම් කිරීමට රජය මගින් කටයුතු කර ඇති බවයි. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව 2006 ඔක්තෝබර් මස 10 වැනිදා නිකුත් කර ඇති අංක 1466 – 5 දරන පනතේ රෙගුලාසිවලට අනුව මෙම තහනම පනවා ඇති අතර මේ අනුව ඉහත ද්‍රව්‍යයන් ආනයනය, නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය තහනම් වේ. මෙම නීතිය උල්ලංඝනය කරන්නන් හට ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව සහ සිවිල් නීතිය අනුව දඬුවම් පැමිණවීමට නියමිත අතර මෙම නීතිය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සවයන්හිදී පොලිතීන් භාවිතය තහනම් බවද, විවෘත භූමියේ හෝ පරිශ්‍රයේ පොලිතීන් සහ ප්ලාස්ටික් පිළිස්සීම තහනම් බවද කියැවේ.

මෙරට මේ වනවිටත් අසීමිතව පොලිතීන් භාවිතය සිදුවන අතර ඒවා මගින් පරිසරයට සිදුවන හානිය සැලකිල්ලට ගනිමින් එම තහනම පැනවීමට කටයුතු යෙදුණේ අදක ඊයෙක පටන් නොවේ. වර්තමාන සමාජ ගැටලුවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය උත්සන්න වීම මෙන්ම කැළි කසළ ගැටලුව කෙරෙහි ද අසීමිත පොලිතීන් භාවිතය ඍජු හේතුවක් විය. පමාවී හෝ රජය මෙවන් තීන්දුවක් ගැනීම එක්තරා අතකට යහපත්ය. මේ රටේ පරිසරවේදීන්, විද්‍යාඥයන් පොලිතීන් තහනම සම්බන්ධයෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළව, ක්‍රියාත්මක කළ අතර මේ සඳහා රජයේ අවධානය යොමුවූයේ පොලිතීන් භාවිතය ජීවිත හානි දක්වා දුරගිය පසුවය.

මධ්‍යම පරිසර අධිකාරිය පවසන ආකාරයට වසරකදී එක් පුද්ගලයකු විසින් පරිසරයට මුදාහරින පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5.5ක් පමණය. බස්නාහිර පළාතේ මේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 7.5 තරම්ම අගයක් ගන්නා අතර දිනකට රට තුළ භාවිතා වන ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 20ක් පමණය. මෙය ඍජුවම පරිසර හානිය කෙරෙහි බලපාන අතර පමාවී හෝ රජය ගත් මෙම තීරණය වටිනා එකක්යැයි අපිට හැඟෙන්නේ ඒ නිසාය. එහෙත් මෙතනදී තවත් ගැටලුවක් මතුවේ. රජය ගත් මෙම තීන්දුවත් සමඟ ලන්ච්ෂීට්, පොලිතීන් බෑග් නිෂ්පාදනයන් මෙන්ම පිසූ ආහාරපාන ලබාදෙන හෝටල්, රෙස්ටූරන්ට් මුහුණ දෙන ගැටලුවකි. පහසුවෙන් සපයා ගතහැකි විකල්ප හඳුවාදීමකින් තොරව මෙම නීතිය කඩිනමින් ස්ථාපිත කර ඇති අතර අදාළ කර්මාන්තවල නියැළෙන්නට අමතරව එදිනෙදා ආහාර ද්‍රව්‍ය ඇසීරිම සඳහා මෙවැනි ද්‍රව්‍ය භාවිතා කරන ගෘහණියන්ද අද පත්ව තිබෙන්නේ විසඳුම තරමක් දුෂ්කර වූ ගැටලුවකටය. කෙසේ වෙතත් ලබන සැතැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන්නට නියමිත පොලිතීන් තහනම සම්බන්ධයෙන් අපි සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරගන්නන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙවැන්නකි. 

“ලන්ච්ෂීට්, ෂොපින් නිෂ්පාදන සඳහා ආණ්ඩු හඳුන්වා දෙන්නට යන්නේ වියදම් අධික ක්‍රමවේදයක්. අනික් එක ඒ හඳුන්වාදෙන ද්‍රව්‍ය යොදාගෙන අපේ මැෂින්වලින් ලන්ච්ෂීට්, ෂොපින් බෑග් ආදිය නිෂ්පාදනය කරන්න බෑ. ඒ සඳහා ගොඩාක් වෙනස් කිරීම් කරන්නට සිදුවෙනවා. ඒක අමාරැ වැඩක්. මේකදී ලන්ච්ෂීට් එකකට මිල පවතින මිලට වඩා දෙතුන්ගුණයක් වැඩි වෙන්නත් පුළුවන්.

අපි කියන්නේ මේවා නිෂ්පාදනය සඳහා ඉතා සරළ ක්‍රමයක් වන ඔක්සොබයෝ ග්‍රේඩබල් (OXO Biodegradable) භාවිත කරන්න කියලයි. අපේ කර්මාන්තවල තියෙන සියලුම මැෂින් දාල ඒක කරන්න පුළුවන්. මේවා ඉක්මනින් දිරායෑමත් සිදුවෙනවා. අපි මාස අටෙන් දිරන්න ඕනේනම් ඒ ආකාරයටත්, අවුරුද්දක් දිරාපත්වීම සිදුවිය යුතු නම් ඒ ආකාරයටත් එම දීර්ඝකාලය වසර පහ දක්වා දිර්ඝ කිරීමක් ආදී වශයෙන් සිදුකළ හැකියි. මෙම ක්‍රමවේදී ලන්ච්ෂීට් එකක මිල වැඩිවිය හැක්කේත් ඉතා සුළු අගයකින්.

ආණ්ඩුව අලුතෙන් හඳුන්වාදෙන්නට යන ක්‍රමවේදයේදී භාවිත කිරීමට නියමිත අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ. අනික් එක ඒවා ලබාගන්නත් අමාරුයි. ඒ නිසා අපි කියන්නේ මේ පහසුවෙන් යන්න තියෙන මඟ වළක්වලා වියදම් අධික, අපටත් කරන්නට අපහසු වැඩපිළිවෙළක් යෝජනා කරලා සැප්තැම්බර් පළමු වැනිදා ඉඳලා නීති පැනෙව්වට පස්සේ ඒක කරන්න බැරි තත්ත්වයක් මතුවෙලා දැම්ම නීතිය ක්‍රියාත්මක කරන්නට බැරිව යනවා. මේ නිසා මිනිස්සුන් විශ්වාසයත් නැතිවෙලා යනවා. ඒකනිසා තමයි අපි යෝජනා කරන්නේ නිෂ්පාදනයක් හැටියට පහසුවෙන් යන්න පුළුවන් මේ ගමන යන්න කියලා.

රජයෙන් අපිට ලබාදීලා තියෙන්නේ දවස් 45ක කාලසීමාවක් පමණයි. මෙතනදී පළවෙනි කාරණාව තමයි ජනාධිපතිතුමා විසින් නිකුත් කළ කැබිනට් නිවේදනයේ කියන්නේ ලන්ච්ෂීට් තහනම් කරනවා කියලා විතරයි. ඒ වගේම එහි තියෙනවා මයික්‍රෝන 20 අගයට වඩා අඩු පොලිතීන් තහනම්. ඊට වඩා අගය වැඩි පොලිතීන් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. නමුත් පරිසර අධිකාරියෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරනවා ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් කියන දෙකම තහනම් කියාලා. මේ නිසා අපේ ව්‍යාපාර මේ වනවිටත් කඩාවැටෙමින් තියෙනවා. අපේ ෂොපින් බෑග් විකිණෙන්නේවත් නෑ. ලන්ච්ෂීට් විකිණෙන්නේත් නෑ.

අපි මේවා නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගෙනඑන්නේ විදේශ රටවලින්. අපි අද ඇනවුම් කළා නම් තව මාස දෙකහමාරකින් පමණ පසුව තමයි අපේ අතට මෙම අමුද්‍රව්‍ය පත්වෙන්නේ. දැන් අමුද්‍රව්‍ය කන්ටේනර් පිටින් ලංකාවට එනවා. ඒවා එද්දී අපිට කරගන්න දෙයක් නැතිවෙනවා. කර්මාන්තය වහලා සැප්තැම්බර් පළමු වැනිදා වනවිට නීතිය ක්‍රියාත්මකයි. එතකොට අපි අවුරුදු හයට, හතට ණය මුදල් ලබාගෙන තිබෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ මේ කර්මාන්තය වහලා දාන්න ඕනේනම් සම්පූර්ණයෙන්ම වහලා දාන්න. නමුත් අවුරුදු පහක් හයක්වත් දීලා තියන්න මෙතනින් එහාට එපා කියලා. එහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා නම් ණය බරෙනුත් නිදහස් වෙලා අපිට නිෂ්පාදනවලින් ඉවත් වෙන්න පුළුවන්.

අනික් දේ තමයි මෙවැනි කර්මාන්ත සඳහා බලපත්‍ර ලබාදීම පරිසර අධිකාරිය විසින් මීට වසර දෙකතුනකට කළින් හෝ නතර කරන්නට තිබුණා. නමුත් එහෙම කළේ නෑ. ඒ කිසිම දෙයක් නැතිව තමයි එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ රජය මේවගේ තීරණයක් අරන් තියෙන්නේ. මේ තීරණය සම්බන්ධයෙන් අපි ගොඩාක් කණගාටුවෙන් ඉන්නේ. අපේ ගෙවල් දොරවල් ඉඩකඩම් මැෂින් පවා මේ සඳහා උගස්කරලයි තියෙන්නේ. පොලිතීන් කර්මාන්තකරුවෝ විතරක් නොමෙයි රටේ කිසිම පුද්ගලයකු හෝ මේ තීරණයකට එකඟත්වය පළකරයිද කියලා තමයි මට නම් අහන්න තියෙන්නේ.”

පොලිතීන් නිෂ්පාදකයන්ට අමතරව ආහාර ලබාදෙන හෝටල්, රෙස්ටූරන්ට් පවත්වාගෙන යන පිරිස් ද මෙම තීරණය නිසා යම් අපහසුතාවයකට පත්ව සිටිති. ඔවුන්ගෙන් වැඩිදෙනකු පැවසූවේ වර්තමානයේ පවතින පරිසර දූෂණයත්, ඩෙංගු මදුරු උවදුරත් නිසා මෙවැනි තීරණයක් ගැනීම යම්දුරකට සාධාරණ බවය. ඒ සම්බන්ධව අදහස් දැක්වූ බොරැල්ල ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වන රංජිත් මහතා,

“මේ වෙද්දී මදුරු ප්‍රශ්න කුණු ප්‍රශ්න තියෙන නිසා මෙහෙම තීරණයක් ගන්නඑක එක අතකට හොඳයි. නමුත් මේ වගේ නීතියක් පනවන්නට කළින් ඒ ලන්ච්ෂීට්, ෂොපින් බෑග් ආදිය සඳහා විකල්ප යෝජනා කිරීමක් අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තකි. අනික් කාරණාව තමයි මේ වනවිට නීතියෙන් එකපාරටම ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒහා සම්බන්ධ ව්‍යාපාරිකයන්ට කරන අසාධාරණයක්. මේ නිසා ඔවුන්ගේ ව්‍යාපාර එහෙම්පිටින්ම කඩාවැටෙනවා. ඒ නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබාදීලා තමයි මෙවැනි නීතියක් ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ.”

බොරැල්ල ප්‍රදේශයේදීම අපට හමුවූ ව්‍යාපාරික කාන්තාවක් වන සමීරා මහත්මිය ප්‍රකාශ කළේ තමන්ට විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමක් එක්කම මෙවැනි නීතියක් ගෙන එන්නේ නම් වඩාත් හොඳ වෙයි.

කෙසේ හෝ පරිසරයට අහිතකර වූ පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය හා භාවිතය තහනම් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සියලු දෙනා අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්ය. එසේම පොලිතීන් තහනම ක්‍රියාත්මක වීමත් සමඟම ඉදිරියේදී සිලිබෑග්, ලන්ච්ෂීට්, පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි, ප්ලාස්ටික් පිඟන් කෝප්ප හා හැඳි යනාදිය ඉදිරියේදී තහනම් වෙනවා ඇත. නමුත් මෙලෙස නීති ක්‍රියාත්මක කිරීමට පෙර මෙතෙක් එම ව්‍යාපාරයන්හි නියැලුණු පිරිස් වෙත යම් සහන කාලයක් ලබාදීම ද රජය විසින් කළයුතුය. අවසන් වශයෙන් මේවා තහනම් කිරීමට පෙර මේ සඳහා විකල්පයකුත් වගකියයුත්තන් විසින් ඉදිරිපත් කළ යුතුවන අතර ඇතැම් වගකියයුත්තන් පවසන ආකාරයට පත්තර කොළවල බත් ඔතාගෙන එන්නැයි පැවසීම කිසිදු ලෙසකින් හෝ විසඳුමක් නොවේ.

හේමමාලි කුමාරි රාජකරුණා

සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර